Print this Article


මහැදුරු ගුණපාල මලලසේකර: ප්‍රඥාලෝකයෙන් ලොවක් බැබළ වූ ප්‍රදීපස්ථම්භය

මහැදුරු ගුණපාල මලලසේකර: ප්‍රඥාලෝකයෙන් ලොවක් බැබළ වූ ප්‍රදීපස්ථම්භය

දිවංගත මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ 120 වැනි ජන්ම දින සැමරුම 2019 නොවැම්බර් මස 09 වැනි දිනට යෙදී තිබිණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

මහාචාර්ය ගුණපාල මලලසේකර ශ්‍රීමතාණෝ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම අද්විතීය ශ්‍රී ලංකා පුත්‍රරත්නයක් වූ හ. සිය හැත්තෑ තුන් වසක ජීවන කාලය මුළුල්ලේ මේ රටටත්, ජාතියටත්, බුදුදහමටත්, මුළු ලොවටත් සැලැසුනු විශිෂ්ට සේවය ගැන සලකන විට ඔහු හැඳින්විය යුත්තේ ජාතියේ පිනින් පහළ වුනු අද්විතීය ආශ්චර්යමත් පුද්ගලයෙකු වශයෙනි.

1899 නොවැම්බර් 09 වැනි දින පානදුර මාලමුලේ දී උපත ලබා 1906 දී පානදුර සාන්ත ජෝන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ අවුරුදු 11 දී ජූනියර් කේම්බ්‍රිජ් විභාගයෙන් සාමාර්ථය ලබා 1918 දී ලන්ඩන් බී.ඒ. උපාධිය හිමිකර ගෙන වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූයේ බටහිර වෛද්‍යවරයෙකු වීමේ අභිලාශයෙනි.

1921 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් සේවය අරඹා ඊළඟ වර්ෂයේ දී එහි උප විදුහල්පති තනතුරට පත් වූවා පමණක් නොව, වැඩබලන විදුහල්පති වශයෙන් ද කටයුතු කළේ ය. වර්ෂ 1923 දී ලන්ඩනය බලා පිටත්ව ගිය එතුමා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුලු වී එහි එම්.ඒ උපාධි පරීක්ෂණයෙන් විශිෂ්ට ලෙස සමත් වී පසුව පී.එච්.ඩී. උපාධිය ද ලැබී ය.

ඉන් අනතුරුව නැවත මව්බිම වෙත පැමිණ කොළඹ නාලන්දා විද්‍යාලයේ පළමු විදුහල්පති තනතුරට පත්විය. අනතුරුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් ද, 1937 දී මහාචාර්ය පදවිය ද ලැබූ මලලසේකර ශ්‍රීමතාණන් 1942 දී පාලි හා බෞද්ධ සංස්කෘතිය පිළිබඳ මහාචාර්ය ධූරයෙන් ද පිදුම් ලැබී ය. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ඩී.ලිට් උපාධිය ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ද මලලසේකර මහැදුරුතුමන් ය.

ලෝකය පෙරදිග අපරදිග වශයෙන් බෙදී තිබෙන විට මලලසේකර මැතිතුමා ඒ දෙකෙහි ම ජීවත් වූයේ ය. අපරදිග ලෝකයේ දී ඔහු පෙරදිග බෞද්ධ දර්ශනය පමණක් නොව පෙරදිග භාෂා ශාස්ත්‍රයේ හරය අපරදිග භාෂා ශාස්ත්‍රවලින් ප්‍රගුණ කර කරුණු පහදා දී තම දක්ෂකම සුළුපටු නො වන බව නිරායාසයෙන් ම ඒත්ගු ගැන්වූයේ ය. එතුමන් සෝවියට් රුසියාවේ පළමු ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ද, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් ද, කැනඩාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා ස්ථිර නියෝජිතයා වශයෙන් ද, ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ලැබෙන අයුරින් උසස් රාජ්‍ය තාන්ත්‍රික සේවාවක් ඉටුකරනු ලැබී ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, විදේශ තානාපති සේවය පමණක් නොව ලෝක බෞද්ධ සම්මේලනය වැනි ස්ථානවල දී එතුමන්ට සවන් දුන් අය, එතුමා ලියූ දේ කියවූ අය මේ දක්ෂ පුද්ගලයා කවරෙක් ද ඔහු කොයි රටේ ද, ඔහුගේ ප්‍රකාශයන් හා අදහස් හි මහත් හරයක් තිබෙනවා නේද යනුවෙන් තවදුරටත් සොයා බැලීමට හැදෑරීමට උනන්දු වූ හ. එම උනන්දුව මත ශ්‍රී ලංකාව යනු නිර්මල බුදුදහමින් පෝෂණය වූ ඉහළ සංස්කෘතියක් ඇති වැදගත් රටක් යැයි යන කරුණ ලෝකය හමුවේ ස්ඵුට කිරීම, අඩුපාඩුවක් නැතිව කළ හැකි වූ පුද්ගලයා මලලසේකර මැතිතුමා ම බව පිළිගැණුනි.

