Print this Article


මේ වස්සාන කාලයයි - 14: කඨිනය පිළිගත් භික්ෂුවට ලැබෙන අනුසස්

මේ වස්සාන කාලයයි - 14:

කඨිනය පිළිගත් භික්ෂුවට ලැබෙන අනුසස්

කඨිනානිශංස වශයෙන් දක්වන්නේ පළමුකොට කඨින චීවරය පිළිගත් උපසපන් භික්ෂූන් වහන්සේට ලැබෙන ආනිශංස පිළිබඳවයි.

“අත්ථත කඨිනානං චෝ භික්ඛවේ පඤ්ච කප්පස්සන්ති, අනාමත්තචාරෝ අසමාදානචාරෝ ගණ භෝජනං, යාවදත්ථ චීවරං යො ච තත්ථ චීවරුප්පාදෝ සෝ ච නෙසං භවිස්සති”

”මහණෙනි, කඨිනය අතුරන භික්ෂුවට විනය කරුණු පහක් කැපවෙයි. අනාමත්තචාරය, අසමාදානදචාරය, ගණභෝජනය, යාවදත්ත චීවරය හා තත්ථචිවරුප්පාදය යි.

“අනාමත්තචාරය” යනුවෙන් විනයෙහි දක්වා තිබෙන්නේ තමන් වැඩ වාසය කරන විහාරයෙහි භික්ෂූන්ට නොදන්වා ගම්, නියම් ගම් හි වැඩම කළ හැකි බව ය, යන අදහසයි. උපසපන් භික්ෂූන් වහන්සේ නමක් එකට වැඩ වාසය කරන්නේ, පිටතට වැඩම කරන්නේ නම් විහාරයේ වැඩ වාසය කරන භික්ෂූන්ට දන්වා බැහැරට වැඩම කළ යුතු බව ය. කඨින චීවරය පිළිගැනීමෙන් අනතුරුව එසේ නොදන්වා ගම් නියම් ගම් හි වැඩම කළ හැකි බව දැක්වේ. මෙය පළමු ආනිසංසයයි. මෙය අප විසින් දැකිය යුත්තේ විනය ප්‍රඥප්තියක් අනුගමනය නොකිරීමට අවස්ථාවක් ලැබීම හැටියට නොව විනය ප්‍රඥප්තීන්ට තවදුරටත් ගරු කරමින් සම්‍යත් ප්‍රඥාව අරමුණු කරගෙන සීලය ආරක්ෂා කිරීමක් ලෙස ය.

මේ ලැබෙන ආනිශංසය, තුන්මාසයක කාලයක් පුරා මනා කොට සීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩීමෙන් ඇති කර ගත්තා වූ ආධ්‍යාත්මික දියුණුවට ලබා දෙන ගෞරවයක් ලෙස සැලකිය යුතුයි. එසේ සිතන විට බුදුරජාණන් වහන්සේ පැන වූ විනය ප්‍රඥප්තීන් එසේ ම අනුගමනය කරනවා විනා, ඒවා ඡේදනය කරන්නට සිත් සකස් නොවන්නේ ය. තවදුරටත් සඳහන් කරන්නේ නම්, විහාරයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලා සමගියෙන්, සතුටු සිතින් වාද විවාදයන්ගෙන් තොරව කිරි හා වතුර මෙන් ඔවුනොවුන් කෙරෙහි ප්‍රිය දෑසින් බලමින් වාසය කළ යුතු බව ශාසනික පිළිවෙත් මඟෙහි දකින්නට ලැබේ. “චූලගෝසිංහ” වනයේ දී බුදුරජාණන් වහන්සේට අනුරුද්ධ, කිම්බිල, නන්දිය ස්වාමීන් වහන්සේලා පැවැසූ අදහස් පෙළ උන්වහන්සේලා මොනතරම් සමගියෙන් චිත්ත සන්තානයන් හි සංසිඳීමෙන් යුක්තව ඔවුනොවුන්ට ප්‍රියශීලිව කටයුතු කළ බවත් දැක්වේ.

ඒ අනුව එක්ව වාසය කරන සද්ධිවිහාරික හෝ භික්ෂූන් වහන්සේලා බැහැරට ගමන් කරන්නේ, ඔවුනොවුන් දැන ගැනීම ඉතා යහපත් ය. එය වරදක් සිදුවීමට ඇතිවන අවස්ථා අඩුවීමක් වගේ ම ශාසනික පිළිවෙත් මාර්ගයේ දී ඔවුනොවුන්ට උපකාර කර ගැනීමටත් අවස්ථාවක් වන්නේ ය. මෙය ගෘහස්ථ සමාජය දෙස කල්පනා කොට බැලුවත් එක් සේ ම ගළපා ගත හැකි වන්නේ ය.

