Print this Article


අල්ප, දීර්ඝ ආයුෂ වෙනසක් ඇයි?

අල්ප, දීර්ඝ ආයුෂ වෙනසක් ඇයි?

‘මිලින්ද ප්‍රශ්නය’ ඉතා පැරැණි වූ ත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක්වූ ත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු රජුගේත් , නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදුවී ඇත්තේ බුද්ධ පර්නිර්වාණයෙන් පන්සිය වසරක් ගතවූ කල්හි ය.

මිළිඳු රජතුමා නොනවත්වා ම ප්‍රශ්න ඇසූ කල්හි අප නාගසේනයන් වහන්සේ පිළිතුරු ලබාදුන් සේක.

මිළිඳු රජු මෙසේ ඇසුවේ ය.

“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, සියලු මිනිසුන් කවර කරුණක් නිසා ද සමාන නැත්තේ? ඇතැම් අය අල්ප ආයුෂයෙන් යුක්ත යි. ඇතැම් අය දීර්ඝායුෂයෙන් යුක්ත යි. ඇතැමුන් බොහෝ ලෙඩ දුකින් යුක්ත යි. තව කෙනෙක් ස්වල්පාබාධයෙන් යුක්ත යි. ඇතැමෙක් දුර්වර්ණ යි. ඇතැමෙක් මනා පැහැයෙන් යුක්ත යි. තව කෙනෙක් කිසි ආනුභාවයක් නෑ. ඇතැම් අය මහානුභාව සම්පන්න යි. සමහරු ඉතා දුප්පත්. තව කෙනෙක් ඉතා පොහොසත්. ඇතැම් අය හීන කුලයෙන් යුක්ත යි. ඇතැමුන් මහේශාක්‍ය කුලයෙන් යුක්ත යි. ඇතැමුන් ප්‍රඥා රහිත යි. තවෙකෙක් ප්‍රඥා සම්පන්න යි”.

තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහරජාණෙනි, කවර කරුණක් නිසා ද සියලු ගස් කොළන් සමාන නැත්තේ? සමහර වෘක්ෂයන්ගේ ඵල ඇඹුල් රස යි. ඇතැම් වෘක්ෂයන්ගේ ඵලය තිත්ත යි. ඇතැම් වෘක්ෂයන්ගේ ඵලය කටුකයි. ඇතැම් වෘක්ෂයන්ගේ ඵලය කසට රසයෙන් යුක්ත යි. ඇතැම් වෘක්ෂයෝ මධුර ඵල ලබා දෙයි. කවර කරුණක් නිසා ද එසේ වන්නේ?”

“ස්වාමීනි, මට නම් සිතෙන්නේ බීජයන්ගේ විවිධත්වය කියල යි.”

“මහරජාණෙනි, ඔය විදිහම තමයි. කර්මයන්ගේ ඇති විවිධත්වය නිසාවෙන් සියලු මිනිසුන් අසමාන යි. ඇතැම් අය අල්ප ආයුෂයෙන් යුක්ත යි. ඇතැම් අය දීර්ඝායුෂයෙන් යුක්ත යි. ඇතැමුන් බොහෝ ලෙඩ දුකින් යුක්තයි. තව කෙනෙක් ස්වල්පාබාධයෙන් යුක්ත යි. ඇතැමෙක් දුර්වර්ණ යි.ඇතැමෙක් මනා පැහැයෙන් යුක්ත යි. තව කෙනෙක් කිසි ආනුභාවයක් නෑ. ඇතැම් අය මහානුභාව සම්පන්න යි. සමහරු ඉතා දුප්පත්, තව කෙනෙක් ඉතා පොහොසත්, ඇතැම් අය හීන කුලයෙන් යුක්ත යි. ඇතැමුන් මහේශාක්‍ය කුලයෙන් යුක්තයි. ඇතැමුන් ප්‍රඥා රහිත යි. තවෙකෙක් ප්‍රඥා සම්පන්න යි. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ ඔය කාරණය ගැන මෙසේ වදාළ සේක. “එම්බා මානවකය , සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහු ය. කර්මය දායාද කොට ඇත්තාහු ය. කර්මය උප්පත්ති ස්ථානය කොට ඇත්තාහු ය. කර්මය ඥාති කොට ඇත්තාහු ය. කර්මය පිළිසරණ කොට ඇත්තාහු ය. මේ හීන ප්‍රණීත භාවය පිණිස සත්ත්වයා බෙදනු ලබන්නේ කර්මයැයි” නාගසේන මහ රහතන් වහන්සේ වදාළ හ.

ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක.” මිළිදු රජු කී ය. හතරවෙනි අනේකප්‍රකාර වූ කර්මය පිළිබඳ ප්‍රශ්නයයි.

නිරා ගින්නෙහි උණුසුම මිළිඳු රජු නැවත මෙසේ ඇසුවේ ය.

