Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: කර්මයේ බලපෑම

කර්මයේ බලපෑම

ගිහි ජීවිතය සොඳුරු බවින් හැඩ වැඩ කරන, ජීවිතයට වින්ඳනීය ආස්වාදයක් ලබාදෙන එක් අංගයකි විවාහය. එසේ වුව ද, විවාහය එකකි. විවාහ ජීවිතය තවත් එකකි. නිලතල, පොරොන්දම්, කුලමල. ජාති භේද බලා විමසා සාර්ථක විවාහයක් කරගත් බවට සිතුව ද, විවාහ ජීවිතය ගතකිරීමේ දී විවාහවීමට පෙර බැලූ කිසිවක් අදාළ වන සාධක නොවේ. දෙදෙනාගේ අවබෝධය, අදහස්වල එකඟතාවය, අදහස් ගැළපීම යන කාරණා පමණක් විවාහ ජීවිතය ගත කිරීමට අවශ්‍ය සාධක වෙයි. විවාහ ජීවිතයට පත්වූ බොහෝ දෙනෙකු සාර්ථක විවාහ ජීවිත ගත කළ ද, විවාහයේ මිහිර නොදකින ඇතැම්හු විවාහ ජීවිතය තිත්ත කසාය ලෙස සලකති.

සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා කායික, මානසික පරිත්‍යාගය අත්‍යවශ්‍ය බව පැහැදිලි කරන බුදුසමය විවාහපත් දෙදෙනාගේ අදහස් ගැලපීම් හා නොගැලපීම් පිළිබඳව අදහස් දක්වයි.

ඍණාත්මක සිතිවිලි ඇත්තියක හා ඍණාත්මක සිතිවිලි ඇත්තකු සමඟ ගත කරන විවාහය.

ධනාත්මක සිතිවිලි ඇත්තියක හා ධනාත්මක සිතිවිලි ඇත්තකු සමඟ ගත කරන විවාහය,

ධනාත්මක සිතිවිලි ඇත්තියක හා ඍණාත්මක සිතිවිලි ඇත්තකු සමඟ ගත කරන විවාහය

ධනාත්මක සිතිවිලි ඇත්තකු හා ඍණාත්මක සිතිවිලි ඇත්තියක සමඟ ගත කරන විවාහය

මෙම කරුණු කාරණාවලින් පැහැදිලි වන්නේ, අභියෝග දිනීම සඳහා තිබිය යුතු හැකියාව හා නොහැකියාව මත පමණක් විවාහ ජීවිතය සාර්ථක හා අසාර්ථක වන බව ය.

එවැනි හැකියාවන්ගෙන් ජයගන්නා පිරිස් ද වෙති. එබන්දක් නොමැති නම්, වෙනත් අවබෝධ පූර්වක පුද්ගලයන් හමුවී සාකච්ඡා කොට ඒ මාර්ගයෙන් හෝ ඇතැමුන් අභියෝග ජයගනිති. එබඳු පිරිස් ජව සම්පන්න වූ, දක්ෂ අශ්වයන් මෙනිය. ඇතැම් පිරිස් ප්‍රශ්නවලට යට වී තමන් ද, අවුල් වෙමින්, ඥාති වර්ගයා ද අවුල් අපිළිවෙළ කරමින් නාකි (නොහැකි) අශ්වයන් මෙන් හැසිරෙති.

විවාහ වීමට පෙර සොයන කිසිවක් විවාහ ජීවිතය ගත කිරීමේ දී අත්‍යවශ්‍ය සාධක නොවුව ද, යමෙකුට ලස්සන විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා කර්ම බලපෑමක් තිබෙන බව ද පැහැදිලි ය.

අපදාන අට්ඨකතාවේ සඳහන් ආකාරයට මහා කස්සප ථේරාපදානයේ බුද්ධාන්තර දෙකක් අතරතුර විපාක ලැබුණූ එක්තරා බණ කතාවක හත්වතාවක් විවාහවූ රූමත් කුමරියක් එම හත්වතාවේදී ම සිය විවාහ ජීවිතය අසිරිමත්ව සැමරුවද, විවාහ ජීවිතය ගත කිරීමට අසමත් වූ බව පැහැදිලි වේ. ඒ සඳහා ඇය කළ අකුසල කර්මයක් බලපෑවේ ය.

කෝණාගමන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසුව මහා කස්සප මහ තෙරුන් වහන්සේ ඉහළ කුලයක ජවසම්පන්න තරුණයකු ලෙස උප්පත්තිය ලැබූහ. කිසියම් කටයුත්තක් සඳහා වනයේ සැරිසරමින් සිටි එම තරුණයාට සිවුරක් මසමින් ගසක් පාමුල වැඩ සිටින පසේ බුදුරජාණන් වහන්සේ නමක දක්නට ලැබිණි. සිවුර සම්පූර්ණයෙන් මැසීමට රෙදි අල්ලක ප්‍රමාණයක් මදිවී ඇතිබව දැනගත් එම තරුණයා තම සළුව පූජාකොට උපදින හැම භවයක දී ම එම සිවුරු සම්පූර්ණ කරගැනීමට සිවුර පූජා කළා සේ සියල්ල සම්පූර්ණ ව ලැබේවායි ප්‍රාර්ථනා කළේ ය.

