Print this Article


 අනුවණයාට සසර දිගය

 අනුවණයාට සසර දිගය

දීඝා ජාගරතෝ රත්ති
දීඝං සන්තස්ස යෝජනං
දීඝො බාලානං සංසාරෝ
සද්ධම්මං අවිජානනං

නොනිදන්නාට රැය දිග ය.

ගමන් විඩා ඇත්තාට යොදුන දිග ය.

සදහම් නොදන්නා වූ අනුවණයාට, සසර දිග ය

ධර්මකාමී සුපින්වතුනි,

මෙම ගාථාව ධම්මපදයේ බාල වග්ගයට අයත් පළමුවන ගාථා රත්නය යි. පසේනදී කොසොල් මහ රජතුමාට දේශනා කරන ලදී. කොසොල් මහ රජතුමා අධික කම් සැපයෙහි ඇලී ගැලී ගිජුව – නිදිවරාගෙන සිටින විට මධ්‍යම රාත්‍රියේ “දු,ස,න,සො” යන මහා බිහිසුණු අමිහිරි සිවු හඬක් ඇසුණේ ය. රජතුමා ත්‍රාසයට, භීතියට පත්ව තැතිගෙන බිය විය. උදෑසන ම පන්සලට ගොස් එම බිහිසුණු හඬ තමාට ,රටට, රටවැසියන්ට විපතක් පිණිස ඇසුණු හඬක් දැයි, විචාළේ ය.සම්බුදුපියාණන් වහන්සේ එබන්දක් නොව පෙර අයථා ලෙස කම්සැපයෙහි වරදවා යෙදුණ හොත් අපාගතව මහා සැලියක පැසෙන සහල් මෙන් පැසෙන්නා හ. තම තමන් කළ අකුසල කර්මයේ විපාකය ලෝකුඹුනිරයේ උඩට පිවිසෙන විට ගාථාවල මුලකුරු සතර පමණක් සිවු දෙනා වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ කරනවාත් සමඟම නැවතත් මොහොතක් තුළ ලෝකුඹු මහා නිරයේ ගිලෙති. එම කළ අකුසල කර්ම හා සිවු ගාථාවන් මෙසේ බව බුදුරජාණන් වහන්සේ ධර්මානුකූල ව දේශනා කළ සේක.

අපි දිය යුතු ධනය ඇති කල්හි දන් නුදුන්නෙමු. දුසිරිතෙහි හැසිරෙමින් පාප කර්මයෙන්, අකුසලයෙන් ජීවිත ගෙවුවෙමු. සැප සම්පත් ඇති කල්හි එයින් තමන්ට උපකාරයක් පිහිටක් කර නොගතිමු.

සියලු ආකාරයෙන් සැටදහසක් (60,000) වසර ගෙවී ගියහ. නිරයෙහි (ලෝකුඹු) මොහොතක් මොහොතක් පාසා පැසෙන – දැවෙන අපට මෙහි කෙළවරක්, අවසානයක්, නිමාවක් කවර කාලයක ලැබෙයි ද?

යම් කලෙක්හි මා විසින් ද. ඔබ විසින්ද පව්, අකුසල බොහෝ කරන ලද්දේ ද, එම දුක්වල කෙළවරක්, අවසානයක් නැත. යම් හෙයකින් දුක් කෙළවරක් නිමාවක් පෑදේද දුක් කෙළවරක්, අවසානයක් දක්නා නොලැබේ.

මේ නිරයෙන් පහව ගොස් ලෝකුඹු නිරයෙන් මිදී මිනිසත් බව ලබා සුචරිතවත් ව, යහපත් ව අනුශාසනා කරමින් සීලවන්ත ව, ගුණවන්ත ව බොහෝ පින් කුසල් කරන්නෙමි.

මෙම දහම් කරුණු ගෞරවයෙන් වටහාගත් පසේනදී කොසොල් මහ රජතුමා අතිශය බියට පත් වී වැරැදි කම් සැපයේ, ආදීනව විපාකය දැන ගැනීමෙන් පසු කාමුක, ගිජුකම අතහැර දැමී ය.

ඒ නිමිතිකොට නිදි මරන්නාට රාත්‍රිය දිග ය, ගමන් ගොස් වෙහෙසුන අයට යොදුන දිග ය. බණ නොදන්නා වූ අනුවණයන්ට සසර දිග ය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

ඉහත ගාථාවට අනුකූලව දහම් විවරණයක යෙදීමේදී සංසාර ගමන පිළිබඳ ව ආරම්භයක්, මැදක්, අවසානයක් දැකිය නොහැකි ය.

