[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිහි ගෙදරට දහම් වැටක්: බොරුව ජීවිතයට අයහපතකි සත්‍යයට මුහුණ දෙමු

බොරුව ජීවිතයට අයහපතකි සත්‍යයට මුහුණ දෙමු

" තමන් සැම විටම තමා පිළිබඳව ඉහළ විශ්වාසයකින් මෙන්ම ආත්ම විශ්වාසයකින් පසුවනවා නම්, කෙදිනකවත් කටමැත දොඩවන්නකුගේ තත්ත්වයට පත්වන්නේ නැත. කටමැත දොඩවන පුද්ගලයා තමන්ගේ සත්‍ය තත්ත්වය තමන්ටත් වසන් කිරීමට උත්සාහ කිරීමෙන් සත්‍ය ඉදිරිපිට දී හැමදාමත් ඔහු දුබලයකු වෙයි."

 

‘බොරුව’ ගිහිගෙදර ආරවුල් ඇතිකරවන ප්‍රධාන කාරණයක්, ඒ වගේම බොරුව අපගේ ජීවිතවලට කෙතරම් සමීපද? දරුවෝ දෙමව්පියන් බොරුවෙන් රවටයි.

වෙළෙන්දෝ පාරිභෝගිකයන් බොරුවෙන්ම රවටයි. සංසාර චාරිකාවේ දුක්සහිත ගමනක යෙදී සිටින අප අපට ම බොරු කරගන්නේ මේ ආකාරයට යි. එසේ වුවත්, බොරුවට වැඩි ආයුෂ නැති බවත්, අප දැනගත යුතුයි.

ආගමික අර්ථයෙන් සැලකූවිට ‘බොරුව‘ අකුසල ක්‍රියාවක්. බොරුව ප්‍රකාශ කිරීමේ පාප ක්‍රියාව සියයට සියයක් ම සම්පූර්ණ වීම සඳහා කරුණු හතරක් සම්පූර්ණ විය යුතු යි.

සිදු නොවූ දෙයක් සිදුවුණා සේ පෙන්වීම.

තමන් ප්‍රකාශ කරන්නේ බොරුවක්ය යන අවබෝධය.

එවැනි ආකාරයට තවත් පුද්ගලයකු රැවටීමේ චේතනාව පහළ වීම.

එම බොරුව නිසා තවත් පුද්ගලයන් රැවටීමට භාජනය වීම.

යන කරුණු සියල්ලම හෝ එකක් හෝ සම්පූර්ණ වූ විට බොරු ප්‍රකාශ කිරීමේ වරදට අඩු වැඩි වශයෙන් කිසියම් ප්‍රමාණයකින් හෝ දායක වෙයි. ඉහත සඳහන් කරුණු සියල්ලම සම්පූර්ණ වූ විට ඔහු සියයට සියයක්ම බොරුකාරයකු වෙයි. සමාජයීය වශයෙන් ‘බොරුව ‘ පැහැදිලි කිරීමට නිර්වචනයක් නොමැති වුවත්, යම් යම් පුද්ගලයන් තම තමන්ට දැනෙන ආකාරයට බොරුව අර්ථ කතනය කරයි. කවුරුන් කොහොම කෙලෙසක පැවසුව ද, බොරුවෙන් විශාල ආරවුල් ඇති කිරීමේ හැකියාව පවතින බව අවබෝධ කර ගත යුතුම කාරණාවක්.

බොරු කීම සම්පූර්ණයෙන් ම වචනයෙන් පමණක්, සිදුවන අකුසල කර්මයක් ලෙස යම් පුද්ගලයකුට සිතිය හැකි යි. එහෙත් අප අතර සිටින්නේ බොරු කියන අයම පමණක් නොවෙයි. බොරු කරන පිරිසක්, බොරු අඟවන පිරිසක් වශයෙන් විවිධාකාරයෙන් බොරුව නමැති පිළිලය ක්‍රියාත්මක වෙයි. අවංක ආකාරයෙන් ලස්සනට හුවමාරුවන දෙබස් අතරේ ඇතැම්විට බොරුවම ඇඟවෙයි. ඇතැම් අවස්ථාවලදී දරුවන් විසින් දෙමව්පියන්ට, ගුරුවරුන්ට බොරු කිරීමෙන් නොමඟ යන අවස්ථා බොහෝයි.