“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඔබවහන්සේ පවසන්නේ ලෝකයෙහි තිබෙන සාමාන්‍ය ගින්නට වඩා නිරයෙහි ඇති ගින්න අතිශයින් ම භයානක බවයි. ඒ කියන්නේ සාමාන්‍ය ගින්නට කුඩා ගලක් දැම්මත්, දවසක් ම දැවි දැවී තිබුණත් විනාශයට පත් නොවේ. නමුත් කූටාගාරයක් බඳු ගලක් නිරයේ ගින්නට දැම්මොත් ක්ෂණයකින් ඒ ගල දැවී විනාශ වී අළු වන්නේ ය’ කියලයි. ඔය කතාව මට විශ්වාස කරන්නට බැහැ. ඒ වගේම එහි උපන් යම් නිරි සත්ත්වයෝ සිටිත් ද, ඔවුහු අනේක වූ වසර දහස් ගණනක් නිරයේ පැසෙමින් සිටින නමුත් විනාශ නොවෙත් ය කියා පවසනවා. මට ඒ වචනයන් විශ්වාස කරන්නට බැහැ.” තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? දැඩි මෝර ධේනුන් ඉන්නවා. කිඹුලියන් ඉන්නවා. කැස්බෑවියන් ඉන්නවා. සෙබඩුන් ඉන්නවා. පරෙවි ධේනුන් ඉන්නවා. මේ සතුන් කර්කශ ගල් වර්ග, බොරලු වර්ග කනවා නේද?”

“එසේය ස්වාමීනි, ඔවුන් ඒවා කනවා.”

“එතකොට ඔවුන්ගේ කුසට ගිය ඒ දේවල් දිරවා නැති වී යනවා නේද?”

“එසේය ස්වාමීනි, ඒවා දිරවලා නැති වී යනවා”

“ඔවුන්ගේ කුසෙහි යම් දරු ගැබක් ඇද්ද, ඒ දරු ගැබෙහි සිටින පැටවාත් දිරවලා නැති වී යනවා ද?

“නැත ස්වාමීනි.”

“එයට හේතුව කුමක්ද?”

“ස්වාමීනි, මට හිතෙන්නේ කර්මය බලවත් නිසයි ඒ දරුගැබ විනාශ නො වෙන්නේ කියලයි.”

“මහරජාණෙනි, ඔය විදිහම තමයි. දරුණු වූ කර්මයෙන් නිරයෙහි උපන් සත්ත්වයන් අනේක වූ වසර දහස් ගණන් නිරා ගින්නෙන් දැවෙමින් ඉන්නවා. විනාශ වෙන්නේ නෑ. මහරජාණෙනි, ඔය ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“යම්තාක් කල් ඒ පාප කර්මය නැති වී නො යයි ද, ඒ තාක් කල් ම ඔහු මරණයට පත්වන්නේ නෑ’ කියා යි”

“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනැව“

“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතෙන්නේ ? සිංහ ධේනුන් ඉන්නවා. ව්‍යාඝ්‍ර ධේනුන් ඉන්නවා. කොටි ධේනුන් ඉන්නවා. සුනඛධේනුන් ඉන්නවා. ඔවුන් ගොරෝසු ඇට , මස් ආදිය කනවා. කිම? ඔවුන්ගේ කුසට ගිය ඒ ඇට, මස් ආදිය දිරවා නැති වෙනවා නේද?”

“එසේය ස්වාමීනි, නැතිවෙනවා”

“ඔවුන්ගේ කුසෙහි ඇති යම් දරු ගැබක් ඇද්ද, එයත් දිරවා නැති වී යනවාද?”

“නැත ස්වාමීනි”

“එයට අනතුරක් නො වන්නේ කොහොමද?”

“ස්වාමීනි, මට සිතෙන්නේ කර්මයේ ඇති බලවත්කම නිසා එය නැති නො වන බවයි.”

“මහරජාණෙනි, ඔය විදිහම තමයි, දරුණු වූ කර්මයෙන් නිරයෙහි උපන් සත්වයන් අනේක වූ වසර දහස් ගණන් නිරා ගින්නෙන් දැවෙමින් ඉන්නවා. විනාශ වෙන්නේ නැහැ.”

“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනැව.”

“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? ඉතා සියුමැලි ගී‍්‍රක කාන්තාවන් ඉන්නවා. ඉතා සියුමැලි ක්ෂත්‍රීය කාන්තාවන් ඉන්නවා. ඉතා සියුමැලි බ්‍රාහ්මණ කාන්තාවන් ඉන්නවා. ඉතා සියුමැලි ගෘහපති කාන්තාවන් ඉන්නවා. ඔවුන් අනුභව කළ යුතු කර්කශ වූ මස් වර්ග ආහාරයට ගන්නවා නේද?”

“එසේය ස්වාමීනි, ඔවුන් ඒවා ආහාරයට ගන්නවා.”

“කුසට ඇතුළු වන ඒවා කුසේ දී දිරවා නැති වී යනවා නේද?”

“එසේය ස්වාමීනි, ඒවා නැති වී යනවා”

“ඔවුන්ගේ කුසෙහි යම් දරු ගැබක් ඇද්ද, එයත් ඒ අයුරින් ම දිරවා නැති වී යනවා ද?”

“නැත ස්වාමීනී”

“එයට හේතුව කුමක් ද?”

“ස්වාමීනි, බලවත් වූ කර්මය නිසයි. ඒ දරු ගැබ දිරවා නැති වී නො යන්නේ?”

“මහරජාණෙනි, ඔය විදිහම තමයි. දරුණු වූ කර්මයෙන් නිරයෙහි උපන් සත්ත්වයන් අනේක වූ වසර දහස් ගණන් නිරා ගින්නෙන් දැවෙමින් ඉන්නවා. විනාශ වෙන්නේ නැහැ. මහරජාණෙනි, ඔය ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙන්නේ. “යම් තාක් කල් ඒ පාප කර්මය නැති වී නො යයි ද, ඒ තාක් කල් ම ඔහු මරණයට පත්වන්නේ නෑ’ කියලා”.

“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක.” මිළිඳු රජු පැවසී ය.