ඉන්දියාවේ ගිජ්ජකූට පර්වතය යනු අතිවිශාල දැවැන්ත පර්වතයකි. කන්දකි, ලෝකයේ කෙතරම් පාට – වර්ණ තිබේ ද? ඒ අතර එක පාටින් පමණක් මියගිය සත්ව භවයන්වල ඇට කටු. ගොඩ ගැසුවොත් එම කන්දට වඩා උස්ව පවතී. එකම සත්වයා ආත්ම පන්සිය වාරයකටත් වඩා උප්පත්ති ගත් බව ධර්මයේ සඳහන් වෙයි. එසේ නම් කෙතරම් දුරක් ඉපදි, ඉපදී, මැරි, මැරී මේ සසර ගමන දුවයි ද, පවතී ද, යනු ප්‍රකාශ කළ නොහැක. එම භවයන්වල ප්‍රතිසන්ධිය (උප්පත්තිය) ආත්ම ගණන සංඛ්‍යාත්මකව (ඉලක්කමකට) සීමා කළ නොහැක. මහා සයුර , මහපොළොව, මහාමේරු පර්වතය පරාජය කරන්න තරම් සසර ගමන දිග ය. විශාල ය. “සිය දරුවා මළ අවස්ථාවේ දී කිසාගෝතමියට ද නොමළ ගෙයකින් අබ සොයා ගැනීමට බැරිවිය. තව ද “නඛසිකා” සූත්‍රයේ දී බුදුන් වහන්සේ මහපොළොවෙන් පස් ස්වල්පයක්, නිය පිටට රැගෙන භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්න කළා. මගේ නියපිට තිබෙන පස් ද වැඩි මහ පොළොවේ තිබෙන පස් ද වැඩි කියා. "නියපිට පස් අල්පයි , අඩුයි. මහ පොළොවේ පස් අතිවිශාල වෙයි. බුදුන් වහන්ස" සසර ගමනේ දී සුගතියක, යහපත් ස්ථානයක ප්‍රතිසන්ධිය ලබන්නේ නියපිට ,පස් ප්‍රමාණයට යි. මහ පොළොවේ පස්මෙන් සතර අපායේ (නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර) උපදිනවා. මිනිසත් බවක් ලැබුවත් කුසල්වල ලාමක බව නිසා අඳ, ගොළු, බිහිරි,අංගවිකල ජීවිත ලබනවා. ආයුෂ කෙටි වෙනවා.

මෙම කරුණු ඔස්සේ අනුවණයාට, බාලයාට සසර දිග බව පෙනී යයි. එයට හේතුව පස් පව්, දස අකුසල් සිදු කිරීම තුළ නිමක් කෙළවරක් කරන්න බැරි අනන්ත කටුක අපාදුක් නියතයි. සංසාර ගමනේ අතරමන් වී මංමුළාවූ පිරිසක් වෙති. දුකක් මොහොතක් මොහොතක් පාසාම විඳවයි.

මිථ්‍යා දෘෂ්ඨියට පත්වූ අයට, බුදුරජාණන් වහන්සේගේ සදහම් දේශනාවේ මෙසේ සඳහන් වෙයි.

මේ ධර්මය නුවණැත්තන්ට ය. අනුවණයන්ට නොවේ ය

දුර ගමන් කරන සංසාර ගමන හැකිතාක් කෙටි කර ගැනීමට දාන, සීල, භාවනා යන පින්කම් ප්‍රගුණ කිරීමත් විශේෂයෙන් භාවනා වැඩීමත්, සද්ධර්මය ශ්‍රවණය කිරීමත් ඉතාමත් වැදගති. උපකාර වෙති. “දීඝො බාලානං සංසාරෝ” බාලයාට, අනුවණයාට සසර දිග ය

එම නිසා භව කතරේ සැරිසරණ මිනිස් – සත්ව ජීවිතවල උප්පත්තිය කෙටි කර ගැනීමට සදහම් මග ඉතාමත් යෝග්‍ය වේ. දහම් මාවතේ ගමන් කිරීම , ඒ අනුව කටයුතු කිරීම” ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” ධර්මය විසින්ම ආරක්ෂා කරයි

එම නිසා පින්බර මව්වරුනි, පියවරුනි, බෝසත් පුතුනි, දූදරුවනි, සසර ගමන මහා දිග ය. නිමාවක් සෙවීම ඉතාමත් අපහසු ය. දුගතියට, ලෝකුඹු නිරයට වැටුණොත් ගොඩ ඒම අපහසු ය. දුගතිය, අපාය නොදකින මාවතක් සකස් කරගෙන ආමිස පූජා, ප්‍රතිපත්ති පූජාවන් සිදුකරගෙන සසර කෙටි කරන දහම් මාර්ගයට පිවිසෙමු.