බොරුව ක්‍රියාත්මක වන ස්වරූපය අනුව සැලසුම් සහගත බොරුව හා ක්ෂණික බොරුව වශයෙන් ස්වරූප දෙකක් හඳුනාගත හැකියි. අවස්ථානුකූලව අවස්ථාවට උචිත පරිදි ක්ෂණිකව පහළ වෙන වංචනික සිතිවිල්ලක් මෙන්ම, ඉතාම දීර්ඝ කාලීනව, සැලසුම් කරන බොරුත් අපට දැකගත හැකියි. සැලසුම් සහගත බොරුව දිගුකලක් පවත්වාගෙන යා හැකි බැවින් සැලසුම් සහගත බොරුව භයානක ප්‍රතිඵල ඇති කරවයි. එසේ වුවද, කුමන ස්වරූපයකින් කුමන ආකාරයට බොරු කිව්වත්, කවදා හෝ දවසක බොරුව එළිවන බව බොරු කියන හැමෝම දැනගත යුතු කාරණාවක්.

සැමවිටම චේතනාව පිරිසුදුවීම වැදගත්. තමාගේ වාසියට, තමාගේ යහපතට පටු ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තවත් පුද්ගලයකු බොරුවෙන් මුළා කරනවා නම්, එවැනි බොරුවකට බුදු දහමෙන් අවසර ලැබෙන්නේ නැත. විශේෂයෙන්ම දරුවන්, මව්පියන් රැවටීම, සැමියා බිරිඳ රැවටීම, වැනි ක්‍රියාදාමයක් ගෘහයක් තුළ ක්‍රියාත්මක වෙනවා නම්, එවැනි ගෙදරක දියුණුවක් හෝ සාර්ථකත්වයක් කිසි ලෙසකින් හෝ අපේක්ෂා කළ නොහැකි යි. යම් පුද්ගලයකුගේ ආරවුලක් වළක්වාගැනීමේ චේතනාවෙන්, යම් පිරිසක් සමතයකට පත්කිරීමේ චේතනාවෙන් ආදී යහපත් චේතනාවෙන් බොරු කියනවා නම්, එවැනි බොරු ගෘහයක සාර්ථකත්වයට අතිශයින්ම වැදගත්. නිතර නිතර කේන්ති ගන්නා, ආරවුලට බර ගෘහමූලිකයකු සිටින්නා වූ නිවසක එම පවුලේ සමගිය පවත්වාගෙන යාම වෙනුවෙන් බොරු කීමට සිදුවෙනවා නම්, එම බොරුව පවුලේ සමගියට හේතුවෙනවා නම්, එවැනි බොරුවට දහමෙන් අවසර ලැබෙන බව අවබෝධ කරගත යුතු යි.

බොරුව සාර්ථක වීමට නම්, බොරුව කියන පුද්ගලයකුගේ හැකියාව වගේම බොරුවට ඇහුම්කන් දෙන පුද්ගලයාගේ දුර්වලතාවයක් ද එක සේ බලපානු ලබයි. අපි හැමෝම හැම අවස්ථාවක දී ම කිසිම විටකදී බොරුවට අනුබල නොදී සිටීමට උත්සාහ ගන්නවා නම්, කවුරුත් කුමන දෙය ප්‍රකාශ කළත්, සිහි බුද්ධියෙන් විමසා බලා ප්‍රතිචාර දක්වනවා නම්, බොරුවට අත්තටු ලැබෙන්නේ නැත. ‘බොරුව‘ යනු පුද්ගල පෞරුෂය බිංදුවට වැටෙන ක්‍රියාවක්. ඔබ යම් පුද්ගලයකු විශ්වාස කරනු ලබන්නේ හොර බොරු වංචාවෙන් දුරස් වූ විටයි. ඔහු හෝ ඇය “බොරුකාරයකු හෝ බොරු කාරියකි“ යැයි ප්‍රකාශ කළ සැනින් සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර කුමන ආකාර ද යනු ඔබට පැහැදිලි ඇති. අප අපගේ ජීවිත තුළින් බොරුව ඉවත්කර ගැනීමෙන් ම මේ සමාජයේ ඕනෑම කටයුත්තක දී නොබියව නැගීසිටීමේ හැකියාව ලැබෙයි.

