Print this Article


තුරු සෙවණක සුවය

තුරු සෙවණක සුවය

ලෝකය සකස් වී තිබෙන්නේ ජීවී හා අජීවී යන අංශ දෙකෙනි. මෙම පරිසර පද්ධති දෙක එකිනෙකා මත යැපෙන අය වේ. ‘අජීවී පරිසරය’ යනු ගහ කොළ, ජලය, වාතය ආදී අප අවට ඇති පරිසර පද්ධතිය වේ. ඒවාට ජීවීන්ට මෙන්ම පෙනෙන ප්‍රාණයක් නැති වුව ද එහිද ක්‍රියාකාරීත්වයක් ඇත. ජලය, ගහ කොළ, වාතය ආදී පරිසර පද්ධතීන් ජීවීන්ට ලබාදෙන දායකත්වය මිනිසුන් ලෙස ප්‍රත්‍යක්ෂයෙන් අපි දනිමු.

එහෙත් නූතනය වන විට මිනිසුන්ට එය අමතක වී ඇත. බුදුදහම පහළ වන යුගයේ දී පරිසර පද්ධතියට කතා කිරීමට තරම් හානි නොවී තිබූ යුගයක පවා බුදුන් වහන්සේ මෙපමණ අවධානයක් යොමු කළේ නම් නූතනය වන විට සිය දහස් ගුණයකින් අවධානය යොමු කිරීමට කාලය එළඹ ඇත. මන්ද විද්‍යාත්මක වශයෙන් නූතනයේ දියුණු යැයි මානයෙන් හිස උදුම්මවාගෙන සිටින මිනිසාගේ ක්‍රියාකලාපය හේතුවෙන් පරිසර පද්ධතියට ඇතිවී තිබෙන දැඩි තර්ජනය සැලකිල්ලට ගැනීමේ දී ය. මේ වන විට වායුගෝලයේ උෂ්ණත්වය වැඩිවීම, වන විනාශය, සතුන් වඳවීම, ගොඩබිම අඩුවීම, පිරිසුදු ජලය හිඟවීම, ශාක වර්ග වඳවී යෑම, තාක්ෂණික විකිරණශීලිත්වය ඉහළ යෑම, නව ලෙඩ රෝගවර්ග දිනෙන් දින ඉහළ යෑම, පෝෂ්‍යදායි ආහාර නැතිවී යාම, අක්‍රමවන් වර්ෂා රටාවක් බිහිවීම ආදී බොහෝ ගැටලු ඇතිවී තිබේ. මෙහි චූදිතයා, මිනිසා වී හමාර ය. මෙම නිසා නැවත පරිසරය පිළිබඳ සිතිය යුතු කාලය එළඹ ඇත. ඒ සඳහා බුදුදහමින් ලැබිය හැකි පිටුබලය ඉමහත් ය.

සදාචාරාත්මක බව සකස් විය යුත්තේ සීලය මත පිහිටා ය. සීලය කඩ කිරීම ඇවැත් ඇතිවන්නකි. ඒ අනුව පිරිසුදු ජලයට ඉඳුල් දැමීම, නිල් තණමත රොඩුකුණු දැමීම, ජලයට මළ මුත්‍රා පහ කිරීම, කෙළ ගැසීම, බීජ වර්ග විනාශ කිරීම, ශාකවල අතු කැපීම ආදිය යම් භික්ෂුවක් විසින් සිදු නොකළ යුතු අතර සිදු කරන්නේ නම්, ඇවතක් හෙවත් දඬුවම් ලබන වරදක් ලෙස පෙන්වා දී තිබේ. භික්ෂුව පමණක් නොව සමස්ත මානවයා එය අවධානයට ගන්නේ නම් පරිසරය කෙතරම් යහපත් වේ දැයි අනුමාන කළ හැකි ය.

බුද්ධකාලීන සමාජයේ බමුණන් විසින් නොයෙක් ආකාරයේ යාග සිදුකළ අතර එය විවේචනය කළ බුදුන් වහන්සේ කූටදන්ත සූත්‍රයේ දී පැරැණි අවෛදික බමුණන් යාගය සඳහා ගස් හා තණකොළ නොකැපූ බවත් මේවන විට යාගය ගස් සිඳිමින් , පැළෑටි විනාශ කරමින් සිදුකරන අධාර්මික ක්‍රියාවක් බවට පත් වී ඇති බවත් පෙන්වා දෙන ලදී.

මිලින්ද ප්‍රශ්නය නම් සංවාදයේ දී ගස් අපට මොනවාද දෙන්නේ යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්,

ගසක් ගෙඩි හා මල්වලින් යුක්තවන අතර ඉන් මල්වලින් අලංකාරයත් ගෙඩිවලින් පෘථිවි රසයත් ලබා දේ.

ගස තමා වෙත එළඹෙන ජනයාට සෙවණ දෙයි. (එසේ සෙවණ දෙන ගසක අත්තක් හො බිඳින්නේ නම්, එය මිත්‍රද්‍රෝහී ළාමක ක්‍රියාවකි.)

ගස සමසිතින් තමාට මිතුරු හා සතුරු යන දෙපක්ෂයටම වෙනසක් නොමැතිව සමව සලකයි. මින් අවසානයේ දක්වන ලද කරුණු දෙකම සත්වයන් වෙත දක්වන දයාන්විත බව ප්‍රකට කරයි.

එමෙන්ම බුදුන් වහන්සේ තරම් තුරු සෙවණක අගය වර්ණනා කළ ශාස්තෘවරකේ නැත. බෞද්ධ විමුක්ති මාර්ගයට ප්‍රවේශවීමට අවශ්‍ය මානසික සුවය ලබා දෙන්නේ නිසංසල පරිසරය වන අතර එයට සාමාන්‍ය මිනිසුන් පි‍්‍රය නොවන බවත් සඳහන් කරයි. මිනිසා සිත් සතුටට පත් කරගැනීමට නොයෙක් ක්‍රම සෙව්ව ද, අඅද වන විට යම් ප්‍රවණතාවක් තුරු සෙවනක නිදහසේ ගත කිරීමට යොමු වෙමින් සිටී. එහෙත් ප්‍රශ්නය වී තිබෙන්නේ විවේකයට වනාන්තරයකට හෝ ස්වභාව ධර්මයේ තැනකට යන මිනිසා ඉන් එළියට එන්නේ සැබෑ මිනිසුන් ලෙස ද යන්න ය. ස්වභාව ධර්මයට ඇලුම් කරන ඉතා අතළොස්සක් දෙනා පරිසරය රැක ගත්ත ද බොහෝ දෙනෙක් එය දකින්නේ වාණිජමය ඇසකිනි. එමෙන්ම පාසල් හෝ අනෙකුත් නිවාඩු කාලවලට විනෝදයට පමණක් ගමන් යන, වෙනසක් සොයාගෙන යන විශාල දෙනෙක් මුළු පරිසරයම විනාශ කරමින් තමගමන ගොස් එති. තිරිසන් සතුන් පවා මැනවින් ආරක්ෂා කරගෙන සිටින එම පරිසරය තිරිසන් සතුන්ටත් වඩා පහළ මට්ටමක ලක්ෂණ ප්‍රකට කරමින් මිනිසුන් විසින් විනාශ කර දමා නැවත එති. නූතන ශ්‍රී ලංකාවේ විනෝද චාරිකා වැඩි වී ඇති අතර ඒ තරමටම පරිසරය විනාශ කිරීම ද ඉහළ ගොස් ඇත්තේ හැඟීමක් නැති අනවබෝධය නිසා බව ප්‍රත්‍යක්ෂ වෙමින් පවතී.

එමෙන්ම දැනුමෙන් පොහොසත් උගත් යැයි සිතා ක්‍රියා කරන බොහෝ දෙනෙක් මෙහෙයවනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවලට පරිසරය ආරක්ෂා කර ගැනීම ව්‍යාපෘතිය සම්මත කර ගැනීමට ඉදිරිපත් කරන ත්‍රිමාණ ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට, වචනයට පමණක් සීමා වී ඇත. එබැවින් ඉන් ඔබ්බට ගොස් පරිසරය ආරක්ෂා කිරීමට සැබෑ මිනිසුන් ලෙස ඉදිරිපත් විය යුතු ය.

ඒ අනුව සුන්දර පරිසරයක් ගොඩ නඟා ගැනීමට අවශ්‍ය සියලු පෙළ ගැසීම් බුදු දහම තුළ අන්තර්ගත ය. එම නිසා ඒවා ක්‍රියාත්මක කිරීමට කාලය එළඹ ඇත. ඒ අතර,

ලෝකයේ පවතින්නේ ධර්මතා බවත් එය ස්වභාව ධර්මයේ ධම්මනියාමතා ගුණය මත පදනම් ව ක්‍රියාත්මක වන බවත් අවබෝධ කර ගත යුතු ය.

තාවකාලික ලාභය නොව දීර්ඝකාලීන මිනිසාගේ පැවැත්ම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

මිනිසා වනාහි තෘප්තිමත් නොවන සත්වයකු බැවින් පරිසරයට ද කිසිදා මිනිසා තෘප්තිමත් කළ නොහැකි බව තේරුම් ගැනීම.

පරිසරය මිනිසා වෙනුවෙන් නොව දෙදෙනාගේම පැවැත්ම වෙනුවෙන් පවත්නා දෙයක් බව සිහිතබා ගැනීම. ආදී කරුණු මත පිහිටා නව උපදින පරපුරට, පරිසරයට ආදරය කරන එහි අගය වටහා ගත්තවුන් බවට පත් කරමින් නව උපදින පරපුරට ද මෙම පරිසරය ඉතුරු කොට බෞද්ධ සංකල්ප මත පිහිටා පරිසරය රැකගන්න. එහි අගය වටහා ගත්තවුන් සේ ආදර්ශයෙන් ක්‍රියා කිරීමට කාලය එළඹ ඇත.