[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

පැන විසඳුම් ජයග්‍රාහකයා

ගොංගාලේ ගොඩබණ්ඩා

කොළඹට නුදුරින් පෑලියගොඩ ග්‍රාමයේ උත්තුංග දේහධාරී, ජාත්‍යාලයේ කැඩපතකට නො දෙවෙනි, අසාධාරණයට සටන් කරන, දේශීයත්වය පරදුවට නො තබන, උදාර මිනිසෙකු බිහි විය. තම ජාතිය වෙනුවෙන් මුළු දිවිය ම කැපකිරීමට සමත් හෙතෙම ගොංගාලේ ගොඩබණ්ඩා නාමයෙන් මෙලොව ප්‍රචලිත විය. එදා ජාතික සමගිය, ආගම දහම කෙරෙහි නැමියාව ගිලිහී ගියෙන් පරගැති ජාතියට අපි යටත් විය. ඩේවිඩ් නමැති සුදුජාතික නාමය ඇතිව උපන් මෙතුමා හෙළ ජාතියේ අනන්‍යතාවය ප්‍රමුඛත්වයේ ලා අසාධාරණයට එරෙහි අවියක් මෙන් නැගී සිටියේ ය. උඩරට බලසේනා එක්රැස්කොට ඉංග්‍රිසීනට එදිරිව කැරළි කෝලාහළ ඇතිකරමින් සටන් මාලාව දියත් කරන්නට විය. 1848 ජුලි 28 සහ 29 දෙදින මහනුවර හා මාතලේ සුදු ජාතිකයන් විසින් වංචාවෙන්, බල තණ්හාවෙන් සතු කරගත් කෝපිවතු නිදහස් කොට අත්පත් කර ගැනීමත් සමඟ එතුමාගේ නිදහස් සටනේ ප්‍රථම ප්‍රයත්නය මල්ඵල ගැන්වුණි. ඉන් පිබිදුණා වූ හෙළයා 1848 ජුලි 30 දඹුලු රජමහා විහාර පරිශ්‍රයේ දී ගොංගාලේ ගොඩබණ්ඩා අභිනව සිංහල රජු ලෙස ඔටුනු පළඳවා ‘ශ්‍රී වික්‍රම සර්වසිද්ධ’ නාමයෙන් ගෞරවයට පාත්‍ර කළහ. සමහර පිරිස් අප අභිමානය නො තකා, හෙළ නායකයා පාවාදීමෙන් සිංහල විමුක්ති සටන මිලේච්ඡ ලෙස මර්දනය විය. අපේ වීරවරයා මහනුවර සිරගත කොට චෝදනාවට භාජනය කළහ. 1849 ජනවාරි 6 වැනි දා මහනුවර දී එල්ලා මැරීමට නියෝග කළෙන්, ඒ අභීත ශ්‍රේෂ්ඨ වීරවරයා දැයෙන් සමුගත්තේ ය.

****

පෝදා පන්සල

කිරි සුදු මළුවකි ඈත පෙනෙන්නේ
බෝ පත් සිලි සිලි හඬ නඟමින්නේ
පහන් වැටේ ආලෝක දිලෙන්නේ
සාධු නාදයයි දසත ඇසෙන්නේ

ශබ්ද නගා බුදු ගුණ වයමින්නේ
සඳ එළියෙන් මුළු ගම ම දිලෙන්නේ
සැම සිත් මෙත් සිසිලෙන් නැහැවෙන්නේ
සසරින් එතෙරට මඟ පෑදෙන්නේ

****

ඉල් පුන් පෝ දිනය අදයි

මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදුත හැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩමවීම, තව්තිසා දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමට පසුව වදාළ දේවාව රෝහණය, අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ දී පිරිනිවන් පෑම, පසුවස් පවාරණය, කඨින චීවර පූජාව කළ හැකි අවසන් දිනය යන විශේෂ ශාසනික කරුණු නිසා ඉල් පුන් පෝ දිනය බෞද්ධයින්ට වැදගත් වේ. මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි බිමට පත්වූයේ ඉල් පුර පසළොස්වක පොහෝ දිනක ය. මෙසේ පැවිදි වූ මෙම තෙරුන් වහන්සේ වස් කාලයක් අවසානයේ තම දායකයන් වෙතින් උසස්ම තත්ත්වයෙන් වස්ත්‍ර යුගලයක් වස්සාවාසික චීවර ලෙස ලැබූහ. ස්ථවිරයෝ චීවර දෙකෙන් එකක් ගෙන බුදුරදුන් වැඩ සිටින ගඳ කිළියෙහි වියනක් කොට පූජා කළහ. අනිත් වස්ත්‍රය තීරු වශයෙන් ඉරා මහ වියන් වටකොට එය ද බුදුරජාණන් වහන්සේට පූජා කළහ. මහා සංඝයා වහන්සේ මැද සිටි මහ තෙරුන් අමතූ බුදුරජාණන් වහන්සේ ‘ස්ථවිරයනි, ඔබ මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රී නමින් සම්‍යග් සම්බුද්ධ වන්නේ ය. මෙසේ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බෝසතුන්ට නියත විවරණ ලබා දුන් සේක.

ප්‍රථම ධර්මදූත ‘හැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදීම ද’ ඉල් මස පුර පසළොස්වක පොහෝ දවසක සිදු විය.

