Print this Article


නිරවුල් පවුල් දිවියක සැනසුම

නිරවුල් පවුල් දිවියක සැනසුම

වර්තමානය තුළ බොහෝ නිවෙස්හි විවිධ ගැටලු, ප්‍රශ්න, අසමගිකම් පිරී ගොස් ය. මව්පිය - දූදරු, ස්වාමි - භාර්යා, නැන්ද - මාමා, බෑන - ලේලි, ආච්චි - සීයා මේ ආදී පවුල් ජීවිත ගත කරන විවිධ අංශයන් අතර නොයෙක් ගැටලු, අඬදබර, කළකෝලාහල එමට ය. ඒවා විසඳෙනවා වෙනුවට මොහොතින් මොහොත ප්‍රශ්න වැඩිවන ආකාරයක් ම දක්නට ලැබේ.

එයට හේතුව කුමක් ද? යන්න විමසා බැලීමේ දී බුදු දහමේ දේශිත පවුලක් ලස්සන කරගන්නා ඉගැන්වීම් ක්‍රමවේදයන් අවබෝධ නො කොට ගැනීම බව තහවුරු වේ. බුදුරදුන් පවුල් සංස්ථාව, නිරවුල්වත්, පිළිවෙළටත්, ලස්සනටත් පවත්වාගෙන යන ආකාරය මනාව දේශනා කළහ.

මිනිසා උසස් චින්තනයක් ඇති සත්ත්වයෙකි. කට වචනයෙන් කියනවා නම් ඇතැම් විටෙක තිරිසනෙක්, දෙවියෙක්, යක්ෂයෙක් වන්නේ ද මිනිසා ම ය. තම නිවස දිව්‍ය ලෝකයක් හෝ අපායක් කරගත හැක්කේ ද, මිනිසාට ම ය. බොහෝ මිනිසුන් බාහිර වශයෙන් පිට ඔපයට ජීවත් වුව ද අභ්‍යන්තරය තුළ යක්ෂ, ප්‍රේත, විලාසයක් ම ඔප් නංවනු ඇත. ලෝකයට ඇති තතු ප්‍රකට නො වුණ ද අභ්‍යන්තරය තුළ, බොහෝ නිවෙස් තුළ ඇත්තේ අසමඟිය, අසහනය, අතෘප්තිය, අවිශ්වාසය බව මනාව පැහැදිලි වේ. එබැවින් පවුල් සංස්ථාව, තම නිවස දිව්‍ය ලෝකයක් කරගන්නා අයුරු විමසා බැලීම කාලීන වශයෙන් ඉතා වැදගත් වනු ඇත.

ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනාම සූත්‍රයක් ලෙස අ.නි. චතුක්ක නිපාතයේ සංවාස සූත්‍රය පෙන්වා දීමට පුළුවන. එම සූත්‍රයට අනුව පවුල් සංස්ථා හතරක් පිළිබඳ ව දේශනා කොට ඇත. එනම්,

ඡවො ඡවාය සද්ධිං සංවසති
ඡවො දෙවියා සද්ධිං සංවසති
දෙවො ඡවාය සද්ධිං සංවසති
දෙවො දෙවියා සද්ධිං සංවසති