මේ සඳහා එතුමා දැන සිටි කරුණු හුදු ආගමික දර්ශනයට සීමා නො වුණි. සමයාන්තර ඤාණය, භාෂාන්තර ඤාණය, විවිධ භාෂා නිවැරැදිව කතා කිරීම, ලිවීම මෙන් ම එම භාෂා වලින් වියත් පර්ෂද මෙන් ම සාමාන්‍ය රැස්වීම් ඇමතීමේ දී තිබූ නියම දක්ෂකම එතුමන්ට විස්මිත ආකාරයෙන් පිහිටා තිබුණි.

ඒ ඒ වකවානු වලදී අප රටේ තිබූ සමාජ ආර්ථික හා දේශපාලනික තත්ත්වය, යටත් විජිත තත්ත්වයන් හමුවේ විදේශීය බලපෑම් හමුවේ බෞද්ධකම සිංහලකමට තිබූ අතවර පමණක් නොව සාමාන්‍යයෙන් ආසියාතිකයන් කෙරෙහි බටහිර රටවල් දැක්වූ ආකල්පය මෙන් ම අපේම පාලකයින් විදේශ ආධිපත්‍යයේ බලපෑමෙන් අසිංහලයන් වීම නිසා ඇති වූ දුෂ්කරතා මැද තිබුණු බාධක ගැන සලකා බැලීමේ දී එවකට සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුට ජාත්‍යන්තර දක්ෂකම් පෑම කෙසේ වෙතත් සාමාන්‍යයෙන් ආත්ම ගෞරවය ආරක්ෂා කරගනිමින් විදේශයන්හි අධ්‍යාපනය හැදෑරීමේ දී පවා විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වී ඇත. තම අසාමාන්‍ය දක්ෂකම නිසාම මලලසේකර මැතිතුමා එම බාධක මැඩ ජයගත් අතර, අවසානයේ බටහිර ජාතීන් පවා එතුමන්ට ගරු බුහුමන් දැක්වීම දක්වා පැමිණීම ට හැකි වූයේ වීර්යයෙන් ඉදිරියට යෑමේ ධෛර්යය නිසා ය. අඳුරු යුගයක සිට නැගී සිට සදා ආලෝකය දුන් ප්‍රදීපස්ථම්භයක් විලස මලලසේකර මැතිතුමා හැඳින්විය හැක.

මලලසේකර මැතිතුමා උපන්නේ ද යටත්ව පැවැති ජාතියක් නැවත පණ ගන්වා ජාතික ස්වාධීනත්වය නැවත දිනා ගැනීමේ ඓතිහාසික මෙහෙවර භාරගනු පිණිස ශ්‍රී ලංකා මාතාවගේ ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නයන් පිරිසක් ජනිත වූ කාල වකවානුවක් තුළ දී ය. සමකාලීන ජාතික හා ආගමික නායකයින් සමඟ එක්ව කටයුතු කළ මලලසේකර මැතිතුමා ජාතික නිදහස් සටනේ පුරෝගාමියෙක් ද විය.

එම ජාතික වගකීම එතුමා දරනු ලැබුවේ බෞද්ධ පිළිවෙතින් සකස් වූ යහපත් ගති පැවැතුම්වලින් පමණක් නො ව නියම උගතෙකු ලෙස සෑම විෂයක් ගැන ම අවබෝධයක් ලබා ගත් දැනුම් සම්භාරය හා ඇතැම් විෂයන් පිළිබඳ විශේෂඥතාව ලෝකය හමුවේ ප්‍රකට කිරීමෙනි.

