Print this Article


සතුට පරම ධනයයි

සතුට පරම ධනයයි

ආරොග්‍ය පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාතී – නිබ්බාණං පරමං සුඛං

සුපින්වතුනි, මේ ගාථාව ඔබ නිතර අසා ඇති එකකි. මෙය ධම්ම පදයේ සුඛ වර්ගයට අයත් ගාථාවකි. මෙහි අරුත මෙය යි.

නිරෝගිකම උතුම් ම ලාභය යි
සතුට පරම ධනය යි
විශ්වාසය උතුම්ම ඤාතීත්වය යි
නිවන පරම සුවය යි

මේ ගාථා පද හතර අතරින් එක් ගාථා පදයක් කෙරෙහි අපගේ අවධානය යොමුකර බලමු. එනම්, සන්තුට්ඨි පරමං ධනං හෙවත් සතුට පරම ධනය යි. මෙම දහම් පදය කාලෝචිත යි. සතුට යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? අප සතුට යන්න විග්‍රහ කරන්නේ කෙසේ ද? මෙහිදී සතුට යන්න දහමේ සඳහන් වන අයුරු විමසා බැලිය යුතු ය. යහපත් යමක් කිරීමෙන්, සිතේ පිනායන ස්වභාවයක් ඇති වන්නේ නම්, එය සතුට කි. සතුට යනු ධනය කි. සතුට ධනයක් වන්නේ කෙසේදැයි විමසා බැලිය යුතු ය.

සන්තුට්ඨි යනු සතුට යි. එනම් එය සොම්නස් සිත කි. සොම්නස යන්නෙහි විරුද්ධ පදය දොම්නස යි. එසේ හෙයින් කිසියම් කෙනෙකුගේ සිත තුළ සොම්නස් සහගත සිතක් ඇති වන්නේ නම් එයම සතුටක් වන්නේ ය. තවදුරටත් සතුට විග්‍රහ කරන විට සුඛ යන වදන අසන්නට ලැබේ. සුඛ යනු සැප යන්නට යොදන පාලි වදන යි. සැප සහ සතුට යනු දෙකක් ය. කෙනෙක් සැපසේ වෙසෙන්නේ ද? හේ සතුට භුක්ති විඳියි. සතුටින් ජීවත්වීම යනු සැපසේ ජීවත්වීම කි.

ඒ අනුව සැප කෙළවර ඇත්තේ සතුට යි. දුක කෙළවර ඇත්තේ අසංතෝසය යි. ඒ අනුව තොස යනු සතුටට නමකී. තොසින් හෙවත් සතුටින් ජීවත්වීම එතරම් පහසු නොවෙයි. සුවසේ ජීවත්වීම සතුට ට කරුණ කි. (සුසුඛං වත ජීවාම) සෝමනස්ස සහගත සිතක් ඇතිව ජීවත්වීමට කුසල් දහම් වර්ධනය කළ යුතු ය. කුසල් දහම් වඩන සිත සෑමවිටම සතුටින් ය. ඒ අනුව මේ මොහොතේ, මේ තත්පරයේ ඔබ සතුටින් ජීවත්විය යුතු ය. අද තිබෙන සතුට හෙට නැතිවෙන්න පුළුවන. ඒත් මේ මොහොතේ ඔබ සතුටින් වාසය කරන්න. මෙහිදී අප ධනය යනු කුමක්දැයි හඳුනාගත යුතු ය. කෙනෙකුට තිබෙන ධන වර්ග හතක් දහමේ සඳහන් වේ. සප්ත ආර්ය ධනය යනු එය යි. ඒ සත මෙසේ ය.

