Print this Article


වස් වස් පවාරණය

වස් වස් පවාරණය

වස්සාන කාලය තුළ සැදැහැවත් දායක දායිකාවෝ භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කළ දවසේ සම්මත කරගත් පරිදි සිව්පසයෙන් උපස්ථාන කරති.

මේ අතර දිනපතා විහාරස්ථානයට පැමිණ සවස් භාගයෙහි බුද්ධ පූජා, බෝධි පූජා පැවැත්වීම බෞද්ධ රටවල සැදැහැවතුන්ගේ ගුණාංගයකි. අපේ රටේ ද වෙනදාට වඩා වැඩි උනන්දුවකින් බෞද්ධ ජනයා වෙහෙර විහාරස්ථාන කරා එළඹෙති. දන් පහන් පූජාකරති. පුර පසළොස්වක් පොහෝ දින, හැකි අය මාසේ පෝය දිනවල ද අටසිල් හෝ දසසිල් සමාදන් වෙති. වස් ආරාධනා කරන දිනයෙහි සම්මත කරගත් පරිදි සිව්පසයෙන් උපස්ථාන කිරීමට ද , භික්ෂූන් වහන්සේ නමක් රෝගාතුර වූ විට වඩාත් සැලකිලිමත් ව සොයා කියා බැලීම ද සිදුකරති. පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා තෙමස ගතවීමත් සමග ම වප් පුර පසළොස්වක් පොහෝ දා සෘතු නිමවන පරිදි එදින ම හෝ ඊට පසු දින වස් පවාරණය කිරීමට සීමා මාලකයට රැස්වෙති. සියලු දෙනා වහන්සේ ම ආපත්ති දේශනා කොටගෙන සීමා මාලකයට ගොස් තැන්පත් ව වාඩිගෙන මහතෙරණුවෝ පළමුවෙන් ම උක්කුටිකව (ඇනතියා) වාඩි වී වැඳගෙන මෙසේ විනය වාක්‍යයකින් වස් පවාරණය කළ යුතු ය.

සංඝං ආවුසෝ පවාරේමි. දිට්ඨේන වා සුතේන වා පරිසංකාය වා වදන්තු මං ආයස්මන්තො අනුකම්පං උපාදාය පස්සත්තො පටිකරිස්සාමි.

දුතියම්පි සංඝං ආවුසෝ පවාරේමි. දිට්ඨේන වා සුතේන වා පරිසංකාය වා වදන්තු මං ආයස්මන්තෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි.

තතියම්පි සංඝං ආවුසෝ පවාරේමි. දිට්ඨේන වා සුතේන වා පරිසංකාය වා වදන්තු මං ආයස්මන්තෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි

වස් පවාරණය කිරීම සඳහා දැනුදු භික්ෂූන් වහන්සේලා සීමා මාලකයකට රැස් වී භාවිත කරන්නේ මෙම විනය වාක්‍ය ම යි. එහි අදහස නම් වැඩිමහල් තෙරණුවෝ අනිකුත් උපසම්පදාවෙන් බාල සංඝයා වහන්සේ දෙස හැරී වැඳගෙන ආයුෂ්මත්වරුනි, ඔබ වහන්සේලා මාගේ යම්කිසි වරදක් දෑසින් දැකීමකින් හෝ කාගෙන් හෝ අසා දැනගත් අයුරකින් හෝ නැත්නම් ඔබ වහන්සේලාට ම සැකයක් පහළ වී ඇත්නම් හෝ මට ප්‍රකාශ කරනු මැනවි. අමුත්තක් නො සිතා අනුකම්පාවෙන් යුතුව ඇති දෝෂයක් නම් මේ පිරිස මැද මට ප්‍රකාශ කෙරෙත්වා. ඒ කියන දෝෂයන් ඇත්නම්, එය සත්‍යයක් නම් වහා පිළියම් කරගන්නෙමි. සිදුකොට ඇති වරද සකස්කර ගනිමි. අනෙකුත් බාල භික්ෂූන් වහන්සේලා ද ‘සංඝං භන්තේ පවාරේමි. යනුවෙන් ඒ වාක්‍යය තුන් වරක් කියා වස් පවාරණය කිරීම කළ යුතුª ය.

ඉහත සඳහන් බුද්ධ වචනයට අනුව වස් පවාරණය යනුවෙන් අදහස් කරන්නේ තම අඩුපාඩු කම් ඇත්නම් දැන කියාගෙන ඒ අඩුපාඩුකම් සපුරාම හදාකියා ගැනීමයි. භික්ෂූන් වහන්සේලා විසි තිස් ගණන්, හැට හැත්තෑ ගණන්, සිය ගණන් ආදී වශයෙන් වස් කාලයට කලින් කතිකා කරගෙන සුදුසු විවේකී ප්‍රදේශ කරා ගොස් මාතිකමාතා කතාවේ කියැවුණ පරිදි වස්කාලය එකට ගතකරමින් භාවනා කොට ප්‍රතිඵල නෙළාගෙන, එනම් ධ්‍යාන සමාපත්ති හෝ මගඵල ලබාගෙන වස්සාන සෘතුව නිම වූ පසු ආපසු වඩිති. එකට එකතුව තුන්මාසයක් ගත කිරීම නිසා උන්වහන්සේලාගේ අඩු පාඩුකම් දැනගත හැකි ය. දැකගත හැකි ය. සිතාගත හැකි ය. එවැනි අඩුපාඩුකම් අවංකව ම දැන කියාගෙන විසිරයාමෙන් පසු තම තමන් වහන්සේලාට ඒ සුළු සුළු අබල දුබලකම් සකස්කර ගැනීමට නිරායාශයෙන් ම අවස්ථාව ලැබෙන්නේ ය. එම ප්‍රයෝජනය ලබාගැනීමට වස් අවසාන දවසේ දී ම සීමාමාලකයේ සිට ම අධිෂ්ඨාන කරගෙන පිටත්වීම වඩ වඩාත් ප්‍රයෝජනවත් වන බැවින් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් ම මෙම අනගි අවස්ථාව තම ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාට සලසා දී තිබෙන බව මෙයින් වටහාගත හැකි ය. ‘සංවාසේන ඛෝ මහාරාජ සීලං වේදිතබ්බං’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ උදානපාලියෙහි එන සප්ත ජටිල සූත්‍රයේ දී මහරජ, ළඟ ම ඇසුරෙන් ම ඔවුනොවුන්ගේ අඩුපාඩුකම් දැනගත හැකි ය. ‘යනුවෙන් වදාරා ඇත්තේ මේ කරුණ ම සලකාගෙන ය. වස් කාලයට අයත් තුන් මාසයක් පුරා එක තැන එකට ජීවත්වීමෙන් කාගෙ කාගේත් අඩුපාඩුකම් ඇත්නම් කරුණාකර පවසන්නැයි කියා ඔවුනොවුන් කතිකාකොට ගෙන වස් තුන් මාසය නිම කිරීම කර ගන්නේ මෙකී හේතුව අරමුණු කර ගෙනම ය.