Print this Article


දහම දකින පුද්ගල ස්වභාවය

දහම දකින පුද්ගල ස්වභාවය

" යම් කිසිවකු සීලයෙන් සංවර වී තිබු පමණින්, ශික්ෂාපද සමාදන් වී තිබූ පමණින් අනුසෝතගාමීත්වයෙන් බැහැරට ගමන් නොකරනුයේ ඔහුගේ පිළිගැනීම මම – මගේ – මගේ ආත්මය වීම නිසා ය."

“ධම්මස්ස අනනුබෝධා’ මේ ධර්මය අවබෝධ කර නොගැනීම හේතුවෙන් “ඒවමයං පජා” මේ සත්ත්වයා “තත්තාකුලක ජාතා” පැටලුණු නූල් පන්දුවක් වගේ “අපායං දුග්ගතිං විනීපාතං සංසාර නාදිවත්තතී” අපායට, දුගතියට ගමන් කරනා බව උන්වහන්සේ පෙන්වා දෙන ලදී. ඒ ගාම්භීර ශ්‍රී සද්ධර්මය පොත පතින් දැන හැඳින ගන්නවාට වඩා තමා තුළින් දකිමින් විමර්ශනය කළ යුතු වූවකි.

තමා අත්විඳින මේ සකල දුක්ඛස්කන්ධය තමා පසුපස සසර පුරාවට ම පැමිණෙන්නේ දුකෙන් නිදහස් වන්නට ප්‍රයත්නය නොදැරූ බව නිසා යැයි යමෙකුට සිතන්නට අවකාශය ලැබුණි නම්, ඔහු ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් අවබෝධ කරගන්නට සුදුසු වූවෙකි. වෙනස් කරගත යුතු චින්තනයක් වෙනස් නොකර ගත් නිසාත්, සම්‍යක් චින්තනයක් වෙනුවට මිථ්‍යා චින්තනයක් තමාගේ දර්ශනය බවට පත්කර ගත් නිසාත් මේ සත්ත්වයා සංසාරය නමැති බන්ධනයෙහි සංසාරය නමැති හිර ගෙදරින් ගැලවෙන්නට බැරිව දුක් විඳිනා බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයයි. උන්වහන්සේ ලොවට දේශනා කළේ සංසාරය නමැති හිර ගෙදරින් නික්මෙන ක්‍රමවේදයයි. එය වටහා ගැනීම උදෙසා උඩුගම් බලා ගමන් කරන ධර්මයක් මිසක, සාමාන්‍ය මිනිසුන් ගමන් කරන අධර්මයෙන් හැකියාව නොලැබෙනු ඇත.

කාමය නිතර නිතර පුරුදු කරවන, පාපී කර්මයන් නිතර කරන්නා වු තැනැත්තා අනුසෝතගාමි පුද්ගලයෙකු බව බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ලදී. ලෝකයේ විඳින්නට පුළුවන් උපරිම සුවය කාම සුවය නම් වු ඇස, කන, නාසය, දිව. ශරීරය යන පංච කාමයන් පිනවීම බව අනුසෝතගාමී පුද්ගලයා විසින් වරදවා වටහාගෙන සිටින බව පෙන්වා දෙන ලදී. එය පෘථග්ජන ස්වභාවයයි. ජීවත්වීම යනුවෙන් අදහස් කරන්නේ ද ගෙවල් දොරවල් තනා, රැකී රක්ෂා කර ගෙන, ආදායම් උපදවාගෙන, අවාහ විවාහ සිදුකර ගනිමින් , මේ පස්දොරින් ගන්නා රසය නැවත නැවත සිදු කිරීමයි. ආහාරපාන, ඇඳුම් පැළඳුම් ලබාගැනීමට මුදල් අවශ්‍ය වේ. මුදල් සපයා ගැනීමට රැකියාවක් කළ යුතු වේ. රැකියාවක් කරගැනීමට ඉගෙන ගත යුතු වේ. එමගින් මේ සියලු සැප සම්පත් භූක්ති විඳීමට අවස්ථාව උදාවෙනු ඇතිබව පෘථග්ජනයා නිතර සිහිපත් කරයි. එවැනි ඉන්ද්‍රියන් තුළින් ලබාගන්නා සැපය මෙලොව විඳින උසස්ම සැපය යනුවෙන් කල්පනා කර කිසි දිනෙක තෘප්තිමත් නොවන ආකාරයට සැප පසුපස හඹා යෑම ‘කාමංච පටිසේවතී” යනුවෙන් හඳුන්වනු ලබයි.

මිනිසා නිරතුරුව ම රූප කාම, ශබ්ද කාම. ඝන්ධකාම රස කාම , පොඨිඨබ්භ කාම. ධම්ම කාම යනුවෙන් හඳුන්වන කාමයන් මිනිස් ඉන්ද්‍රිය තුළින් උපාදානය කරගැනීම නිරතුරුව ම සිදු කරගනිමින් පවතී. ඇසින් දකින දකින මිහිරි රූපය නැවත නැවත දකින්නට පෙළඹේ. කනින් අසන මිහිරි ශබ්දය නැවත නැවත අසන්නට පි‍්‍රය වේ. මෙසේ නාසයෙන් ද, දිවෙන් ද, ශරීරයෙන් ද, මනසින් ද පි‍්‍රය දේ හඹා සැපයක් සොයා යෑම පෘථජ්ජන ස්වභාවයයි. එය ඉන්ද්‍රිය ගෝචර සැපතයි. තව ආකාරයට විග්‍රහ කළහොත් එය අරමුණුවලට ඇලීමයි.