සීල ධනං – සීලවන්ත බව

සද්ධා ධනං – ශ්‍රද්ධාවන්ත බව

හිරි ධනං – පවට ඇති ලජ්ජාව

ඔත්තප්ප ධනං – පවට ඇති භය

චාග ධනං – ත්‍යාගශීලි බව

පඤ්ඤා ධනං - ප්‍රඥාවන්ත බව

සුත ධනං – හොඳ දේ ඇසීම

මේ කරුණු හත කෙනෙකු තුළ තිබේ නම්, නියත වශයෙන් ම ඔහු ධනවතෙකි. ඔහු කිසිදා දුගී දුප්පතෙක් නොවෙයි. දානපති යනු ඔහු ය. ධනපති නොවේ. ඔහු ආධ්‍යාත්මික වශයෙන් ධනවතෙකි. සතුට ධනයක් වන්නේ ද එවිට ය.

එලෙසම අපට යමක් ලැබෙන විට සතුටක් දැනේ. යමක් අපෙන් ගිලිහී යනවිට දුකක් දැනේ. බුදු දහමට අනුව නම් සතුටක් දැනෙන්නේ දෙන විට ය. ලැබෙන විට නොවේ. අත්හැරීම තුළ ඇත්තේ සතුට කි. ලැබෙන විට මමත්වය ඇති වේ. එවිට එය ග්‍රහණය කරගනී. එතැන ඇලීම ඇති වේ. ඇලෙන තැන දුක බෝවේ. එයයි ධර්මය. පෘථග්ජන පුද්ගලයා ලැබීම් නිසා සතුටු වන අතර ලෝකෝත්තර පුද්ගලයා නොමැති නම් ආර්ය පුද්ගලයා අත්හැරීම නිසා සතුටු වේ. පුදුමයි නේද?

ලෞකික පෘථග්ජන ජීවිතයක් ගෙවන අප සතුට සොයන අයුරු විවිධ ය. සාමාන්‍ය ගිහි ජීවිතයක් ගෙවන කෙනෙක් තමාට සැපක් හෝ සතුටක් සොයන්නේ අමුතු අයුරිනි. කෙනෙක් හැකි තරම් විභාග පාස්කර උපාධි සහතික එකතු කර ගැනීමෙන් සතුටක් ලබති. තවත් කෙනෙක් රක්ෂාවක් ලබා සතුටක් ලබති. තවත් අයෙක් කසාදයක් කරගෙන සතුටක් ලබත්. ඉන්පසු දරුවන් ඇතිකරගෙන සතුටක් ලබත්. තවත් විටෙක යානවාහන, ගෙවල් දොරවල් සාදාගෙන සතුටක් ලබති. සමහරු වැඩි වේලාවක් නිදාගෙන සතුටක් ලබති. තවත් සමහරු ස්ත්‍රීන් කෙරෙහි ලොල් වෙති.සුරාව කෙරෙහි ලොල් වෙති. සූදුව කෙරෙහි ලොල් වෙති. තවත් සමහරු අනුන්ට පීඩාකර, හිංසා කර, කොඩිවින , අනවින කිරීම හෝ උගුල් ඇටවීමෙන් සතුට සොයති. නිලතල බලතල වලින් සතුටු වෙති. තවත් අයෙක් මන්ත්‍රී කෙනෙක් ,හෝ ඇමැති කෙනෙකු වීමෙන් සතුට සොයති. ඒ අනුව විවිධ ආශාවලින් තෘප්තිමත් වීම සතුටකි. එසේම අණන සුඛ, ණය නොවී ජිවත්වීම සැපතකි. කෙනෙක් ණය බරින් පීඩිත නම් හේ නිතර ඒ ගැන සිතයි. දුකසේ කල් ගෙවයි. ගිහි ජීවිතවල තිබෙන බැඳීම්, සිඳෙන විටත් සතුට පහව යයි. ගිහිගෙය ගිනි ගොඩ කි. එහි නිතර ගැටුම් නම් ඒ තුළ සතුටක් නැත. තවත් කෙනෙක් අනුන්ට හිංසා පීඩා කරති. ඒ තුළින් ද සැප සොයති.