එම තරුණයාගේ බිරිඳ නිතරම සිය නැගණිය සමඟ අඬදබර කරගනී. එක්තරා දිනයක පසේ බුදුරජාණන් වහන්ස් පිණ්ඩපාතයේ වඩින බව දැනගත් නැගණිය පාත්‍රය පුරවා පසේ බුදුරජාණන් වහන්සේට දන් පිළිගන්වා “මගේ සහෝදරයාගේ බිරිඳ වැනි බාලයන්ගෙන් යොදුන් ගණනක් ඈත උපදීවායි” ප්‍රාර්ථනා කළා ය. ඉන් බලවත් සේ රෝෂයට පත් බිරිඳ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය උදුරා එයට මඩ පුරවා නැවත පිදී ය. ඒ බව දැනගත් නැගණිය මෝඩ ගැහැනිය, ඔබේ කේන්තිය යනතුරු මට පහරදෙව, කල්ප ගණනක් පාරමී බල ඇති උතුමෙකුට කළ වරද සංසාරයේ විපාක දෙන බරපතළ අකුසලයක් යැයි කීවා ය.

ඉන් මහත් සේ බියට පත් ඒ බිරිඳ පාත්‍රය ගෙන මඩ ඉවතලා සුවඳ දියෙන් සෝදා පාත්‍රය පුරවා ගිතෙල් පූජාකොට “මේ පාත්‍රය පිරුණා සේ උපනුපන් හැම භවයක දී ම පිරුණු ශරීරයක් ද, පිරුණු පාත්‍රය බබළන්නා සේ හැම භවයකම අසිරිමත් රුවින් බබලන සිරුරක් ද මට ලැබේවායි” ප්‍රාර්ථනා කළාය. පසේ බුදුරජාණන් වහන්සේ පින් අනුමෝදන් කොට අහසට පැන නැගී වැඩිය හ.

කරන ලද ඒ පිනෙන් මරණින් පසු දෙව්ලොව ඉපිද නැවත මිනිස් ලොව ඉතාමත් රූසිරියෙන් ආඪ්‍ය අඟනක වී උපත ලැබී ය. නිසි වයස් සම්පූර්ණ වූ පසු රූමත් කුමරෙකු හා සරණ බන්ධනයක් ඇතිකර ගත්තා ය. එසේ වුව ද තමා පෙර කළ අකුසල කර්ම බලපෑවේ ය. ඒ අකුසලයේ විපාක ලෙස පතිකුලයට පැමිණි නිවසෙහි එළිපත්තෙහි සිටම මුළු නිවස පුරාම දැඩි දුගඳක් හමන්නට විය. හේතු කාරණා නොවිමසා ම බලන විට ඇය විවාහයට ඇතුළත් කරගෙනම නැවත ඇයගේ කුලයට යැවී ය. දෙවැන්න, තෙවැන්න, සිව්වැන්න ආදී වශයෙන් සත්වතාවක් ම විවාහ ජීවිතයට ඇතුළත් වූ නමුත්, විවාහ ජීවිතය අසාර්ථක විය. එයට හේතුවූයේ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය දුගඳ හමන මඬින් පුරවාලීම ය.

දිළිඳුකම පරාජයට පත්කොට යහපත් විවාහයක් වීමට කුසල විපාක දැඩි සේ බලපෑ ආකාරය මනෝරථපූරණී අටුවාවෙහි දක්නට ලැබෙන කතාවක සඳහන් වේ. දුප්පත් සිටු පවුලක කේශ කල්‍යාණයෙන් අනූන වූ රූමත් බවින් පිරිපුන් දියණියක සිටියා ය. කහවනු දහයකට මොනර පිල් කළඹක් සේ මනහර කෙස් කළඹ ඉල්ලුව ද ඇය එය කිසිවෙකුටවත් නොදුන්නා ය. එසේ වුව ද මහා කච්ඡායන තෙරුන් ගමේ පිණ්ඩපාතයේ වඩින ආරංචිය දැනගත් ඇය තමා දැඩි ලෙස ආදරය කළ කෙස් කළඹ කපා විකුණා ගත් මුදලින් මහාකච්ඡායන තෙරුන් වහන්සේට දානය පිළිගැන්වූවා ය. මහාකච්ඡායන මහා තෙරුන් වහන්සේ සිටු දියණියගේ හේතු සම්පත්තිය දැක කෙස් කළඹ නැති ලජ්ජාවෙන් ගෙට වී සිටින සිටු දියණිය තමා ඉදිරිපිටට ගෙන්වූ සේක. සිටු දියණිය මහතෙරුන් ඉදිරිපිටට පැමිණ එකත්පස්ව වැඩ සිටිත් ම කෙස් කළඹ පෙර පරිදි දිග්ව වැඩුණේ ය.

එම සිදුවීම අසා දැනගත් රජතුමා දුප්පත් සිටු දියණිය සිදුකළ පින්කම කෙරෙහි පැහැදී ඇය තම අගමෙහෙසිය කරගත්තේ ය. දිට්ඨ ධම්මවේදනීය වශයෙන් තම කුසලයේ ඵල ලද ඇය තව තවත් පින් දහම් කොට කාලානුරූප ව මිය පරලොව ගොස් සුගතියෙහි උපත ලැබුවා ය.