මෙහිදී ඡව යන වචනය භාවිත කොට ඇත්තේ මළමිනිය යන අර්ථය දීමට යි. ඊට අමතර ව ඡව යන්නෙන් නීච, පහත් ළාමක යන අර්ථ ද ගෙන දේ. ඡව ශබ්දය තේරුම් ගැනීමේ පහසුව සඳහා ප්‍රේත ශබ්දය අර්ථ වශයෙන් යොදා ඇත. ඒ අනුව පළමු පවුල් සංස්ථාව වන්නේ ‘ඡවො ඡවාය සද්ධිං සංවසති’ යන්න යි. එනම් ප්‍රේතයෙකු ප්‍රේතියක හා වසන පවුල යි. පවුල් සංස්ථාව ගත කරන ස්වාමි, භාර්යා දෙදෙනා ම දුශ්සීල වීම එයින් අදහස් කොට ඇත. පංචසීලය නො රකින. තද මසුරු සිත් ඇති, නිරන්තරයෙන් ඔවුනොවුන්ට බැණ ගන්නා ස්වභාව ඇති, නිතර රණ්ඩු සරුවල් කරන පවුල හරියට මළ පෙරේතයෙක් මළ ප්‍රේතියක් සමඟ ජීවත් වීම හා සමාන ය. ඔවුන් තුළ ගුණ ධර්ම මැරී ගොස් ය. ඔවුනට කිසිදා සැනසීමක් ද නොමැත. සදාකාලික මානසික දුකක් ඔවුන් සතුව ඇත. සම්පත් කොතෙක් තිබුණ ද එවැනි පවුල් අගය කළ නොහැකි ය. එබැවින් ලොව ඇති අවාසනාවන්ත ම පවුල නොහොත් පවුල් සංස්ථාව ලෙස පෙන්වා දීමට පුළුවන. අධ්‍යාත්මික ගුණ ධර්ම නොමැති එවැනි අයගේ බාහිර පිට ඔපය ඵලක් නැත. හරියට කොහොඹ ගහට කරවිල වැලක් ගියා සේ එම පවුල නීරස වන්නේ ය.

දෙවන පවුල් සංස්ථාව වන්නේ ‘ඡවො දෙවියා සද්ධිං සංවසතිං’ එනම් මළ පෙරේතයෙක් දෙවඟනක් සමඟ ජීවත් වීමයි. එම පවුල තුළ ස්වාමිපුරුෂයා තුළ කිසිදු ගුණ ධර්මයක් නැත. දුශ්සීල, තද මසුරු, නිතර කිපී බණින ස්වභාවයෙන් යුක්ත එම ස්වාමි පුරුෂයා හරියට මළ පෙරේතයෙක් හා සමාන ය. නමුදු භාර්යාව තුළ ගුණ ධර්ම පවතී. ඇය තුනුරුවන්ට ලැදි, සිල්වත්, ගුණවත්, අසරණ අයට පිහිට වන ගුණවලින් යුක්ත ය. එනිසා ඇය දෙව්දුවක් හා සමාන ය. නමුදු ඇය ජීවත් වන්නේ ප්‍රේතයෙකු සමග ය. එම පවුල සාර්ථක පවුලක් ලෙස ගැනීමට නො පුළුවන. එම පවුල හරියට කටුගහකට සමන් වැලක් ගියා හා සමාන ය.

තෙවෙනි පවුල් සංස්ථාව වන්නේ ‘දෙවො ජවාය සද්ධිං සංවසති’ එනම් ස්වාමියා හොඳ ගුණ ධර්මවලින් යුක්ත වන අතර, බිරිය දුර්ගුණවලින් යුක්ත වීම ය. ස්වාමියා දනට පිනට ලැදි, නිහතමානී සිල්වත්, අනුනට පිහිට වන අතර, බිරිඳ එසේ නො මැත. ඇය දුස්සීල, තුනුරුවනට ශ්‍රද්ධාවක් නැති, ධනය විනාශ කරන, ස්වාමියා විවේචනය කරන, ස්වාමියාට වද දෙන ගතිවලින් යුක්ත ය. එම පවුල් සංස්ථාව ද අසාර්ථක වන අතර, එවැනි පවුලත් දිව්‍ය ලෝකයක වසන පවුල් ගණයට අයත් නොවේ. ගිනි ගොඩක් මැද සිටින පවුලකි. එවැනි පවුල් හරියට ගහක බැඳපු යක් බෙරයක් හා සමාන ය.

