Print this Article


පූජාච පූජනියනං

සසුන් කෙත ඒකාලෝක කරන යතිවරයන් වහන්සේ දෙනමක්

කැලණිය පිලපිටිය බරණැස්කන්ද පුරාණ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත කහටවිලවත්තේ පාලිත මා හිමියන්ගේ සහ තත් විහාරාධිකාරී නෙළුන්දෙණියේ සිරිවිමල මා හිමියන්ගේ උපසම්පදා දිවියෙන් අඩසියවසක් පුරා ඉටුකළ ජාතික, ආගමික හා ශාසනික සේවාවට ගෞරව උපහාර පිණිස විශේෂ පුණ්‍යෙීත්සවයක් ඔක්තෝබර් 22 සිට 27 දක්වා විහාරස්ථානයේ දී පැවැත්විණි.


කහටවිලවත්තේ පාලිත නා හිමි


නෙළුන්දෙණියේ සිරිවිමල හිමි

කැලණිය පිලපිටිය බරණැස්කන්ද පුරාණ විහාරාධිපති ශාස්ත්‍රවේදී, පණ්ඩිත කහටවිලවත්තේ පාලිත නා හිමිපාණන් සහ විහාරාධිකාරී විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රවේදී නෙළුන්දෙණියේ සිරිවිමල හිමිපාණන් වහන්සේ දෙනම එක් ආචාර්යවරයන් වහන්සේ නමකගේ ශිෂ්‍ය හිමිවරුය. එනම් රඹුක්කන පරපේ ශ්‍රී විද්‍යා ශ්‍රී පිරිවෙන, රඹුක්කන වහව ආනන්දෝදය පිරිවෙන්හී කෘත්‍යාධිකාරී වූද රඹුක්කන කිරිගොඩකෝරලයේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වූද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය වූද, මීට වසර 28 කට පෙර අපවත් වී වදාළ වැල්හේනේ සිරිඤාණසිරි ධම්මාරාම නාහිමියන්ගේ ශිෂ්‍ය පුත්‍රයන් ලෙස ය.

තම ශිෂ්‍ය හිමිවරුන්ගේ දක්ෂතා හැකියාවන්, හඳුනාගත් ගුරුදේවෝත්තමයන් වහන්සේ, පිලපිටිය බරණැස්කන්ද නම් වූ පුංචි කඳු ගැටය හිමිවරුන් වෙත පවරන ලදී.

බරණැස් කන්ද බෝ සමිඳුන්, ගරාවැටුණු ගොඩනැගිල්ලත් අන් පසෙක වූ කබොක් කන්දත් පරයා අත්‍යාලංකාර අංග සම්පූර්ණ විහාරස්ථානයක්, නිර්මාණය කරන ලදී. එය අති දුෂ්කර ගමනක සැනසුම් සුසුමකි. ගමයි පන්සලයි, වැවයි, දාගැබයි යන ශ්‍රී ලාංකීය සංස්කෘතික යථාර්ථයේ හරස්කඩක් ලෙස කැලණිය, බරණැස්කන්ද ගම්පියස නිර්මාණය විය.

මෙම දෙදෙනා වහන්සේගේ ම අපූර් වූ එකමුතුවක් තිබේ. දෙදෙනා වහන්සේ මෙලොව එළිය දැක ඇත්තේ 1949 දී ය. පැවිදි වී ඇත්තේ 1961 දී ය. අධ්‍යාපනය හදාරා ඇත්තේ එකම ආකාරයට ය. මූලික අධ්‍යාපනය රඹුක්කන පිරිවෙනෙන් ද, උසස් අධ්‍යාපනය කොළඹ ජේතවනාරාම පිරිවෙනින්ද ලබා පසුව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇත. කොළඹ දෙමටගොඩ ශ්‍රී ඥානවිමලාරාම විහාරස්ථානයේ එකම කුටියක නැවති වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇත. දෙදෙනා වහන්සේ ම 1969 ජූලි 23 දා උපසම්පදා සම්පත්තියට පත් වූ සේක. දෙදෙනා වහන්සේ ම ගුරුවරු ලෙස දශක තුනක් රාජ්‍ය සේවයේ නිරතව ඇත. පාලිත හිමියන් කැලණිය ශ්‍රී විද්‍යාශේකර මූලික පිරිවෙනේ ද, සිරිවිමල හිමියන් අම්පාර ගලහිටියාගොඩ මහා විද්‍යාලයේ ද සේවය ආරම්භ කර ඇත. පාලිත හිමියන් වසර තිහක් ගුරු සේවය කොට කැලණිය ශ්‍රී විද්‍යාශේකර පිරිවෙනේ පරිවේනාධිපති ලෙස දීර්ඝ කාලයක් සේවය කර විශ්‍රාම ලැබූ අතර, පාලිත හිමියන්ගේ පරිවේනාධිපති දිවිය අතිවිශිෂ්ටය.

