[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හැම සුවඳ පරදවන සිල් සුවඳ

හැම සුවඳ පරදවන සිල් සුවඳ


“අන්තො ජටා බහි ජටා - ජටාය ජටිතා පජා
තං තං ගොතම පුච්ජාමි - කො ඉමං විජටයෙ ජටං
සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො - චිත්තං පඤ්ඤඤ්ච භාවයං
අතාපි නිපකො භික්ඛු - සො ඉමං විජටයෙ ජටං
යෙසං රාගො ච දොසො ච අවිජ්ජා ච විරාජිතා
ඛීණසවා අරහංතො තෙසං විජටිතා ජටා
යත්ථ නාමංඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති
පටිඝං රූපසඤ්ඤොච එත්ථොසා ජිජ්ජතෙ ජටාති”
(සං. නි. ජටා සුත්ත)

පින්වත්නි,

ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනය කරුණු කීපයක් නිසා ශාසන ඉතිහාසයේ සුවිශේෂී පෝය දිනයක් ලෙසින් සැලකෙයි.

ප්‍රථම ධර්ම දූත පිරිස ධර්ම ප්‍රචාරය ඇරඹීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිල දමනය පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීම, අගසව් සැරියුත් තෙරුන් වහන්සේ නාලක නම් උපන් ගමේ, උපන් නිවසේ දී පිරිනිවන්පෑම යන මේ ශාසනික කරුණු සිදු වූයේ මෙම උතුම් පොහොය දිනයේ දී ය. පසුවස් පවාරණය හා කඨින චීවර පූජා කළ හැකි අවසන් දිනය වීම නිසා ද ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනය සියලූ බෞද්ධයන්ට ඉතා වැදගත් පොහෝ දිනයක් වේ.

ඉහත දැක්වූ සංයුක්ත නිකායේ ජටා සූත්‍රයේ එන ගාථා පාඨයන්ට අනුව “මුළු සත්ත්ව ප්‍රජාව ම ඇතුළත හා පිටත දෙක්හි ම අවුලෙන් අවුල්ව සිටිති, මේ අවුලෙන් නිදහස් විය හැක්කේ කෙසේදැයි” ගෞතම සර්වඥයන් වහන්සේගෙන් විමසන ලදුව, භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ, “සීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව වැඩීමෙන් කෙලෙස් නමැති අවුල නිරවුල් කර ගත හැකි බව ය. රාගයත්, ද්වේශයත්, අවිද්‍යාවත් දුරු කිරීමෙන්, නාම රූප කෙරෙහි ඇලීම හා රූප සංඥාවන් ඉතිරියක් නොමැතිව දුරු කිරීමෙන් මෙම තෘෂ්ණාව නමැති අවුල නිරවුල් කර ගත හැකි බව” දේශනා කොට වදාළ සේක.

උණ පඳුරක අතු පතර මුල පටන් අගටත්, අග පටන් මුලටත් විහිදී ඇතුවාක් මෙන් තෘෂ්ණාව, රූපාලම්බනයේ පටන් ධම්මාලම්බනය දක්වාත්, ධම්මාලම්බනයේ පටන් රූපාලම්බනය දක්වාත් ගැවසී ඇත. තෘෂ්ණාව ජටාවක් හෙවත් අවුලකි. තෘෂ්ණාව ආධ්‍යාත්මික ආයතන පිළිබඳ පිහිටන විට අන්තො ජටා ලෙස ද, බාහිර ආයතන පිළිබඳව උපන් කල, බහි ජටා හෙවත් පිටත අවුල් ලෙස ද සැලකේ. මේ අවුල් නිරවුල් කර ගැනීමට සීලයෙහි පිහිටා සමාධියෙන් හා ප්‍රඥාවෙන් භාවනාවේ යෙදිය යුතු බව බුද්ධ දේශනාවෙන් පැහැදිලි වේ.

අප ජීවිතයේ ඇති තෘෂ්ණාව මූලික වූ අවුල් නිරවුල් කර ගැනීමේ මූලික පියවරක් වශයෙන් සීලයෙහි පිහිටීම වැදගත් කොට සැලකිය හැකි ය. සීලවන්තභාවයෙන් සමාධිය හා ප්‍රඥාව වඩාගෙන, තෘෂ්ණාව ප්‍රහීණ කොටගෙන, කෙලෙස් අවුල් නිරවුල් කොටගත් විට රහත්භාවයට පත්විය හැකි ය. සීලය යනු කය, වචනය, සිත සංවර කර ගැනීමයි. හික්මීමයි. පාණාතිපාතාදියෙන් වෙන්ව ජීවිතය පැවැත්වීමයි. සීලය දෙවැදෑරුම් ය. ඒ චාරිත්ත සීලය හා වාරිත්ත සීලය යනුවෙනි. බුදුරජාණන් වහන්සේ විසින් පැනවූ ශික්ෂා පද මනාව රැකීම චාරිත්ත සීලයයි. මේ දේ නොකළ යුතු ය කියා බුදුරජාණන් වහන්සේ විසින් යමක් ප්‍රතික්ෂේප කරන ලද්දේ ද, ඒ වාරිත්ත සීලයයි. චාරිත්ත සීලය හා වාරිත්ත සීලය ශ්‍රද්ධාවෙන් හා වීර්යයෙන් පිහිටිය යුතු ය.

පසුතැවිලි නොවීම, මහත් භෝග සම්පත්තිය ලැබීම, කීර්තිය ඇති වීම, ක්ෂත්‍රිය ආදී කවර පිරිසක් මැදට වුව එළඹීමට හැකි වීම, නොමුළාව කළුරිය කිරීම, මරණින් මතු සුගතිගාමී වීම සීලයේ ප්‍රධාන ආනිසංසයි.

මුල මැද අග යන සියලූ තන්හි සීලය මනාව රැකිය යුතු ය. පන් සිල් සමාදන් වීමෙන් පමණක් සීලය රැක්කා සේ නොගැනේ. අවබෝධයෙන් කරුණු වටහා ගෙන, ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ සිල් රැකිය යුතු ය. සඳුන් සුවඳ, දෑසමන් සුවඳ ආදී සියලු සුවඳ වර්ගයන්ට වඩා සිල් සුවඳ වඩා ශ්‍රේෂ්ඨ ය.

“යො චෙ වස්ස සතං ජීවෙ - දුස්සීලො අසමාහිතො

එකාහං ජීවිතං සෙය්‍යො - සීලවන්තස්ස ඣායිනො”

ධම්මපදයේ සහස්ස වග්ගයේ සඳහන්වන අයුරු “යමෙක් නුවණ නැතිව, සීලයෙහි නොපිහිටා, පව් කරමින්, නොසන්සුන් සිතක් ඇතිව අවුරුදු සියයක් ජීවත් වීමට වඩා, සිල්වත්ව ධ්‍යාන වඩමින්, වීර්යයෙන් එක් දිනක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ” බව පැහැදිලි වෙයි.

සීලවන්ත ව ජීවිතය ගත කරන විට ඒ ජීවිතය තුළින් ශික්ෂණය ඇති වේ. සිල් නැත්තහුගේ සිත දුර්වල වේ. දුබල සිතින් භාවනා කළ නොහැකි ය. එබැවින් සිල්වතෙකු වී භාවනාවට එළඹීම වඩාත් අර්ථදායක ය. නිවන් සුවය ලබා ගනු කැමැත්තෙහි නම් සීලයෙන් පමණක් නොසෑහී සමථ, විදර්ශනාදී භාවනා වැඩිය යුතු ම ය.

එහි දී සිත මැනවින් පිරිසුදු කර ගැනීමට සමාධිය වැඩිය යුතු ය. සමාධිය නොවැඩුව හොත් විදර්ශනා ඥානය නොලැබී යයි. ගොවියෙකු බිම එළි පෙහෙළි කොට, සකස් කොට බීජ වපුරා, නිසි අස්වැන්න ලබා ගන්නා සේ සමාධිය වඩා සිත සකස් කර ගෙන ප්‍රඥාව නම් වූ විදර්ශනාව වැඩිය යුතු ය. කෙළින්ම ධ්‍යාන උපදවාගෙන විදර්ශනා වඩාගත හැකි වුව ද ඒ ඉතා දුෂ්කර මාර්ගයකි.

ත්‍රිවිධ ශික්ෂාවන් අතුරෙන්, සීල, සමාධි, ධ්‍යානයන් හේතු කොට ගෙන, කාය, වාග් ද්වාරයන්ගෙන් සිදුවන සියලු අකුසල් දුරුවන බැවින් සීලය උතුම් වේ. ධ්‍යාන භාවනාවේ යෙදීම හේතු කොට ගෙන සිත වැළඳගෙන සිටින්නා වූ කෙලෙසුන් දුරු වන හෙයින්, සමාධිය ද උතුම් වේ. ඥානවන්ත පුද්ගලයා තමාගේ ඥානයෙන් බලා සිත උපදනා කාම රාගාදිය දුරු කොට ආර්ය මාර්ග ඤාණය සිද්ධ කර ගන්නා බැවින් ප්‍රඥාව ද උතුම් වේ.

විසුද්ධි මාර්ගයට අනුව සමාධි යනු සමථ භාවනාවයි. ප්‍රඥාව යනු විදර්ශනා භාවනාවයි. සමාධි භාවනාවෙන් කෙරෙන්නේ පෙර කී පරිදි සිත පිරිසුදු කොට සකස් කර ගැනීම ය. විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාව ලබා ගත හැකි වේ. නිවන් මගට යෝග්‍ය වන සේ, ප්‍රඥාව ලබා ගැනීමට පහසු වන සේ, සිත එක් අරමුණකට ගෙනවිත් ඉහළ මට්ටමකට ගෙන යාමට සමාධිය මුල් වේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා යන පංච නීවරණ නම් වූ නිවනට බාධක වන කෙලෙස් සංසිඳුවන බැවින් ද සමථ යැයි කියැවේ. එමඟින් ප්‍රථම ධ්‍යානය, ද්වීතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, සතරවන ධ්‍යානය යනාදී ධ්‍යානයන් ලබා ගත හැකි ය.

එසේ සකස් වී දියුණු වූ සිත ඇත්තා හට, ප්‍රඥාව වඩා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කොට, ඇලීම්, ආශාදිය බැහැර කොට, තෘෂ්ණාව ප්‍රහීණ කොට, විදර්ශනාව වඩා, රහත් විය හැකි ය.

එබැවින් මැනවින් සීලයෙහි පිහිටා, සමාධිය හා ප්‍රඥාව වඩා වර්ධනය කොට තෘෂ්ණාව නමැති කෙලෙස් අවුල නිරවුල් කොට නිවන් මග සාක්ෂාත් කර ගැනීමට අප සැම දෙනාම උත්සුක විය යුතු ය.

තෙරුවන් සරණයි.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 11 වන දා සඳුදා අපර භාග 06.01 ට ලබයි. 12 වන දා අඟහරුවාදා අපර භාග 07.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 12 වන දා අඟහරුවාදා ය.

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]