සිව්වෙනි පවුල වන්නේ ‘දෙවො දෙවියා සද්ධිං සංවසති’ එනම් දෙවියෙක් දෙවඟනක් සමඟ වසන පවුලයි. එම පවුලේ ස්වාමි භාර්යා දෙදෙනා ම ගුණධර්මවලින් යුක්තයි. සිල්වත්, සැදැහැවත්, දන් දීමට ලැදි, කොතෙක් ලාබ ලැබිය හැකි වුවත් අයුතු මාර්ගවලට නො ගොස් ධාර්මික, අවංක ජීවන රටාවකින් යුක්ත පවුල් සංස්ථාවකි. යහපත් කටයුතු සඳහා දෙදෙනා ම ඒකමතිකව තීරණ ගන්නා අතර, අයහපත් දේ සඳහා දෙදෙනාම විරුද්ධ වනු ඇත. බුදුදහම තුළ අගය කොට ඇත්තේ එවැනි පවුල් සංස්ථාව යි. එවැනි පවුල දිව්‍ය විමනක ජීවත් වන්නන් හා බඳු ය.

එවැනි පවුලක් තුළ නිසියාකාර ව ස්වාමි භාර්යා යුතුකම් ඉටු වෙනු ඇත. ස්වාමියාගෙන් භාර්යාවට ද, භාර්යාවගෙන් ස්වාමියාට ද එම යුතුකම් කොටස ඉටුවන කල්හි පවුලක් තුළ ආරවුල්, අසමඟිකම්, අවිස්වාසකම් ඇති වන්නේ ද නැත. ස්වාමියාගෙන් භාර්යාවට ගරු කිරීම, අවමන් නො කිරීම, අනාචාරයේ නො හැසිරීම, යස ඉසුරු පැවරීම හා ආභරණ සැපයීම යනාදී යුතුකම් ටික ඉටුවිය යුතුව ඇත. එවිට බිරිඳගෙන් ස්වාමියා කෙරෙහි තිබිය යුතු අව්‍යාජ, අවංක ප්‍රේමය ඉස්මතු වේ. බිරිඳ පෙරලා ස්වාමියාට ද තම යුතුකම් ටික මනාව ඉටු කරනු ඇත. ඒ අනුව, තම කටයුතු මනාව ඉටු කිරීම, සේවකයන්ට සංග්‍රහ කිරීම, අනාචාරයේ නො හැසිරීම, සම්පත් ආරක්ෂා කර ගැනීම හා අනලස්ව ක්‍රියා කිරීම යනාදී කරුණු තුළින් බිරිඳ ස්වාමියාට සංග්‍රහ කරනු ඇත. එකල්හි එම පවුල හරියට දිව්‍ය විමනක් තුළ දිව්‍ය කුමාරයෙක් හා දිව්‍ය කුමාරියක් වසනවා හා සමාන ව බැබළෙනු ඇත.

තවද භාර්යාවරු ගත් කල්හි ඔවුන් ද වර්ග වශයෙන් හතකට බෙදා දක්වා ඇති අයුරු අ.නි. සප්තභරියා සූත්‍රය තුළින් පැහැදිලි වේ. එනම්, මාතු බරියා, භගිනි බරියා, දාසි බරියා, සඛී බරියා, චෝර බරියා, වධක බරියා හා සාමි බරියා යන අයයි. ඔවුන් හත් දෙනා අතරින් මාතු, භගිනි, සඛී, දාසි යන භාර්යාවරු හොඳ අය ලෙස ද, චෝර, වධක, සාමි යන භාර්යාවරු නරක අය ලෙස ද පෙන්වා දී ඇත.

බුදු හිමි කල සිටි නකුල මාතා, නකුල පිතා අඹුසැමි දෙදෙනා දෙවො දෙවියා සද්ධිං සංවසති’ යන දෙවියෙක් දිව්‍යාංගනාවක් සමඟ වසන පවුල් සංස්ථාවට අයත් වන්නකි. ඔවුන් දෙදෙනාටම එක සමාන අයුරින් ගුණ ධර්ම පිරී තිබුණි. දඹදිව භග්ග නම් රට සුංසුමාරගිරියෙහි විසූ එම දෙදෙනාගේ පුතා නකුල නම් විය. එම නම නිසා මව්පිය දෙපළ නකුල මාතා හා නකුල පිතා විය. බුදුහිමිගෙන් බණ අසා එම දෙදෙනා ම සෝවාන් විය. ශ්‍රද්ධා, ශීලාදී ගුණයන්ගෙන් පිරිපුන් පවුලක් වූ නකුල මාතා, නකුල පිතා පවුල ආදර්ශයට ගෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ ගෘහ ජීවිතය ලස්සන කර ගැනීමට පුළුවන්කමක් ඇත.

