Print this Article


කුසල චෛතසික

කුසල චෛතසික

ලෝකයේ කොතැනක සිටියත්, කවර ආකාරයකින් ජීවත් වුවත් සෑම මිනිසෙකුගේ ම එකම අපේක්ෂාව වන්නේ හිංසාවක් , පීඩාවක් හා හිරිහැරයක් නැතිව සතුටින් ජීවත් වන්නේ කෙසේ ද යන්න යි.

මෙම ප්‍රාර්ථනාව ඉෂ්ට වීමට නම් අප ජීවත්වන ලෝකය අපට ජීවත්වීමට අවශ්‍ය පරිදි සැකසී තිබිය යුතු ය. ලෝකය යනු අප සහ අප අවට පවතින පරිසරය යි.

මිනිසා ද ස්වභාවධර්මයේ ම කොටසකි. ඔහුට කිසිදු හිරිහැරයකින් තොරව පැවතීමට ස්වභාව ධර්මයේ අනෙක් සියලු ම වස්තූන් අනේකවිධ අයුරින් උපකාර කරයි. ගහ කොළ, සුළඟ, වැස්ස, ඇළ දොළ, ගංගා, වළාකුළු, අව්ව, පින්න, සීතල, උණුසුම, සතා සිවුපාවන් සහ කුරුලු කිරිල්ලියන් ආදීන් ගැන සිතන්න. එකී සකලවිධ වස්තූන් අපගේ කායික මානසික සතුට වෙනුවෙන් කරනු ලබන දේ අසීමිත ය. එහෙත් අවාසනාවන්ත සිද්ධිය නම් මෙකී වස්තූන් කෙරෙහි උසස් මනසක් සහිත යැයි සැලකෙන මිනිසා දයාබර නොවීම හා ඒවාට හිංසා කිරීමයි. මේ නිසා ලෝකය මිනිසා ඇතුඵ සත්ව ප්‍රජාවගේ පැවැත්මට දිනෙන් දින අහිතකර තැනක් වෙමින් පවතී.

ඉහත කී කරුණ බුදුන් වහන්සේ මැනවින් දැන සිටියහ. ලෝකය පාලනය වීමක් අවශ්‍ය බව දත් බුදුන් වහන්සේ ලෝකයේ යහපත් පාලනයකට අවශ්‍ය කරුණු දෙකක් පෙන්වා දුන් හ. සුක්ඛ ලෝකපාලන ධම්ම යනුවෙන් හැඳින්වෙන ඒ කරුණු දෙක නම් ලජ්ජාව හා බියයි. හිරි ඔත්තප්ප යන පද දෙක යටතේ බුදු දහමේ එය විස්තර කෙරේ. මේවා කුසල චෛතසික දෙකකි. අහිරික හෙවත් පවට, වරදට ලජ්ජාවක් නැතිකම හා අනොත්තප්ප හෙවත් ඊට බියක් නැතිකම අකුසල චෛතසික දෙකකි. මේවා කෙනෙකු තුළ පවතින මනෝභාවයන් ය. මෙයින් මෙකල අපට දක්නට ලැබෙන එක් ප්‍රබල කරුණක් වන්නේ වැරැදි කිරීමට ලජ්ජාවක් නැතිකමයි. ලජ්ජාවක් නැත්තේ විශේෂයෙන් ම තිරිසනුන්ට ය. බුදු දහමේ ලජ්ජා නැති මිනිසුන් සමාන කොට ඇත්තේ ගම් ඌරන්ට ය.

ඊට හේතුව ග්‍රාම සූකරයන්ට අසූචි අප්‍රිය හෝ පිළිකුල් නැත්තාක් මෙන් ම ලජ්ජා නැති මිනිසාට ද වැරැදි කිරීමට නැතහොත් පව් කිරීමට ලජ්ජාවක් නොතිබීම යි.