සියලු ශිෂ්‍ය හිමිවරුන්ට උන්වහන්සේගේ අනුශාසනාව වූයේ ඉහළම අධ්‍යාපනය ලැබීමෙන් ජීවිතයේ ඉලක්ක සපුරාගත හැකි බවත්, කැපවීමෙන්, ස්ථිර අධිෂ්ඨානයෙන් නිශ්චිත අරමුණ කරා ගමන් කළ යුතු බවත් ය. අදවන විට උන්වහන්සේලා ශාසනය සුරකින යතිවරයන් ය. ඒ බව මනාව පැහැදිලි වනුයේ වර්තමානය වන විට කැලණිය ශ්‍රී විද්‍යාශේකර පරිවේනාධිපති වශයෙන් කටයුතු කරනුයේ නාහිමියන්ගේ ශිෂ්‍ය ශාස්ත්‍රපති කැලණියේ ඤාණවිමල හිමියන් ය.

මේ දෙදෙනා වහන්සේ ම සාකච්ඡා කොට ගත් තීරණයක් පරිදි කැලණියේ පිලපිටිය බරණැස්කන්ද වෙත 1975 අගෝස්තු 16 දින වැඩම කරන ලදී. සිය ගුරුදේවයන් වහන්සේ වූ වැල්හේනේ සිරි ඥානසිරි ධම්මාරාම මාහිමියන්ගේ මඟපෙන්වීම යටතේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා නිරවුල්කර දුන්, ප්‍රදාන දායිකාවක් වූ මාදම්පිටියගේ ඉසානා උපාසිකාවගේත්, ගම්මුලාදෑනි වූ ජස්ටින් ජයසිංහ රාළහාමිගෙත් අනුග්‍රහයෙන් මෙහි විහාරය ගොඩනැගීම ආරම්භ කරන ලදී.

ගම කේන්ද්‍ර කොටගෙන පැවති පැරැණිම සංවිධානය වන 1945 දී පමණ ආරම්භ වී ඇති ශ්‍රී සම්බුද්ධ එක්සත් සමිතිය හා දායක සභාවත්, ශ්‍රී ඥානෝදය දහම් පාසලත්, ග්‍රාම සංවර්ධන සමිතිය, මහිලා සමිතිය, මයුර ප්‍රජා මණ්ඩලය, යෞවන සමාජය, අන්‍යොන්‍යාධාර සමිතිය ආදී විහාරය කේන්ද්‍රකොටගත් සංවිධාන පිහිටුවා ගෙන ඇත.

මෙම විහාර පරිශ්‍රය දියුණු වූයේ මේ පැවිදි සහෝදර දෙනමගේ සමඟිය, අන්‍යොන්‍ය අවබෝධය නිසාවෙනි. පාලිත හිමියන් හා සිරිවිමල හිමියන්ගේ කටයුතු තේරුම් ගත් එදා පින්වතුන් වෙසක් කූඩු ප්‍රදර්ශනයක් මගින් මුදල් ඒකරාශී කොට පර්චර්ස් 46 ක ඉඩමක් මිලට ගෙන පන්සලට පූජා කරන ලදී. වර්තමානය වන විට පර්චර්ස් සියයක භූමියක විහාරය අංග සම්පූර්ණ වී තිබේ.

සිය දිවියෙන් දශක හතකුත්, උපසම්පදා දිවියෙන් අඩසිය වසකුත් සපුරමින් සිටින මේ ශ්‍රේෂ්ඨ යතිවරුන් දෙපළ උසස් ගුණාංග ප්‍රකට කරමින් පැවිදි දම් පුරන ආකාරය කාගේත් ගෞරවයට පාත්‍ර වේ. මෙවන් පින්බර පුතුන් දෙදෙනෙකු සසුනට පූජා කළ පාලිත හිමියන්ගේ ආර්.ඩී. මර්තේලිස් උපාසක මහතා සහ ආර්.ඩී. එමලින් නෝනා උපාසිකා මාතාව යන මව්පිය දෙපොළත්, සිරි විමල හාමුදුරුවන්ගේ මව්පිය දෙපළ වන ඒ සයිමන් වෙදමහතා හා ආර්.ඩී. පොඩිනෝනා උපාසිකා මාතාව යන මව්පියන්ගේ ආශීර්වාදය ද ආදර්ශවත් ය.

පාලිත හිමියන් සිය ගුරුදේවෝත්තමයන් අනුගමනය කරමින් දුෂ්කර වෙහෙර විහාරස්ථ සංවර්ධනය කිරීමට නිරන්තර පින්බර දායකත්වය දක්වන අතර වයඹ පළාතේ අති දුෂ්කර නාත්තන්ඩිය, කොස්වත්ත මීගහවෙල ග්‍රාමය සංවර්ධනය කොට මංමාවත් ඉදිකරවා, වැසීයාමට ආසන්නව තිබූ පාසල පවා ශක්තිමත්ව සංවර්ධනය කොට කොස්වත්ත මීගහවෙල වේළුවනාරාමය සියලු විහාර අංගවලින් සම්පූර්ණ කොට එය සිය ශිෂ්‍ය ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී බඹරගහපැලැස්සේ ධම්මික හිමියන්ට පවරා දී ඇත.

සියනෑකෝරළයේ විහාරස්ථාන රැසක සහ සම්බන්ධකම් ගොඩනගාගනු ලැබූ සේක. කැලණිය ශාසනාරක්ෂක මණ්ඩලය කැලණිපුර බෞද්ධ බලමණ්ඩලය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකකායේ වත්තල ප්‍රාදේශීය සංඝ සභාව තුළින් ඉටුකළ ජාතික ආගමික ශාසනික සේවය අති උදාර ය.

පාලිත හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ වත්තල ප්‍රාදේශීක සංඝ සභාවේ දිසා පාලක හිමියන් ය. උන්වහන්සේට 2019 ජුනි 11 දා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් ‘ප්‍රඤ්ඤාජෝති සිරි ඥානසිරි ධම්මාරාම වංශාවතංස සංඝ ශෝභන කීර්ති ශ්‍රී’ යන ගෞරව නාමය පිරිනමා ඇත.

****

දෙමලුස්සේ මේධංකර හිමි

පංචිකාවත්ත අභයසිංහාරාම විහාරාධිකාරී මරදාන සංඝරාජ මධ්‍ය මහා විද්‍යාලයෙහි විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රවේදී පණ්ඩිත දෙමලුස්සේ මේධංකර මාහිමිපාණන් වහන්සේ නොවැම්බර් 06 දිනට පැවිදි දිවියට පත් වී අඩසියවසක් සපිරිණි. කුරුණෑගල දෙමළුස්ස ග්‍රාමයේ දී අභයකෝන් මුදියන්සේලාගේ පුංචි බණ්ඩා නිලමෙ සහ හේරත් මුදියන්සේලාගේ උක්කු අම්මා මැණිකෙ දම්පතින්ගේ පුත්‍රරත්නයක් ලෙස 1955 පෙබරවාරි මස 10 දින ජන්ම ලාභය ලැබීය. කුරුණෑගල මාස්පොත මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

1969 නොවැම්බර් 6 දින මාදම්පේ ශ්‍රී සීලක්ඛන්ද නාහිමි, බෙරගම පුඤ්ඤානන්ද නාහිමි, මාතලේ ශ්‍රී සුමංගලාරාමාධිපති පණ්ඩිත කනන්ගමුවේ උපනන්ද නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් පංචිකාවත්තේ අභයසිංහාරාම විහාරස්ථානයේ දී පැවිදි දිවියට පත් විය. 1970 මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබූහ. 1978 ජූනි 30 දින අධිශීල සංඛ්‍යාත සීලයෙහි පිහිටු වූහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබූ උන්වහන්සේ කනන්ගමුව රජයේ විදුහල, සීගිරිය මහා විද්‍යාලය, කොළඹ ශ්‍රීමත් බාරොන් ජයතිලක විද්‍යාලය, කොළඹ කොටහේන මහා විද්‍යාලයන්හි ධර්මාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ අතර කොළඹ අධ්‍යාපන කලාපයේ මැද කොළඹ කොට්ඨාසයේ බුද්ධ ධර්මය පිළිබඳ ගුරු උපදේශක වශයෙන් සේවය කළහ. උන්වහන්සේ කොළඹ ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත්ව එම විද්‍යාලයට අති විශිෂ්ට සේවාවක් සිදු කරන ලදී.

ශාසනික වශයෙන් කොළඹ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී වශයෙන් දෙවරක්ම පත් වූ අතර දැනට මහා මහින්ද භික්ෂු පදනමේ ලේඛකාධිකාරී වශයෙන්ද ශ්‍රී සංඝරාජ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය දරමින්ද අති විශිෂ්ට සේවාවක් සිදු කරති.

පැවිදි දිවියට අඩසියවසක් සම්පූර්ණවීම නිමිත්තෙන් උන්වහන්සේට ආශිර්වාද පතා නොවැම්බර් 06 දින මාලිගාවත්ත වකුගඩු රෝහලේ නේවාසික රෝගීන් සඳහා දිවා ආහාරය පිරිනැමිණි. සෙත් පිරිත් සජ්ඣායනාවක්. බෝධි පූජා ආශිර්වාද පින්කම ඇතුළු එදින දවස පුරා ම සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් ද පැවැත්විණි. නොවැම්බර් 07 දින කුරුණෑගල මලඟනේ පුරාණ විහාරස්ථානයේ වැඩිහිටි මව්පියන් 50 දෙනෙකුට වියළි ආහාර පිරිනැමීම සහ සිල්රෙදි බෙදා දීම ද සිදු කෙරිණි. ජාතික ආගමික ශාසනික කටයුතු කිරීමට උන්වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.