Print this Article


ඇහැටුවැව ගල්කඩවල ශ්‍රී සංඝබෝධි විහාරස්ථානයේ සිදු කළ අසිරිමත් කඨින පින්කම

ඇහැටුවැව ගල්කඩවල ශ්‍රී සංඝබෝධි විහාරස්ථානයේ සිදු කළ අසිරිමත් කඨින පින්කම


ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ආර්.ඩබ්ලිව්.ආර්. වැලිපිටිය මහතා සධාතුක කරඬුව වැඩම කළ අයුරු.

රට පුරා සෑම විහාරස්ථානයක ම වස්සාන සමයෙහි කඨින පින්කම් සිදු වෙද්දී සතර පේරුවේ දායක කාරකාදීන් ට නිවන් මඟ විවර කරමින් රාජ්‍ය ආයතනයක් මුල් තැන ගනිමින් සිදු කළ අසිරිමත් කඨින පින්කමක් දකින්නට ලැබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. ඒ විටෙක වන අලින්ගෙන් නේක හිරිහැර විඳින, තවත් විටෙක නියං සායෙන් පීඩා විඳින, එසේ මුත් දැහැමින් ගොවිතැන් බතින් දිවි ගෙවන ගැමි ජනතාවක් වෙසෙන ප්‍රදේශයකට මහජන සේවය සපයන ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.


කඨින චීවර පඬු පොවා මද පවනේ වියළා ගත් අයුරු.

මීට තෙමසකට පෙර ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ආර්.ඩබ්ලිව්.ආර් වැලිපිටිය මහතා විසින් චාරිත්‍රානුකූලව ඇහැටුවැව ගල්කඩවල ශ්‍රී සංඝබෝධි විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ විෂයෙහි වස් ආරාධනාව කරනු ලැබිණි. ඉන් පසු ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තැන්පත් කර පූජෝපහාර පවත්වන ලද වස්ත්‍රයක් මහ හරසරින් යුතුව ඇහැටුවැව ගල්කඩවල ශ්‍රී සංඝබෝධි විහාරස්ථානයට පෙරහරින් වැඩමවා එහි දී ඉපැරැණි සිරිත් සම්ප්‍රදායන්ට අනුකූලව එම වස්ත්‍රය පඬු පොවා චීවරයක් ලෙස සකසන ලදී.

ඇහැටුවැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ශාස්ත්‍රපති වලත්වැවේ රාහුල, ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හුංගම්පොල පියරතන හිමිවරුන්ගේ අනුශාසනා පරිදි ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ආර්.ඩබ්ලිව්.ආර්. වැලිපිටිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ඒ.ඩී.එන්. එන්. අබේවික්‍රම, ගණකාධිකාරී ඩී.එම්. චන්ද්‍රසේන, සහකාර සැලසුම් අධ්‍යක්ෂ වයි.එම්.ජේ.වයි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සතර පේරුවේ දායක කාරකාදීන් එක්ව එම පින්කම සංවිධානය කරනු ලැබුයේ මහත් ආදර්ශයක් දෙමිනි. රාජ්‍ය සේවකයින් සහ සේවාලාභීන් අතර පවතින අන්‍යොන්‍ය සබඳතාව වර්ධනය කර ගනිමින් නිවන් සුව පැතීම් වස් ඔවුනොවුන් එකාවන්ව දැරූ වීර්යය අපුරු ය.

එම පින්කමේ දී සංඝගත දක්ෂිණාවක්, කඨිනානිශංස ධර්ම දේශනාවක් ද පැවැත්වුණු අතර පින්කමට සහභාගි වූ සියලු දෙනා ට ආහාර වේලකින් ද සංග්‍රහ කරනු ලැබිණි.