Print this Article


කළ හොඳ පමණයි අප ගෙන යන්නේ

කළ හොඳ පමණයි අප ගෙන යන්නේ

ගල්කිස්ස මහා හෝටලයේ ආහාර ප්‍රවර්ධන අධ්‍යක්ෂක පබ්ලිස් සිල්වා

මිහදුම් සළු පොරවාගත් කඳු යායකින් වටවුණු, විසල් තුරු ලතාවන්ගෙන් සුසැදි මනරම්, නිසංසල පරිසරයක පිහිටි බුදුගල්ලෙන චන්ද්‍රාරාම පුරාණ විහාරස්ථානය දකින කාගේත් සිත් ඇදගන්නා පුණ්‍ය භූමියකි.


බුදුගල්ලෙන වෙහෙර බිමේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

රත්නපුර සිට කිලෝමීටර් 45 ක් පමණ දුරින් රක්වාන ප්‍රදේශයේ පන්නිල ගම් පියසේ උසම ස්ථානයේ, කඳුගැටයක් උඩ පිහිටි මේ වෙහෙර බිමට ශ්‍රීපාද කඳුවැටිය ඇතුළු කඳු පන්තියක් ම අපූරුවට දර්ශනය වේ.

දේශීය ආහාර ලෝකයට ම හඳුන්වා දෙමින් ලොව පුරා කීර්ති නාමයක් දිනාගත් ගල්කිස්ස මහා හෝටලයේ ආහාර ප්‍රවර්ධන අධ්‍යක්ෂක පබ්ලිස් සිල්වා මහතා බුදුගල්ලෙන වෙහෙර බිමට පැමිණෙන්නේ මීට ටික කලකට පෙර අහම්බයක් ලෙසිනි. ඒ, එම ප්‍රදේශයේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් සංවිධානය කළ දේශනයකට සහභාගි වීම සඳහා පැමිණි අවස්ථාවක ය. එම ගමනේ දී ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරු හමුවීමට ද අවස්ථාවක් කර ගත් අතර, බුදුගල්ලෙන වෙහෙර බිමට යාමට යෝජනා කෙරෙන්නේ එහි දී ය.

“මේ පින්බිමට අඩිය තියනකොට ම මගේ සිතට දැනුණේ පුදුමාකාර සැනසිල්ලක්. පන්සල නිසා අවට පරිසරයත්, පරිසරය නිසා පන්සලත් ශෝභාමත් වන බවයි මට සිතුණේ. අවට ගහකොළ අතරින් නැගෙන කුරුල්ලන්ගේ මිහිරි නාදය ඇසුණත්, මේ පින්බිම වන්දනාමාන කරගන්නට බාධාවක් වුණේ නෑ. මෙහි අපූරු ගල් දෙබොක්කාවක් පිහිටා තිබුණා. විහාර මන්දිරය නිම වී තිබුණේ එහි එක් කොටසක් මැදි කරලයි. ඒ දුටු මට පින් සිතිවිල්ලක් ඇතිවුණා. ඒ මේ පිහිටි ගලේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නෙළීමේ සිතිවිල්ලයි” පබ්ලිස් සිල්වා මහතා පවසන්නේ ශ්‍රද්ධා සිතිනි.

බුදුගල්ලෙන විහාරාධිපති අමරපුර මහා නිකායේ සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක ගොඩැල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියන්ගේ හා විහාරාධිකාරි දිගන්දල සුමනසිරි හිමියන්ගේ අනුශාසනා ඇතිව ඔහු මෙම පුණ්‍යවන්ත කාර්යභාරය සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉටු කිරීමේ වගකීම භාර ගත්තේ ය.

එහෙත් දුෂ්කර කාර්යයකට වූයේ පන්සලට යන මඟ ඉතා දුෂ්කර වීම ය. සබරගමු පළාතේ ආණ්ඩුකාරතුමාට ඒ පිළිබඳව දැන්වීමෙන් පසු මාර්ගය පිළිසකර කරදීමට එකඟ වූ බව පබ්ලිස් මහතා පවසන්නේ ය.

“බුදු ගල්ලෙන විහාරය පිහිටා තිබෙන්නේ කුඩා ගම්මානයක. ජනප්‍රවාදයට අනුව වළගම්බා රජතුමා මෙහි සැඟවී සිටිය බව සඳහන් වෙනවා. පවුල් 180 ක් පමණ මේ ගමේ ජීවත් වෙනවා. දහම් පාසලෙන් ගමේ දරුවන් හොඳ නරක ඉගෙන ගන්නවා. දිගු කලක් තිස්සේ මේ විහාරස්ථානයේ සංවර්ධනයක් සිදු කෙරුණේ නෑ. එතුමා මේ සිදු කරන්නේ ගමටත්, විහාරස්ථානයටත්, පළාතටත් අමිල සේවයක්.

මේ ගමේ ඉන්නේ වත් පොහොසත්කම් මහ ඉහළින් ඇති අය නොවෙයි. විශාල මුදලක් වැයකර මෙවැනි පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීම සිහිනයක්. එතුමා ඉතා විශාල මුදලක් වැයකර බුදුපිළිම වහන්සේ නෙළීමෙන් නතර වුණේ නෑ. වෙහෙර බිමේ සංවර්ධන කටයුතු කරන්න රුපියල් කෝටියකට ආසන්න මුදලක් වියදම් කර තිබෙනවා.”

විහාරාධිකාරි දිගන්දල සුමනසිරි හිමියෝ පවසති.

මොන තරම් දුෂ්කර වුව ද තමන් මේ ගමට, ගමේ මිනිසුන්ට ආදරය කරන බව පවසන පබ්ලිස් සිල්වා මහතා ගමේ මිනිසුන්ට කෘත ගුණ දැක්වීමට ද අමතක නොකළේ ය.

“අමාරුවෙන් හරි හම්බ කරගෙන ජීවත් වුණත් , මේ ගමේ උදවිය කාටවත් අත පාන්නේ නෑ. බොහොම නිරහංකාර , ආගන්තුක සත්කාරයට ලැදී, පරිත්‍යාගශීලි, අව්‍යාජ ගතිගුණ ඇති අය තමයි මේ ගමේ දී මට මුණ ගැසුණේ. මම ඔවුන්ට ගෞරවය කරනවා. ඔවුන්ගේ ගතිගුණවලට හදවතින් ම කෘතඥ වෙනවා.”

ලබන වසරේ ජනවාරි මාසයේ බුදුගල්ලෙන රජමහා විහාරයේ ඉදිවෙන මේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සැදැහැති ජනතාවගේ වන්දනීයත්වයට නිරාවරණය කිරීමට නියමිත ය.

“මම මේ තත්ත්වයට ආවේ ඉතා දුක් මහන්සියෙන්, උත්සාහයෙන්. ඉතින් මම හම්බ කළ ධනය දනට ,පිනට දෙනවා.අපි සැමදාම ජීවත් වෙන්නේ නෑ. කළ හොඳ පමණයි ගෙන යන්නේ.” පබ්ලිස් සිල්වා මහතා ජීවිතය දකින්නේ එලෙස ය. ධර්මානුකූල ව ය.