ශ්‍රී ලංකා තානාපති වශයෙන් විදේශයන්හි කටයුතු කළ අවදියේ වුව ද එතුමා හැම විටම ක්‍රියා කළේ තම රටට ගෞරවයක් හිමිකර දෙන අන්දමිනි. අති විශිෂ්ට ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස එතුමන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළින් ම ඔසවා තැබීමට ක්‍රියා කළේ ය. එතුමන්ගේ නායකත්වයෙන් බිහි වූ ලෝක මහා බෞද්ධ සම්මේලනය අදටත් සිය සියලු ප්‍රධාන කාර්යයන් හි දී සිය සමාරම්භක නායකයාණන් වූ මේ විශිෂ්ට ශ්‍රී ලාංකිකයා ගරු බුහුමන් පුද කරමින් සිහිපත් කිරිීමට කටයුතු කරයි.

මලලසේකර මැතිතුමන් කිසියම් රටකට ගොස් එහි කලක් ගත කළේනම්, ඒ හැම රටක දී ම ඒ ඒ රටේ භාෂාව සංස්කෘතිය ගැන ඉගෙන ගත්තේ ය. ඉංගී‍්‍රසි භාෂාව විශිෂ්ට ලෙස හැසිර වූ එතුමා ජපන්, චීන, රුසියන්, ගී‍්‍රක්, ලතින්, පාලි, සංස්කෘත වැනි භාෂා චතුර අන්දමින් හැසිරවීමට දක්ෂයෙකු විය. මෙසේ තම තරුණ අවධියේ ම පෙර අපර දෙදිග විවිධ භාෂාවන් පිළිබඳව හසල බුද්ධිමත් භාවයක් හිමිකරගත් එතුමන්ගේ සම්බන්ධයක් නැති කිසිම ආගමික ජාතික හා ශාස්ත්‍රීය සේවාවක් අප රට තුළ නො මැති තරම් ය. කවර තරාතිරමක සභාවක දී වුව ද ඕනෑම විෂයක් මාතෘකා කොට අතිශය ව්‍යක්ත විලාශයෙන් හා අර්ථ පරිපූර්ණත්වයෙන් හැඩ ගන්වා කතා කරන්නට අප රටෙහි විසූ අතිදුර්ලභ ගණයේ ශ්‍රේෂ්ඨ කථිකයෙකු ලෙස ද එතුමන් හැඳින්විය හැක.

බ්‍රිතාන්‍ය රැජිනගේ නම්බු නාම, ප්‍රංශ ජනරජයේ සම්මාන, කාම්බෝජ රජයේ සම්මාන පමණක් නොව එතුමාට විද්වතෙකුට ලද හැකි උසස් ම සම්මාන හා උපාධි අප රටේ මෙන් ම ලෝකයේ විශ්ව විද්‍යාලවලින් ලැබුණ නමුත්, ඉහත සඳහන් සද්ගුණය ඒ සියල්ල අභිබවා නැගී සිටියෙන් මලලසේකර මැතිතුමන්ට කාගේත් ගෞරවය වැඩිවිය.

කාම්බෝජ මහාවංශය, වංශත්තප්පකාසිනී මහාවංශ අටුවාව, පාලි සංඥා නාම ශබ්දකෝෂය මෙන් එදා මෙදා තුර අප රටෙහි ජනතාව වෙත නැතුව ම බැරි ග්‍රන්ථයක් වූ මලලසේකර ඉංගී‍්‍රසි, සිංහල, ශබ්දකෝෂය එතුමන් විසින් ලොවට දුන් දායාදයන් ය. ශාස්ත්‍රීය කාර්යයකට වඩා බෞද්ධ ලෝකය වෙත ඇති වටිනාම අංගයක් වූ බෞද්ධ විශ්වකෝෂ සම්පාදනය ද මලලසේකර නමට සිහිවටන වේ. එහි ප්‍රධාන සංස්කාරක මලලසේකර මහාචාර්යතුමා ය.

1973 අප්‍රේල් මස 23 වැනි දින දිවංගත වනතෙක් ම තම අසම සම නැණ පහනින් උපන් බිමටත්, බුදුදහමටත් එපමණින් නො නැවතී ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආලෝකයක් ම වී සදාතනික සේවාවක් ඉටු කළ මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර ශ්‍රීමතාණෝ ප්‍රඥා ලෝකයෙන් ලොවක් බැබළ වූ ප්‍රදීපස්ථම්භයක් ම විය.