තව ද, බොරු පුරාජේරුව ද, පුද්ගල ජීවිතයට යහපත් නොවන දෙයක්. තමන් දන්නා යම් කරුණක් තවත් පුද්ගලයකු සමඟ ප්‍රකාශ කිරීමේ දී ආටෝප සාටෝප, ආලවට්ටම් එකතුකරමින්, උපමා, විශේෂණ, උපසර්ග එකතුකරමින් බොරු මවාපාමින් පුරාජේරු කතා කරයි. කතාව දෝලාවෙන් ඒ වුණාට ගමන පයින්’ යනුවෙන් එවැනි යෙදුමක් තමන්ගේ ලොකුකම ප්‍රකාශ කරන පුද්ගලයකුට භාවිත වෙයි. කතාවට අවශ්‍ය පමණට වඩා ආලවට්ටම් දාන්න යාමෙන් දන්නෙම නැතිව, සමාජයේ හාස්‍යයට ලක්වන බව හොඳින් මතක තබා ගත යුතු යි. පුරාජේරුව ද විශ්වාසය පළුදු කර ගැනීමක් වෙයි. ‘අපෝ ඔන්න නයි යවනවා.’ ඇතැම් පුද්ගලයන් කතා කරන්න කට අරින්නත් කලින් හඳුන්වන්නේ ඔය ආකාරයටයි. නිතර අනෙක් පුද්ගලයාට වඩා තමන් ඉදිරියෙන් සිටින බව පෙන්වීමට බොරු කෙප්ප ඇදබාන මිනිසුන් සමාජයේ උසුළු විසුළුවට භාජනය වීමත් සිදුවනවා සේ ම, සමාජ නොපිළිගැනීමටත් ලක්වෙයි. බොරු පුරාජේරුව පෞරුෂත්වයටත් හානියක්. ඇතැම් පුද්ගලයන් බොරු පුරාජේරු ප්‍රකාශ කරන්නේ තමන්ගේ තත්ත්වය උසස් යැයි හැඟවීමට ය. බොරුවට පෙන්වන්න උත්සාහ ගැනීමෙන් අලුත් පෞරුෂත්වයක් ගොඩනඟා ගන්නවා වෙනුවටම තමා දන්නේම නැතිව තිබුණ පෞරුෂත්වයත් විනාශ වී යයි. තමන් සැම විටම තමා පිළිබඳව ඉහළ විශ්වාසයකින් මෙන්ම, ආත්ම විශ්වාසයකින් පසුවනවා නම්, කෙදිනකවත් කටමැත දොඩවන්නකුගේ තත්ත්වයට පත්වන්නේ නැත. කටමැත දොඩවන පුද්ගලයා තමන්ගේ සත්‍ය තත්ත්වය තමන්ටත් වසන් කිරීමට උත්සාහ කිරීමෙන් සත්‍ය ඉදිරිපිට දී හැමදාමත් ඔහු දුබලයකු වෙයි. බොරු සහ බොරු පුරාජේරු නවතා සත්‍යයට මුහුණ දෙමු.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 11 වන දා සඳුදා අපර භාග 06.01 ට ලබයි. 12 වන දා අඟහරුවාදා අපර භාග 07.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 12 වන දා අඟහරුවාදා ය.

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]