සුඛකාමානි භූතානි
යෝ දණ්ඩෙන විහිංසති
අත්තනෝ සුඛ මේසානෝ
පෙච්ච සෝ න ලබතේ සුඛං

මෙම ගාථාව ට අනුව තමාට සැප සොයන්නේ, සැප කැමැති සතුනට හිංසා කරන්නේ නම් ඔහු පරලොව සුව නොලබන බව කියැවේ. ඒ අනුව කෙනෙකුට හිංසා පීඩා කිරීමෙන් ලැබෙන සැපතක් හෝ සතුටක් ලොව නැත. එහෙත් සමහරු එසේ කරති.

එහි තවත් පැත්තක් ද තිබේ. ඇතැමෙක් දන් දී සතුටුවෙති. තවත් කෙනෙක් බණ අසා සතුටු වෙති. එසේම සිල් සමාදන් වී සතුට සොයති. සමහරු වන්දනාවේ යති. විනෝද ගමන් යති. තවත් අයෙක් නාටකයක් බලා හෝ සින්දුවක් අසා හෝ චිත්‍රපටයක් බලා හෝ සතුටු වෙති. ජංගම දුරකථනය අතපත ගෑමෙන් හෝ එහි නිමග්න වීමෙන් අප්‍රමාණ සතුටක් ලබති. එය ද සතුටකි. මත්වතුර, මත්ද්‍රව්‍ය ගැනීමෙන් ද ගිහියෝ සතුට සොයති. නමුත් ඒ හැම එකක් ම ගිහි පුහුදුන් පුද්ගලයාට සතුටක් වූවාට, බුදුරදුන් වදාරන්නේ නියම සතුට යනු සසර කතරින් එතෙරව ලබන නිවන් සැපත බව යි.

ලෞකික වශයෙන් අප සොයන සැප පසුපස ඇත්තේ දුකකි. නො එසේ නම් සතුටකි. නමුත් ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන් තුළින් අප ලබන පහස, තාවකාලික වශයෙන් සතුටක් ගෙන දුන්නත් , එය ස්ථිර එකක් නොවේ. එය සතුටක් සේ දැනෙන්නේ ඒ දේ විඳින මොහොතේ පමණි. පසුව ඇත්තේ දුකකි. ඒ අයුරින් නිවන සැපතක් වන්නේ එහි දුකක් නැති නිසා ය. නමුත් එය පංච ඉන්ද්‍රියන්ට ස්පර්ශ නොවන, හසු නොවන එකකි. එය සිතින් (මනසින්) ස්පර්ශ කරන එකකි. එබැවින් නිවන යනු සියල්ල ඉක්මවා යන පරම සුවයකි. ඊට ස්ථානයක් නැත. එනම් නිවනට පුරයක් ද නැත.

එසේ නම් ඔබ මොහොතක් සිතන්න. ඔබ සතුටින් ද සිටින්නේ? සතුට යනු ඇතිකර ගත යුක්තක් මිස, වෙනත් අයෙක් ඇතිකර දෙන්නක් නොවේ. බුදුපියාණන් වහන්සේ බුදුබව ලබාගෙන තම සතුට ප්‍රකාශ කළේ උදාන වාක්‍යයක් තුළිනි. එනම්, අනේක ජාති සංසාරං..යන ප්‍රකාශය තුළිනි. ඒ තුළින් කියැවෙන්නේ තමන් සසරෙහි නැවත නැවත ඉපදෙමින් නැවත නැවත මැරෙමින් ඇවිද්ද බවයි. ඊට මුල් වූයේ තෘෂ්ණාවයි. එහිදී තෘෂ්ණාව නමැති ගෙය සාදන වඩුවා තමන් වහන්සේ සම්පූර්ණයෙන් ම නැති කළ බව ප්‍රකාශිතයි.තෘෂ්ණාව නැති තැන යළි අල්ලා ගැනීමක් ද නැත. එබැවින් නැවත ඉපදීමක් ද නැත. තථාගතයන් වහන්සේ තුළ උපන් සොම්නස හෙවත් සතුට ප්‍රකාශ කළේ එපරිද්දෙනි. මෙයින් පැහැදිලි වන්නේ සතුට යනු තම සිත තුළ උපදින උතුම් සිතිවිල්ලක් වන බවයි.