Print this Article


බිහිසුණු අපාය: සතර අපා දුකෙන් තොරව නිවනින් සැනසීම ලබමු

බිහිසුණු අපාය:

සතර අපා දුකෙන් තොරව නිවනින් සැනසීම ලබමු

"කිසිම දිනක සැදැහැවතුන් පූජා කළ ඉඩ කඩම් වලට , තුනුරුවන් වැඩ සිටින තැන්වල වැසිකිළි, කැසිකිළි , කෙළ ගැසීම් කරන්නට එපා. ඒවා කළොත්, මුත්තග්ගී නරකයට වැටී යම පල්ලන් ගිනිගෙන දැවෙන රථයක් ගෙල බැඳ දිග් වූ කටුවලික් සිරුර අනිමින් දිගු කලක් ම දුක් දෙනවා."


හැත්තෑ අටවන අපාය වන්නේ ආරාම දාස නරකය යි. එහි උපත ලබන්නේ මනු ලොව සිටිය දී අකාලයේ විහාරස්ථාන, ආරාම, ආදියෙහි මල්, පලතුරු, ගෙඩි ගන්නන් ය. විහාරය අපිරිසුදු කරන්නන් ය. විහාරස්ථානය සතු කිසිවක් ගන්නට එපා. මේවා සඟ සතු දේ. තුනුරුවන් සතු දේ. ඉඩකඩම්, ගස් කොළන් පූජා කළේ ලෝක ජනතාවට නො වෙයි. තුනුරුවන්ට යි. සිල්වත්, ගුණවත් උතුමන්ට යි.

ඒ දේ තමන් පරිහරණය කළොත්, භයානක වෙයි. වෙහෙර විහරාස්ථාන අපිරිසුදු කළොත්, ආරාම දාස නරකයේ උපත ලබයි. එසේ උපත ලබා දිගු කලක්, යම පල්ලන්ගෙන් දුක් විපාක ලැබෙයි.

හැත්තෑ නවවන අපාය වන්නේ ගෝමුතග්ග නරකය යි. මේ නරකාදිවලට නම් ලැබී තිබෙන්නේ ඒ , ඒ පාපකර්ම වලට යෙදුණු අයට දරුණු විපාක පෙන්වීම සඳහා යි. ඒවාට වැටීමෙන් අනන්ත කාලයක් දුක් විපාක ලබා දෙනවා. මෙහි අපාගත වන්නේ පුදබිම්වල තණකොළ කෑමට හරක් දක්වන්නන් ය. එවිට මේ සතුන් විහාරස්ථානය අපවිත්‍ර කරනවා, විනාශ කරනවා. එය විශාල පාපයක්. එසේම වෙහෙර විහාරස්ථානවලට පාඩු සිදු කරනවා. වෙහෙර විහාරස්ථාන අපිරිසුදු කරනවා. මේ පාප කර්මය කෙතරම් භයානක ද? බුද්ධ, ධම්ම , සංඝ රත්නත්‍රය වැඩ සිටින සියලුම වෙහෙර විහාරස්ථාන අපිරිසුදු කළොත්, තම හරකා බාන ගැටගැසුවොත්, වෙනත් සතෙක් හෝ එහි ගැට ගසා දැමුවොත්, උපත ලබන්නේ ගොමුතග්ග නරකයේ යි. මෙම පාප කර්මයට යටත් වන සියලුම දෙනා ගොමුතග්ග අපායට වැටී දිගු කලක් දුක් විඳිනු ලබනවා. එහි විඳින දුක සීමාවක් නැහැ. යම් කිසිවෙක් මේ පාප කර්මයට යෙදී වාසය කළොත්, අනන්ත ජාතිවල දුක් විඳිනු ලබනවා. ඒ අනුව කල්පනා කර කවුරුත් හොඳින් මතක තබා ගන්න, තම ගමේ පන්සල කිසිම දවසක අපිරිසුදු කරන්න එපා. වෙහෙර විහාරස්ථාන සතු ඉඩ කඩම් බිම් අඟලකින්වත් අයිති කරගන්නට එපා. වෙහෙර විහාරස්ථාන සතු ගස් කොළන් කපා දමන්න එපා. වෙහෙර විහාරස්ථාන පිරිසුදු කළොත්, අපිරිසුදු ස්ථාන පවා පස් දමා පිරිසුදු කළොත්, එය දැවැන්ත පින්කමක්. නිවන් දකිනා තුරු සුගතියක වාසය කළ හැකි යි. සියලුම සම්පත් ලැබෙනවා. අඬු ලුහුඬු නැති ලස්සන ජීවිතයක් ලැබෙනවා. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, සිල්වත් ගුණවත් උතුමෝ වැඩ සිටින ස්ථාන පිරිසුදු කිරීම කායික මානසික සුවයට, පිරිසුදු ජීවිතයකට, පාරමී ගුණ දියුණුවට, නිවන් පසක් කර ගැනීමට විශේෂයෙන් හේතු වෙනවා. මේ ගැන සිතා බොහොම සතුටට පත් වන්න. තමන්ගේ ගමේ පන්සල ආරක්ෂා කර ගත යුතු යි. මහා සංඝයා වහන්සේ රැක ගත යුතු යි. කුඩා ස්වාමීන් වහන්සේ රැක ගත යුතු යි. පන්සලට යන විට කුඩා ස්වාමීන් වහන්සේට ලොසින්ජරයක් වැනි සුළු දෙයක් දුන් විට ඒ අයට පුදුම ලෙන්ගතු කමක් ඇති වෙනවා. එය විශාල පිනක්. ශාසනය රැකෙනවා, දියුණු වෙනවා, කුඩා ස්වාමීන් වහන්සේ නිවසට යන්න කල්පනා කරන්නේ නැහැ. මව් පියන් සේ මහා සංඝරත්නය රැක ගත යුතු යි. එය තමන්ගේ වාසනාව සැප ලබා දෙන ක්‍රමයක්.

