Print this Article


ධම්මපදයෙන් ජීවිතයට: සම්පතකි සම්පතකි අප්‍රමාදය

සම්පතකි සම්පතකි අප්‍රමාදය

පමාදමනුයුඤ්ජන්ති
බාලා දුම්මෙධිනො ජනා
අප්පමාදඤ්ච මෙධාවී
ධනං සෙට්ඨං’ව රක්ඛති

නුවණ මඳ අමන දන
පමා වෙති තතු නො දැන
නොපමාව නැණැති දන
රකිති ලෙස මහඟු දන

ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි නුවණ මද පොදු ජනතාව අතර ජනප්‍රිය වූ එක් නැකැත් කෙළියක් ඇරබ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ හ.

එ සමයෙහි එක් දිනක් මේ නැකැත් උත්සවය සැවැත් නුවර වැසියන් විසින් සංවිධානය කරන ලදී. මේ උත්සවයෙහි විශේෂාංගයක් වූයේ මිනිසුන් තම සිරුර අළු හා ගොමවලින් තවරා ගෙන විවිධ අසභ්‍ය වචන අඩංගු විහිළු තහළු කරමින් ගෙයක් පාසා යාම ය. මොවුන් පැමිණි විට නිවැසියන් ඔවුනට මුදල් දිය යුතු ය. විහිළු තහළු අසභ්‍ය හෙයින් පැමිණෙන විට ම මුදලක් දී හරවා යැවීම විනීතයන් ගේ සිරිතයි. උත්සවය දින හතක් පැවැත්වෙයි.

මෙය එක් විදියක ‘අවිනීත සමයක්’ හෙයින් වැඩිහිටියන්, පැවිද්දන්, මිතුරන්, නැදෑයන් ආදී විශේෂයක් නො තකා අසභ්‍ය විහිළු කිරීම සිරිත ය. එකල සැවැත් නුවර බෞද්ධයෝ පන් කෝටියක් පමණ විසූහයි කියති. ඔවුහු මේ උත්සව සමයෙහි විනෝදවන අඥාන ජනයාගෙන් භාග්‍යවතුන් වහන්සේට හෝ භික්ෂූ සංඝයාට අවමන් වනු නො රිසිව මෙසේ ආරාධනා කළහ.

“ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේත්, සියලු ම භික්ෂු සංඝයා වහන්සේත් ආරාමයෙන් පිටතට වැඩම නො කර ආරාමය තුළ ම වැඩ හිඳින සේක්වා. මේ දින හත අපි දාන මානාදිය සකසා විහාරයට ම එවමු. අපිත් පිටත සැරි සැරීමෙන් තොරව අපේ නිවෙස් තුළ ම කල් ගත කරමු” මෙසේ ඇරයුම් කළ ඔවුහු ඒ සතිය මහත් අපහසුවෙන් ගෙවා ගත් හ.

අටවන දින සියලු සැණකෙළි නිම වූ පසු සැදැහැවත්හු එක්ව බුදුපාමොක් මහ සඟ ගණ නුවරට වඩමවා, මහ දන් පවත්වා විවිධ පූජෝපහාර පැවැත් වූ හ. අනතුරුව එකත් පසෙක හිඳ “ස්වාමීනි, මේ සත් දවස ඉතා අපහසුවෙන් ගෙවා ගත්තෙමු. ඒ අසභ්‍ය කතා බහ කන්වලට යහුල්වලින් අනින්නා වැනි විය. ඔබ වහන්සේලාට ආරාමයට ම වී සිටින්නැයි අප ඇරයුම් කළේ ඒ නිසා ය’යි පැවසූ හ. ඒ අසා සිටි භාග්‍යවතුන් වහන්සේ “අඥානයන් මෙසේ තම කාලය වැරැදි ලෙස භාවිත කරමින් හැසිරුණත්, නුවණැත්තෝ අප්‍රමාදී ව ක්‍රියා කොට සසර දුක් කෙළවර කර ගනිති”යි වදාරා මේ ගාථාව ද දේශනා කළහ.

බාලා - සාරධර්ම නොදත්

දුම්මෙධිනො - නුවණ මඳ

ජනා - මිනිස්සු

පමාදං - ප්‍රමාදී හැසිරීම්වල

අනුයුඤ්ජන්ති - යෙදෙති

මෙධාවී ච – නුවණැත්තා නම්

අප්පමාදං - අප්‍රමාදය

සෙට්ඨං - ශ්‍රේෂ්ඨ

ධනං ඉව - ධනයක් මෙන්

රක්ඛති - රැක ගනියි