Print this Article


පහන් සිතක කවි

තෙරුවන් වන්දනාව

ගෞතම සුගත මා හිමි සඳු තථාගත
නිවී සව් කෙලෙස් දුරු කර විරාජිත
පෙව් දම් අමා ඔසුවෙන් ලොව සියල් සෙත
නිව්වා සසර දුක නිවනේ නිවී යන

මුනි දම් සහ මහ සඟ යන තුනුරු වන
පෙනි පෙනි මගේ බැති හදවත පුද දෙ මින
දැනි දැනි පිළිවෙතෙහි මැදි මාවත් ගමන
පැමිණෙමි නිවන වෙත බව දුක නවතමින

****

නාගිත හිමිගේ කඨින පින්කම

නාගිත මහ තෙරණුවෝ
සම්බුදු හිමි පාමුල
එකත් පසව ඇඳිළී බඳී
මෙසේ පවසතී
භගවත් බුදු පියාණෙනි
විපස්සි බුදුන් අබියස
මහා කඨින පූජාවක්
මින් කප් තිස් එකකට
පෙරදී මා සිදු කළා
මනුෂ්‍ය දිව්‍ය සම්පත් හා
සක්විති රජ සැපත් ලැබුණි
ගෞතම බුදු සසුනේ දී
රහත් ඵලය ලැබුවෙමි

****

වාසනාවන්

පවට බිය තෙරුවනෙහි හැසිරුණු කුල සිරිත් ගරු කළ මනාවන්
බසට ගුරු දෙගුරුන්ගෙ අවනත පෑ දසන් නොපෙනෙන සිනාවන්
බොලැට නාඹිය දෙවුර දෙවටොර ළමැද සහ පිට වැසු මනාවන්
දිගට පළලට රෙද්ද හැට්ටය ඇන්ද කුල කත වාසනාවන්

****

ඉල් පොහොය

තෙල් මල් පහන් අරගෙන පන්සල් යනවා
සිල්වත් බොදුනුවෝ අට සිල් පිහි ටනවා
මල් වැසි දෙවිවරුන් අහසින් වස් සනවා
ඉල් පෝ දිනේ පුන් සඳ රැස් බැබළෙනවා

අමතා සැටක් වූ මහ රහතුනට එදා
සුමඟට දනන් යොමු කරවන දහම බෙදා
එම සැට නම ම දම් චාරික බවට යොදා
මෙම ඉල් පෝ දිනේ ඇරැඹී අඳුර මුදා

සුන් කොට සව් කෙලෙස් පව් මළ බැඳි නේක
පින්බර උතුම් ඉල් පුර පසළොස් දාක
නන් අයුරින් ම මහ පෙළහර පෑ සේක
තුන් බෑ ජටිලයන් දමනය කළ සේක

සිව්රක් ගඳ කිළියෙ වියනක් කරන ලදී
සිව්රක් ඉදිරි පිට සරසා තබන ලදී
ගෞරවනීය මෙත් බෝසත් ඇඳිලි බැදී
ගෞතම මුනිදු ගෙන් විවරණ ලබන ලදී

****

දුන්හිඳ

කියන්නෙ
අකුරු හතරෙ
එකතුවක්
සිත මවන
ඇල්ලෙ
වතුර තියනවද
ලෝකයක් නො වෙයි මේ
වචන ගොඩක්
සංකල්ප ජාලයක්

****

භූත

හිරුගෙ රැස්
සුළං රැල්
ලැබගනිමින්
මහ පොළොව උලා කා
පොළොවෙ දිය උරා බී
පොළොව මත දිවි ගෙවා
පොළොවටම පස් වෙනා
ලොව වෙසෙන
අප සැවොම
නිසැකෙන් ම
භූතයෝ

****

අනුරපුර අසිරිය

අවරට ගිහින් හිරු අහසේ සැඟවෙනවා
පුන් සඳ ටිකෙන් ටික අහසේ පායනවා
රන් මැලි සෑය ඒ අතුරින් බැබළෙනවා
ගැමුණු කුමරු දෙව්ලොව සිට හිනැහෙනවා

අනුර පුරේ විසිතුරු ඇත කියන්නට
කොපමණ ලීව මුත් බැහැ නිම කරන්නට
අනු බුදු වැඩිය ඒ පින්බිම වඳින්නට
අපි යමු සැම දෙනම නිවනින් නිවෙන්නට

****

මෙවර ජයග්‍රාහී කවිය

පැතුම

මෙත්තා ගුණය දස අතටම පැතිරේවා
කරුණා ගුණය හැම හදකම රජ වේවා
මුදිතා ගුණය බැලු බැලූ තැන දිස් වේවා
උපේක්ඛාව ඇති තැන නිති ජය වේවා

උස් මිටි කුල භේද සදහට දුරු වේවා
ලස්සන රටක් මේ මොහොතෙම බිහි වේවා
පින්කම්වලට හැමගේ සිත් යොමු වේවා
ලක් මව ලොව උතුම් රට බව පැවසේවා

****

සාර ධර්ම සංග්‍රහයක්

සැම ඉරිදාම දම් පාසලෙ ළමයි ගැන
පහන් සිතක කවි ලියනව කියල ගුණ
දුටුවද ලියල තියෙනව සදහම් අරණ
සැමටම ලැබේවා සමිඳුගෙ බුදුසරණ

අම්මට තාත්තට ළමයිනෙ සලකන්න
ගුරුදෙගුරුන් කියන දේ සිතටම ගන්න
උදයේ සවස තම ආගම අදහන්න
මේ ලක් දිවට හොඳ පුරවැසියෙක් වන්න

****

සසර තරණය

එගොඩත් බැලිමි එගොඩත් නොපෙනෙන මානයකි
මෙගොඩත් බැලිමි මෙගොඩත් දුක් කන්දරාවකි
දෙගොඩම බැලිමි දෙගොඩත් යා කරන ඕඝයකි
මගිය පස් කඳ තොපට යන මග කියයි සකි

ආ මග නොබලන් මරුවා දකින්නේ
මැද මාවතේ යන මග නො පෙනෙන්නේ
තුන් ශික්ෂා අනුව පියවර තබන්නේ
අරි අට මග යි නිවනට මග පාදන්නේ

****

දහම් පාසල

අලුයම හතර ඔරලෝසුවෙ නාද වුණා
ඉරිදා දිනක් නේ දැ’යි මට මතක් වුණා
දත කට මැදල පළමුව පිරිසුදු වෙන්නා
මව් පියො සමඟ සම්බුදු හිමි නමඳින්නා

පසුගිය ඉරිදා දම් පාසලෙ කරන ලද
පාඩම් ගාථා සැදැහෙන් කියනවා නාද
අම්මා - තාත්තා පවසන්නේ මගේ හොඳ
මුල් තැන දීම බුදු දහමට හොඳ නේද