****

පරිසරය පිරිසුදු කරමු

පරිසරය කියන්නේ තමන් සිටින තැන, වට පිටාව යි. වටපිටාව පිරිසුදුව තබා ගැනීමට අප උත්සහාවත් විය යුතුයි. අප වාසය කරන වටපිටාව අපිරිසුදු වුණොත් එය අපේ සනීපාරක්ෂාවට බලපානවා. වටපිටාව අපිරිසුදු වෙනකොට ලෙඩරෝග වැඩි වෙනවා. එයින් ශරීර සෞඛ්‍යය පිරිහී යනවා. ඒ නිසා හැම විට ම අපි වාසය කරන නිවස අවට හොඳට පිරිසුදුව තබා ගත යුතුයි. අවට පරිසරය පිරිසුදු කර ගැනීමට නම් දිනපතා එකතුවෙන කුණු කසළ ඉවත් කළ යුතුයි. පරිසරය අපිරිසුදු නම් මදුරුවන් බෝ වෙනවා. එනිසා අපි අවට පරිසරය පිරිසුදුව තබා ගැනීමට උත්සාහවත් වෙමු.

****

ඉල් පුන් පෝදා

සැරියුත් මහ රහතන් වහන්සේ පිරිණිවනට පත් වූ දිනය ලෙස මෙම පෝ දිනය සලකයි. විහාරාරාමයන්හි වස් පින්කම් කරන කාලය ලෙස ද සැලකේ. කඨින චීවර පුජාව පවත්වනු ලබන අවසන් පෝ දිනය වන අතර, ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරයේ යෙදීම, තුන් බෑ ජටිලයන් දමනය කිරීම, මේ පෝ දිනයේ සිදුවිය. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බෝධිසත්ත්වයන්ට නියත විවරණ දුන්නේ ද ඉල්පුන් පොහෝ දිනක ය.

****

ඉල් පුන් පොහොය

ඉල් මාසයේ පුරහඳ පායා පැමිණෙයි
උරුවෙල් දනව් පරිසරය ම කල එළි වෙයි
බුදු වදනින් සැමගේ සිත් පිනවී යයි
තුන් බෑ ජටිල දමනය යහමින් සිදුවෙයි

පස්වග තවුස් හිමිවරු රහතුන් වෙනවා
යසකුල පුතුන් බුදුහිමියන් හමුවෙනවා
සගයින් පනස් හතර ද ඇතුළත් වෙනවා
ප්‍රථම රහත් සැටනම පිට වී යනවා

බුදු සසුනේ අගසව් හිමි නම වන්නේ
නුවණැත්තන්ගෙන් අගතැන්පත් වන්නේ
එහිමි නමින් සැරියුත් සමිඳුන් වන්නේ
ඉල් පෝ දා පිරිනිවනට පත් වන්නේ

****

අගනා ඔවදන්

* මේ ලෝකයේ කවරදාවත් වෛරයෙන් වෛරයම නො සංසිඳේ. අවෛරයෙන් වෛරය සංසිඳේ.

* යමෙකු නො දැනුවත් ව පවක් කළත්, දැනුවත් වූ පසු එය නො කළ යුතු ය. පව් කිරීම දුකට හේතුව යි.

* පව් කරන්නා මෙලොවත් ශෝකවෙයි. පරලොවත් ශෝකවෙයි. දෙලොව ම ශෝකවෙයි.

* අනුන්ගේ රළු පරුෂ කතා, අනුන් කළ නො කළදේත් නො සෙවිය යුතු ය. තමන් කළ දේ ම සෙවිය යුතු ය.

* මෝඩයා මට පුත්තු ඇත. මට ධනය ඇත කියා සිතමින් උද්දාම වෙයි. තමාට තමාවත් නැතිකල කුමන පුත්තු ද? කුමන ධනය ද?

****

අපේ පන්සල

අපෙ පන්සල පෝය දාට හරිම ලස්සනයි
මල් සුවඳින් සිල් සුවඳින් පන්සල ඉතිරෙයි
පුංචි ළමුන් මලුත් රැගෙන පන්සලට ඇදෙයි
සාධු හඬින් පළාතට ම සිසිලස ගෙන දෙයි.

****

සඟ ගුණ

සංසාර දුකින් එතෙරවීම සඳහා සම්බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ලෙස හැඳින්වෙන්නේ මහා සංඝරත්නය යි. ගිහි ගෙයින් නික්මී පැවිදි ව තම විමුක්තිය සහ මහජනතාවගේ විමුක්තිය වෙනුවෙන් උන්වහන්සේ කටයුතු කරති. මහා සංඝරත්නය මනා වූ පිළිවෙත් පුරන නිසා ‘සුපටිපන්න’ නමින් හඳුන්වයි. සුපටිපන්න පාඨයේ සඟ ගුණ නවයකට කැටි කොට ඇත. සාමණේර කාලයේ පටන් දස සිල් රකිමින් පසුව උපසම්පදා සීලය ආරක්ෂා කරන මහා සංඝරත්නය උතුම් ය. යම්කිසි කෙනෙකුට ජීවිත ආරක්ෂාව, විශ්වාසය, මනා සිහි බුද්ධිය වැනි දේ ලබා ගැනීමට නම් ගිහියාගේ නිත්‍ය ශීලය වන පංචශීලය ආරක්ෂා කළ යුතු ය.

****

පන්සල් යමු

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 11 වන දා සඳුදා අපර භාග 06.01 ට ලබයි. 12 වන දා අඟහරුවාදා අපර භාග 07.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 12 වන දා අඟහරුවාදා ය.

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]