වර්තමාන සමාජයේ දක්නට ලැබෙන අයහපත් පුද්ගලයා ද, යහපත් පුද්ගලයා ද යන දෙපිරිසම අනුසෝතගාමි පුද්ගලභාවයෙන් මිදීමට උත්සාහ නොකරන පිරිසක් බවට පත්ව ඇති බව පෙනේ. ධර්මය වටහා ගැනීමට අපොහොසත් වීම තුළින් එය විද්‍යමාන වනු ඇත. ගිහි පැවිදි සියල්ලෝම බුදු දහමින් ලැබී ඇති ශික්ෂණය තුළ, ශික්ෂා පදයන් තුළ සංවර වෙමින් ජීවත් වන බව දැකිය හැකි ය. දානය, සීලය නමැති පුණ්‍යක්‍රියා තුළින් සංවර වෙන පුද්ගලයා අයහපත් දේ දුරු කරමින්, යහපත් දේ සිදුකර ගැනීම හේතුවෙන් ආයුෂ, වර්ණය , සැපය, බලය ලබා දිව්‍යලෝකවල පවා උප්පත්තිය ලබයි. මෙහිදී යම් කරුණක් ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු ය. එනම්, පින් කරනු ලබන්නාත්, මම – මාගේ, මගේ ආත්මය යන සංකල්පය තුළ සැරිසරමින් ඊට අදාළ විපාක කර්මවලට මුහුණ දෙයි. එසේම සීලය කියනු ලබන පුණ්‍යක්‍රියා වස්තුව තුළ ද මම , මගේ, මගේ ආත්ම යන සංකල්පවල සැරිසරා ඊට අදාළවන කර්ම විපාක වන දෙවියන් අතර හෝ මනුෂ්‍යයන් අතර ඉපිද, සැනසිලි සුවය විඳී. මේ සියලු විපාකයන් කාමයන්ගේ නැවත නැවත සිදු කිරීම නිසා ඇතිවන අනුසෝතගාමි පුද්ගල භාවය නිරූපණය වීම බව වටහා ගතයුතුව ඇත. ලෞකික සැප අපේක්ෂා කරන, අනුසෝතගාමී පුද්ගලයාහට ලොව්තුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළ ලෝකෝත්තර දහමට හිමිකම් කීමට අවකාශයක් නොලැබෙනු ඇත. නීතිගරුක, හොඳ, යහපත්, විනයගරුක පුද්ගලයන් වශයෙන් ජීවත් වුව ද, ගිහියන් ලෙස හෝ පැවිද්දන් ලෙස හෝ ජීවත් වුව ද, ඔවුන් ලෞකික සැප අපේක්ෂා කරයි නම්, පෘථජ්ජන භාවය බිඳ හෙළීමට අපොහොසත් වන නිසාම ඔවුන් අනුසෝතගාමී පුද්ගලයන් බව තහවුරු කරගත යුතුව ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙහි ගැඹුර වටහා නොගන්නා තාක් ඔවුන් අයත් වන්නේ අනුසෝතගාමි පුද්ගලභාවයට ය.

යම් කිසිවකු සීලයෙන් සංවර වී තිබු පමණින්, ශික්ෂාපද සමාදන් වී තිබූ පමණින් අනුසෝතගාමීත්වයෙන් බැහැරට ගමන් නොකරනුයේ ඔහුගේ පිළිගැනීම මම – මගේ – මගේ ආත්මය වීම නිසා ය. එසේ ඇලීමට පත්වන්නා කිසිම දිනක සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය නොදැකීම පුදුම විය යුතු කරුණක් නොවනු ඇත. සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය නොදකින තාක් සියලු දෙනා සමාජයේ නිර්වාණාවබෝධය මඟහරවා ගමන් කරනා අනුසෝතගාමි බවට පත්වීම වැළැක්විය නොහැක.

බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කළ අන්දමට අනුසෝතගාමී පුද්ගල භාවයේ මීළඟ ස්වභාවය වන්නේ “පාපංච කම්මං කරෝති” යනුවෙන් හඳුන්වා දුන් අනුසෝතගාමී පුද්ගලයා අතරින් නිතරම පාපී කර්මයන් සිදුවන බවයි. සතුන් මැරීම, සොරකම් කිරීම සිදු නොකරන පුද්ගලයින් පවා අරමුණු ගැනීමේ දී ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ක්‍රියා කරයි නම්, අකුසල මූලයන් බලවත් වීම සිදුවන කරුණක් බව මතක තබාගත යුතු වේ. එනිසා අනුසෝතගාමී පුද්ගලයින් සියලු දෙනා අතර පව් කරනා අයම සිටිනා බව පැහැදිලි වේ. තථාගතයන් වහන්සේ විසින් ලෝභය ක්ෂය වීම නිවනයි. ද්වේශය ක්ෂය වීම නිවනයි. මෝහය ක්ෂය වීම නිවනයි යනුවෙන් දේශනා කර ඇත්තේ ද සියලු දෙනා අනුසෝතගාමිත්වයෙන් බැහැර කරවීමේ අරමුණින් බව පැහැදිලි ය. එමගින් බුදුපියාණන් වහන්සේගේ ඉලක්කය වී ඇත්තේ සමාජයේ සියලු මිනිසුන් පටිසෝතගාමී පුද්ගලභාවයට පරිවර්තනය කිරීම බව තහවුරු වේ.