එක් නිවහනක වාසය කරන පිරිසක් ඔවුනොවුන්ට නොදන්වා බැහැරට යනවාට වඩා ඔවුනොවුන් දැනුම්වත් ව බැහැරට ගමන් කිරීමෙන් ඇතිවන යහපත් ප්‍රතිඵල බොහෝ ය. භික්ෂුවක් මේ සමාජයේ ම කොටසක් බැවින් එක් තැනක වාසය කරන පිරිසක් ඔවුනොවුන් කෙරෙහි ප්‍රියශීලීව, සමගියෙන් කටයුතු කිරීම යහපත් ය. මේ නිසා පළමු ආනිසංසය පහසුවක් පිණිස ලබා දුන්නත්, එමගින් තවදුරටත් ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීම හෙවත් මාර්ගඵලාවබෝධයට බාධාවක් නොවිය යුතු වන්නේ ය.

දෙවැනි ආනිසංසය නම් “අසමාදානචාර” යයි. එනම් උපසපන් භික්ෂුවක් විසින් තුන් සිවුරෙන් යුක්තව වාසය කළ යුතු වූවත් කඨිනය පිළිගෙන මාස පහක් තුළ එයින් බැහැරව කටයුතු කළ හැකි වන්නේ ය. අඳනය, තනිපට සිවුර, දෙපට සිවුර නම් වූ තුන් සිවුරෙන් තොරව සිවුරු දෙකකින් පමණක් වූව ද කටයුතු කළ හැකි වන්නේ ය. මෙයින් අදහස් කරන්නේ ද විනය ප්‍රඥප්තීන්ට ගරු කරමින්, තුන් සිවුරෙන් යුතුව චාරිකාවන් හි වැඩම කළ හැකිවන්නේ නම්, එය තමන් වහන්සේට ම ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීමට, චිත්ත ශක්තියක් වන්නේ ය.

එනමුත් මේ කාලය තුළ එසේ තුන් සිවුරෙන් තොරව වාසය කිරීමට අවස්ථාව ලැබීම පුරා තුන්මාසයක් සීීල, සමාධි, ප්‍රඥා ගුණ මඟ වැඩමකොට ඵල ලැබීමට ලැබුණු ප්‍රශංසාවක්, ගෞරවයක් ලෙස සිතට නගා ගෙන ඉදිරියටත් තම පැවිදි ජීවිතය පවත්වාගැනීමට චිත්ත අධිෂ්ඨානයක් ඇති කර ගැනීම නුවණැති භික්ෂුවකගේ කාර්ය විය යුතුවන්නේ ය.

“ගණභෝජනය” තුන්වන ආනිසංසයයි. එනම් පුද්ගලිකව ම කරන ලද ආරාධනාවත් නම සඳහන් කොට ම පිළිගෙන වැඩම කිරීමෙන් එය පිළිගන්නේ නම්, ඇවැතක් සිදු වන්නේ ය යන අදහසයි. ඒ අවැතනම් ප්‍රචිත්‍යය නම් ඇවැතැයි.

කඨින චීවරය පිළිගත් උපසපන් භික්ෂූන් වහන්සේට, එසේ නම් සඳහන් කොට ම කරන ලද ආරාධනාව පිළිගැනීම සිදු කළ හැකියි. එය ඇවැතක් බවට පත්වන්නේ නැත. මේ ආනිශංසය දෙස ද අප දැකිය යුත්තේ ලෞකික ව ලැබුණු ආනිශංසයක් ලෙස පමණක් නොව ලෝකෝත්තර දියුණුව ඇතිකර ගැනීමට ද? උපකාරවන ආනිශංසයක් ලෙස ය.

හතරවෙනි ආනිශංසය නම් “යාවදත්තචීවර” කඨිනානිශංසය යි. මේ ආනිශංසය නම් තුන් සිවුරට වඩා කැමැතිතාක් සිවුරු ලබාගත හැකි බව ය. උපසපන් භික්ෂුවකට අතිරේක චීවරයක් අධිෂ්ඨාන විකල්ප නොකොට එනම්, බැහැරකොට තබාගත හැක්කේ දින දහයක් පමණ කාලයකි. එනමුත් කඨින චීවරය පිළිගත් භික්ෂුවට ඉදිරි මාස පහ ඇතුළත දී ම එසේ නොකොට අතිරේක සිවුරු තබා ගැනීමට මේ ආනිශංසයෙන් අවස්ථාව සැලසේ.

මේ ආනිශංසය ගැන ද දැකිය යුත්තේ බහුභාණ්ඩික ලෙස බොහෝ සිවුරු පරිහරණය කිරීමකට අවස්ථාවක් ලැබීමක් ලෙස නොව, අවශ්‍ය නම් බොහෝ සිවුරු නමුත් තබාගැනීමට හෝ පරිහරණය කිරීමට හැකි ය. එනමුත් ධර්ම මාර්ගයට බාධාවක් වන අයුරින් බැඳීම් ඇති කර ගැනීමට හෝ පැවිදි ජීවිතයේ මූලික අදහසට බාධාවන ආකාරයෙන් බොහෝ චීවර, පරිස්කාර පරිහරණය කිරීම බැහැර කළ යුතු අදහස සිත්හි පවත්වාගෙන කටයුතු කිරීම ය.