දිනක් නකුල මාතා, නකුල පිතා යන දෙදෙනා ම බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් තම ස්වාමියා, තම බිරිඳ පිළිබඳ නිර්දෝශීභාවය වර්ණණා කර ගත්හ. මෙම භවයේ පමණක් නොව මතු ජාතීන් හි ද දෙදෙනා දෙදෙනාට ම පි‍්‍රය බැවින් වාසයට කැමති බව ද කියා සිටියහ. බුදුරජාණන් වහන්සේ එම දෙපළට ප්‍රශංසා කළහ. බුදු දහම සැබෑ පවුල වශයෙන් අගය කරන්නේ බාහිර භෞතික සම්පත් තුළින් නොවේ. බොහෝ පවුල්වල අසීමිත ව භෞතික සම්පත් ඇත. නමුදු කිසිදු ගුණ ධර්මයක් නොමැත. ශරීරය නඩත්තු කිරීමට ඒ සඳහා ම අවශ්‍ය දේ වැඩි දියුණුූ කර ගන්නවා විනා මානුෂීය ගුණාංග වැඩි දියුණු කර ගැනීමක් නොමැත.

දෙමාපියන්ගේ නො මනා හැසිරීම් දූ දරුවන්ටත් ඉබේම බලපානු ඇත. එය සමාජ ප්‍රශ්නයක් සේ ම, බාර ගැනීමට සිටින බාල පරපුර මංමුලා වීමට ද හේතු වන්නකි. රටක, සමාජයක සමාරම්භක මූලස්ථානය වන්නේ නිවස යි. නිවස තුළ ජීවත් වන්නේ ස්වාමි භාර්යා යි. ඔවුන් කලක දී මව්පියන් වනු ඇත. තව කල් යාමේ දී ආච්චි, සීයා වනු ඇත. එලෙස ව්‍යාප්ත වන පවුල තුළ ඉහත කරුණු පිළිපැදීමක් නොමැති වුවහොත් එම පවුල ප්‍රේතයින්ගේ, භූතයින්ගේ යක්ෂයින්ගේ භවනක් වනු ඇත.

ඒ අනුව ඉහත දහම් කරුණු සිතට ගැනීමෙන් තම තමන්ගේ ක්‍රියා කලාපය තුළ ම දිව්‍ය ලෝකයක් හෝ ප්‍රේත ලෝකයක් මවා පෑමට පුළුවන. මෙලොව අපායක් වූ අයට පරලොව කොහොමත් අපායක් ම ය. තම තමන්ගේ පවුල් සංස්ථාව දිව්‍ය විමනක් කොටගෙන දිව්‍ය කුමර කුමරියන් විලසින් එහි ජීවත් වීම සිදුකළ යුතුව ඇත. එවිට අප ප්‍රාර්ථනා කරන හා බුදුරදුන් අගය කළ එම පවුල ගොඩනැගී තම නිවස ද, දිව්‍ය විමනක් වනු නියත ය. ඒ සඳහා දුප්පත්කම, කුලීන බව, නිර්ධන බව බල නො පානු ඇත. රජ මැදුරක වුව ද, බුදුන් දෙසූ ප්‍රතිපත්ති නැත්නම්, එම රජ මැදුර ද මිහිපිට ප්‍රේත ලෝකයකි. එබැවින් පුංචි පැල්පතක ජීවත් වුවද, ගුණ ධර්ම ඇතිව ජීවත් වන්නේ නම්, දිව්‍ය ලෝකයක් හදා ගැනීමට අපහසු නැති බව සිතට ගත යුතු ය.