Print this Article


මිලින්ද ප්‍රශ්නය 12: මිළිඳු රජුගේ දාර්ශනික ප්‍රශ්න

මිලින්ද ප්‍රශ්නය 12:

මිළිඳු රජුගේ දාර්ශනික ප්‍රශ්න

නාගසේන මහරහතන් වහන්සේ මිළිඳු රජතුමාට රමණීය උපමා ඇසුරු කරමින් ඉතා ගැඹුරු ධර්මයන් විස්තර කරන අයුරු මිළිඳු රාජ ප්‍රශ්න ග්‍රන්ථයේ දී ඔබට මුණ ගැසේ.

අප කළයුත්තේ එම උපමාවන් ද ඇසුරු කරගෙන එම දහම් කරුණුවල අර්ථ වටහා ගැනීමට උත්සාහවත් වීම යි. එය අපට ධර්ම මාර්ගයේ දියුණුවට බොහෝ ප්‍රයෝජනවත් වන්නේ ය.

මිලින්ද රජතුමා නාගසේනයන් වහන්සේගෙන් මෙසේ ද අසන ලදී.

”ස්වාමීනි, නාගසේනයන් වහන්ස, සැප වේදනාව කුසල් හෝ අකුසල් හෝ කුසල් අකුසල් නො වන හෝ දෙයක් වන්නේ ද?”

”මහරජාණෙනි, සැප වේදනාව කුසල් වෙන අවස්ථා තිබේ. අකුසල් වෙන අවස්ථා ද තිබේ. කුසල් අකුසල් නො වන අවස්ථා ද තිබේ.”

”ඉදින් ස්වාමිනී, කුසල් නම් දුකක් විය නො හැකි යි. දුකක් නම් කුසල් විය නො හැකියි. කුසලය දුකක් වශයෙන් නූපදී.

”මහරජාණෙනි, මේ ගැන කුමක් ද සිතන්නේ? පුරුෂයෙකු අතෙහි රත් වූ යකඩ ගුළියක් තිබේ. දෙවෙනි අතෙහි සීතල අයිස් කුට්ිටියක් තිබේ. කිම? මහරජාණෙනි, දෙකෙන් ම අත් දැවෙන්නේ ද?”

”එසේය ස්වාමිනි, දෙකෙන් ම අත් දැවෙයි.

කිම? මහරජාණෙනි, ඒ දෙකම උණුසුම් ද?

කිම? මහරජාණෙනි, ඒ දෙකම සීතල ද?

නැත ස්වාමිනි.

ඉදින් රත් වූ දෙය පමණක් දවනවා නම් ඔබේ තර්කය වැරැදි බව තේරුම් ගන්න. ඒ දෙකම රත් වූ දේ් නොවේ. උණුසුම් දෙයින් පමණක් දැවීම උපදින්නේ නැත. ඉදින් සීතල වූ දෙය පමණක් දවනවා නම් ඒ දෙකම සීතලත් නොවෙයි. සීතල දෙයින් පමණක් දැවීම උපදින්නේ නැත. මහරජාණෙනි, ඒ දෙකෙන් ම දැවීම ඇති වන්නේ මක් නිසාද? ඒ දෙකම උණුසුම් දේවල් නොවේ. ඒ දෙකම සීතල දේවල් ද නොවේ. එකක් උණුසුම්. අනික සීතල යි. නමුත් දෙකෙන් ම දැවීම සිදුවෙයි. එකකින් පමණක් සිදුවන්නේ නොවෙයි.

”අනේ ස්වාමිනි, ඔබ වහන්සේ සමඟ කතාබහේ යෙදෙන්නට මම නම් දක්ෂ නො වෙමි. මෙහි අර්ථය ලිහා දෙන්නේ නම් මැනවි.”

එවිට තෙරුන් වහන්සේ ගැඹුරු ධර්ම කතාවෙන් මිළිඳු රජු දැනූම්වත් කළ සේක.

”මහරජාණෙනි, ගෘහ වාසයට බැඳුණු සොම්නම් වේදනා හයකි. නෙක්ඛම්මයෙන් යුතු සොම්නස් වේදනා හයකි. ගෘහ වාසයට බැඳුණු සොම්නස් වේදනා හයකි. නෙක්ඛම්මයෙන් යුතු සොම්නස් වේදනා හයකි. ගෘහ වාසයට බැඳුණු උපේක්ෂා වේදනා හයකි. නෙක්ඛම්මයෙන් යුතු උපේක්ෂා වේදනා හයකි.

මේ සය වැදෑරුම් වේදනා හය අතීත වශයෙන් ගත් විට විඳීම් තිස් හයකි. අනාගත වශයෙන් ගත් විටත් විඳීම් තිස් හයකි. වර්තමානයෙහි ගත් විටත් විඳීම් තිස් හයකි. මේ සියලු වේදනා එකට ගළපා, එකට පිඬු කොට ගත් විට වේදනා එකසිය අටකි. (සළායතන විභංග සූත්‍රය – මජ්ක්‍ධිම නිකාය) එවිට මිළිඳු රජු ස්වාමිනි, ඔබ වහන්සේ ඉතා දක්ෂවන සේක යැයි කී හ.

ධර්මයන්ගේ පැවැත්ම

මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේ ය.

“ස්වාමීනි , නාගසේනයන් වහන්ස, යමෙක් උපදියි ද? ඒ උපදින්නේ ඔහු ම ද? නැතිනම් වෙන කෙනෙක් ද? තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ඔහුත් නොවෙයි. වෙන කෙනෙකුත් නොවෙයි” “උපමාවක් වදාළ මැනැව“ “මහරජාණෙනි, මේ ගැන කුමක් ද සිතන්නේ? යම් කලෙක ඔබ ළදරුවෙක් හැටියට, කුඩා දරුවෙක් හැටියට , බොළඳ දරුවෙක් හැටියට උඩුබැල්ලෙන් නිදාගත් කාලයක් තිබුණේ නො වේද? දැන් මේ උස මහත් ව සිටින්නේ ඔහු ම ද? වෙන කෙනෙක් ද?

“නෑ ස්වාමීනි, ඒ ළදරු, බොළඳ, උඩුබැල්ලෙන් නිදාගත් දරුවා වෙන කෙනෙකි. දැන් උස මහත් ව සිටින මම වෙන කෙනෙක් වෙමි”.

”මහරජාණෙනි, එසේ නම් ඒ මෑණියනුත් නැත්තේ ය. ඒ පියාණනුත් නැත්තේ ය. ආචාර්යවරුනුත් නැත්තේ ය. ශිල්පත් නැත්තේ ය. සීලාදී ගුණධර්මත් නැත්තේ ය. ඤාණයත් නැත්තේ ය. මහරජාණෙනි, කිම? කළල බීජය තිබුණු ඒ මවු වෙන කෙනෙකු විය යුතු ය. තරමක් වැඩුනු කළලය තිබුණු ඒ මව තවත් කෙනෙකු විය යුතු ය. ගර්භයෙහි මස් වැදැල්ල හටගත්තේ යම් මවකගේ කුසක නම්, ඒ මව් වෙන කෙනෙකු විය යුතුය.වැඩුණු දරුවා ඇති ඒ මව වෙන කෙනෙකු විය යුතු ය. ශිල්ප ඉගෙන ගත් දරුවා වෙන කෙනෙකු විය යුතු ය. ශිල්ප ඉගැන්වූ ගුරුවරයා වෙන කෙනෙකු විය යුතු ය. එමෙන් ම පව් කරන තැනැත්තා වෙන කෙනෙකු විය යුතු ය. ඒ බවට දඬුවම් පිණිස අත් පා සිඳිණු ලබන්නා වෙන කෙනෙකු විය යුතු ය.” “නැත, ස්වාමීනි, ඔය අයුරින් ඔබ වහන්සේ කරුණු පවසද්දී මම කුමක් නම් කියන්න ද?

තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක.

මහරජාණෙනි, මම ද කුඩා දරුවෙක ªව, බිලිඳෙකු ව, උඩුබැල්ලෙන් නිදාගත් කාලයක් තිබුණි. ඒ මම මෑ දැන් ලොකු මහත් ව සිටිමි. මේ කය ඇසුරු කරගෙනමයි ඒ සියල්ල එකට සංග්‍රහ වූයේ.”

“ස්වාමීනි, උපමාවක් වදාළ මැනැව.”

“මහරජාණෙනි, කිසියම් පුරුෂයෙක් පහනක් දැල්වුවහොත් කිම, ඒ පහන මුළු රාත්‍රිය පුරා දැල්වෙනවා ද?

“එසේය, ස්වාමීනි, එය මුළු රාත්‍රිය පුරා දැල්වෙයි.”

“කිම? මහරජාණෙනි, පෙර යාමයෙහි වූ යම් ගිනි සිලක් ඇද්ද,මධ්‍යම යාමයේ වූ ගිනිසිලත් එයම ද? “නැත, ස්වාමීනි,

”මධ්‍යම යාමයෙහි වූ යම් ගිනිසිලක් ඇද්ද, ඒ ගිනිසිල ම ද පශ්චිම යාමයෙහිත් තිබුණේ? “නැත, ස්වාමීනි”.

“කිම? මහරජාණෙනි, පෙර යාමයෙහි තිබුණේ වෙන පහනක් ද? මධ්‍යම යාමයේ තිබුණේ තවත් පහනක් ද? පශ්චිම යාමයෙහි තිබුණේ වෙනත් පහනක් ද? “ නැත, ස්වාමීනි ඒ පහන නිසාමයි මුළු රාත්‍රිය ම දැල්වුණෙත්.”

“මහරජාණෙනි, මෙම ධර්මයන්ගේ පැවැත්මෙහි ගැළපීමක් තිබේ. අනිකක් උපදියි. අනිකක් නිරුද්ධ වෙයි. පෙර, පසු වීමක් නැතුව ගැළපී යයි. ඒ හේතුව නිසා ඔහුත් නොවෙයි. වෙන කෙනෙකුත් නොවෙයි. කලින් විඤ්ඤාණය පසු විඤ්ඤාණයට එක්වී යයි.”

“ස්වාමීනි උපමාවක් වදාළ මැනැව“

“මහරජාණෙනි, එය මෙවැනි දෙයකි. කිරි දොවා කාලයක් ගිය විට එය දී කිරි බවට පත්වෙයි. දී කිරෙන් වෙඬරු හැදෙයි වෙඬරුවෙන් ගිතෙල් හැදෙයි”. මහරජාණෙනි, යමෙක් මෙසේ පැවසුවහොත් ‘කිරි වූයේ යමෙක් ද? දී කිරි වූයේ ද එය ම ය. දී කිරි වුයේ යමෙක් ද? වෙඬරු වුයේ ද එය ම ය. වෙඬරු වූයේ යමෙක් ද? ගිතෙල් වූයේ එය ම ය’ කියා. මහරජාණෙනි. එවිට ඒ තනැත්තා පවසන්නේ හරි දෙයක් නොවෙයි ද?

“ස්වාමීනි ඒ කිරි නිසා ම යි හැම එකක් ම හටගත්තේ”

“මහරජාණෙනි, ඔය විදිහමයි. මෙම ධර්මයන්ගේ පැවැත්මෙහි ගැළපීමක් තිබේ. අනිකක් උපදියි. අනිකක් නිරුද්ධ වෙයි. පෙර පසු වීමක් නැතුව ගැලපී යයි. ඒ හේතුව නිසා ඔහුත් නොවෙයි, වෙන කෙනෙකුත් නොවෙයි. කලින් විඤ්ඤාණය පසු විඤ්ඤාණයට එක් වී යයි.”

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක” යැයි මිළිඳු රජු පැවසී ය.