මේ ආධ්‍යාත්මික ජීවිත මගේ දී භික්ෂුව රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා යන සය ආකාරයක තෘෂ්ණාව බැහැර කිරීමට අවබෝධය ඇති කර ගන්නා වූ අවස්ථාව නැවත විමසා බැලීමක් ලෙස සිතිය හැකි ය. තමාට අතිරේක සිවුරු පරිහරණය කිරීමට අවස්ථාව තිබුණත්, ලැබුණත් එසේ නොකොට, සංස්කාර ධර්මයන් ලෙස උදය්‍යව එනම් හටගැනීම හා නැසී යෑම විදර්ශනා කොට තමාට ලැබුණු ආනිශංසය ද මාර්ගඵලාවබෝධය ඇතිකර ගැනීම පිණිස අවස්ථාවක් ඇතිකර ගැනීම ලෙස කල්පනා කළ යුතු බව ය.

“යොච තත්ථ චීවරුප්පාද” පස්වන කඨිනානිශංසයයි. එනම් කඨින චීවරය පිළිගත් භික්ෂූන් වහන්සේට කඨිනය පූජා කළ දිනයේ සිට මාස පහක් තුළ ඒ වස් විසූ සෙනසුනේ හෝ ආරාමයේ සඟ සතු කොට පූජා කරනු ලබන සිවුරු පිරිකර කැමැතිතාක් ලැබිය හැකි බව ය.

මෙය ද ඉහත සඳහන් කළ කඨිනානිශංසයන් හි කතාව මෙන් ම භික්ෂුවක් විසින් “පටිනිස්සග්ග“ යන අදහසින් පෙන්වා දෙන අත්හැරීම පිළිබඳව මාර්ගයට එකතු කර ගත හැකි ය. එනම් හේතුප්‍රත්‍යයන් මුල්කොටගෙන අවිද්‍යාව නිසා සකස් වෙන්නා වූ සංස්ඛාර හෙවත් ඵලවිපාකයෝ ඒ අවිද්‍යාව නිසා ම සකස් වූ ඵලවිපාක හේතූන්ගේ බැහැරවීමෙන් නැතුව යන්නේ ය යන අදහස ඇතිකර ගැනීමයි. ඒ අනුව සිතින් ඇලීම, බැඳීම, ගැටීම මුළුමනින් ඉවත්කර ගැනීමයි. මෙය “පටිනිස්සග්ගයයි”. තෘෂ්ණාවෙන් ස්පර්ශ නොකිරීමයි. තෘෂ්ණාව සකස් වීමට හේතු නැති කර ගැනීමයි.

සක්විති රජෙක් මහ පොළෝ තලයේ සියල්ල ලැබීමට හැකියාව තිබුණත් එය එසේ නොකොට සිටින්නෙකු මෙන් භික්ෂුවටත් ලෞකික වශයෙන් සියල්ල ලැබීමට හැකියාව තිබුණත්, එහි නො ඇලී, නොබැඳී, නොගැටී සිටින්නට සිත, සිහිය පිහිටුවා ගන්නට හැකි නම් මේ ආනිශංසය ඒ ඔස්සේ දැක ගත යුතු ය. එසේ නොවුණොත් සිදුවන්නේ, පෘථග්ජන භික්ෂුවකට තෘෂ්ණාව පහළවීමෙන් වස් තුන් මාසයක කාලය තුළ පුරන ලද ආධ්‍යාත්මික පිළිවෙත් මාර්ගයට බොහෝ සේ බාධාවක් විය හැකි බව ය.

කෙසේ වෙතත් පුරන ලද සීල, සමාධි, ප්‍රඥා ගුණ ඇති භික්ෂුවකට ලෞකික වශයෙන් ලැබෙන කුමන ආනිශංසයක් හෝ වරප්‍රසාදයක් ශාසනික පිළිවෙත් මාර්ගයට බාධා වන්නේ නැත. එසේ ම ආධ්‍යාත්මික දියුණුවට බාධාවන්නේ ද නැත

කඨින චීවරය පිළිගත් භික්ෂුවට ලැබෙන ආනිසංසය පිළිබඳව අප විසින් සිහිපත් කළ යුත්තේ ඒ ආකාරයෙනි. දායක පින්වතුන් විසින් කඨින චීවරය පිළිගත් භික්ෂූන් වහන්සේ දෙස බැලිය යුත්තේ ද මේ වරප්‍රසාද පිළිවෙත් මාර්ගයෙන් බැහැරවීමට ලැබෙන අවස්ථාවක් නොව පිළිවෙත් මාර්ගය තවදුරටත් අනුගමනය කරමින් ධර්මාවබෝධය ලැබීමට හේතුවන මාර්ග ඥාන ඇති කර ගැනීමට ම, ඵල ඥාන ඇතිකර ගැනීමට ම ලැබුණු ආනිශංස වශයෙනි.