අසූ වෙනි අපාය වන්නේ හිඳි ගිනි නරකය යි. එය බොහොම භයානක නරකාදියක්. මනු ලොව සිටිය දී වෙහෙර විහාර, පුද සත්කාර කරන තැන් කැඩූ බිදූ අය නරකා දී ලොවට වැටී සීමාවක් නැති දුක් වඳිනු ලබනවා. මේ අයගේ සිරුර මතට විශාල ගිනි කඳු වැටී දුක් විඳිනු ලබයි. ඒ නිසා කිසිම දිනක වෙහෙර විහාර, දේව රූප හෝ කඩා බිඳ දමන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. මේවා සැදැහැවතුන් පින් ඵල නෙළා ගැනීමේ අදහසින් කරන ලද පින්කම්. ඒ නිසා සැවොම වෙහෙර විහාර හදන්න අවශ්‍යය යි. ප්‍රතිසංස්කරණය කළ යුතු යි. දියුණු කළ යුතු යි. පිරිසුදුව ආරක්ෂා කර ගත යුතු යි. නිවන් දකිනා තුරු සුගතියක වාසය කළ හැකි යි. කුමන දෙයකවත් අඩු පාඩුවක් නැහැ. සකල සම්පත් නෙළා ගන්න පුළුවන්කම තියෙනවා. ආයුරාරෝග්‍ය සම්පත්, කෑම බීම, ඉඳුම් හිටුම්, මාලිගා වැනි වස්තූන්, ලැබෙන අතර කිසිවකින් කරදර පීඩා නැතිව හොඳින් ජීවත් වෙන්නට පුළුවන්. සුගතියක ව ාසයෙන් නිවන් පසක් කළ හැකි යි. මේ ගැන සිතා කල්පනාවෙන් කවුරු වුණත් වෙහෙර විහාර දියුණු කරගන්න වෙහෙස මහන්සි වන්න. මේවා විනාශ කරන්න එපා.

පසුගිය කාලයේ එක්තරා තැනැත්තියක් බුද්ධ ප්‍රතිමාවක් පොළොවේ ගසා කඩා බිඳ දැමුවා. ප්‍රතිමා වහන්සේගේ හිස ගැලවී ගියා. පසුව රිය අනතුරකින් මේ තැනැත්තියගේ ද හිස කඳින් වෙන්වී ගියා. බලන්න මෙලොව දී ම ලැබුණු විපාකය? කිසිම කෙනෙකු කිසිම ආගමක ප්‍රතිමාවකට හානි නොකළ යුතු යි. එසේ කළොත් මෙලොව දී ම විපාක ලැබෙනවා.

අසූ එක්වන අපාය මුත්තග්ගී නරකය යි. මෙහි උපත ලබන්නේ මනු ලොව සිටියදී පුද බිම්වල මුත්‍රා කරන , කෙළ ගසන, බුලත් කෙළ ගසන අය යි. මෙහි සඳහන් කරන්නේ පුද බිම් අපවිත්‍ර කරන බව යි. කිසිම දිනක සැදැහැවතුන් පූජා කළ ඉඩ කඩම් වලට , තුනුරුවන් වැඩ සිටින තැන්වල වැසිකිළි, කැසිකිළි , කෙළ ගැසීම් කරන්නට එපා. ඒවා කළොත්, මුත්තග්ගී නරකයට වැටී යම පල්ලන් ගිනිගෙන දැවෙන රථයක් ගෙල බැඳ දිග් වූ කටුවලික් සිරුර අනිමින් දිගු කලක් ම දුක් දෙනවා.

ඒ නිසා පින්වතුනි, මේ ගැන දැන කියාගෙන පින් දහම් කරන්න. පුරාතන මිනිස්සු පන්සලෙන් පිටව යන්නේ වැලි කැටයක්වත් පන්සලෙන් නොයේවා යන අදහසින් පය පවා ගසා දමා ගෙන යි. යම් කිසිවෙක් වෙහෙර විහාර, වැසිකිළි පිරිසුදු කරනවා නම්, අපිරිසුදු තැන් හොඳින් පිරිසුදු කරනවා නම්, මල් ආසන පවිත්‍ර කරනවා නම්, සුදු පිරියම් කරනවා නම්, විහාරස්ථාන ආලෝකවත් කරනවා නම්, ඒ අය මෙලොව සැප විඳින අතර, මරණින් මතු දෙව් ලොව උපත ලබා, නිවන් දකිනා තුරු සුගතියක ම වාසයෙන් නරකා දී සතර අපා දුකෙන් අත් මිඳී ආර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්ති ලක්ෂණ අමා මහා නිවන් සම්පත් අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා.