Print this Article


ත්‍රිිපිටක දහම-14: මමත්වයේ ස්වභාවය

ත්‍රිපිටක දහම-14:

මමත්වයේ ස්වභාවය

අපට පේනවා අඹ ගස කියන නිදසුන ගත්විට, දැනුමක් ලෙස තීරණය කළේ, අඹ ගස කියන දේ පිළිබඳ ව නිශ්චය කළේ, අප සෑම වේලාවක ම පෙර රැස්කරගත් ටික තුළ යි. එහෙමනම්, අපට අලුතෙන් ම යි වර්ණ සටහනක් ඇසට පතිත වෙන්නේ. මොකද? එක ආලෝක සටහනක් අපට දෙපාරක් ඇසට එන්නේ නැහැනේ.

පෙර පැමිණි ආලෝක සටහන නැවත එන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අලුතෙන් ම පාට ටිකක් එන තැනක අප හිතින් දැනගන්නවා, පෙර තිබුණු අඹ ගසම තාම තියෙන්නේ යනුවෙන්. එවිට අපට වර්ණ සටහනේ පෙර තිබුණු අඹ ගස ගෙනාවේ නැතිනම්, පෙර තිබුණු අඹ ගස අයිති කොහෙටද?

ඇත්තටම අප කලින් තිබුණු අඹ ගස කියන කාරණාව අප ඇතිකරගන්නේ, ඒ පිළිබඳ ව අප සිතිවිලි උපදවන්නේ අප එය රැස් කරගත්කම නිස යි. ඒ නිසා ඔබට අද යම් කිසි විදිහක ලෝකේ යම් තාක් දේ සිතන්නට පුළුවන් නම්, දූ දරුවෝ , ගේ දොර, යාන වාහන ආදිය නොයෙකුත් නිමිති, නොයෙකුත් දේ පිළිබඳ ව ඔබට කල්පනා කරන්නට පුළුවන් නම්, ඒ හැම දේකට ම මූලික ම ප්‍රධානම හේතුව වන්නේ අප නිමිති, අනු නිමිති වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී දේ රැස් කරගන්නා කමට යි. එය තවත් විදිහකින් සඳහන් කළොත්, අප ඇති බවට රැස්කරගෙන තියෙනවා. මේ රැස්කරගෙන තියෙනකම නිසා ම අප සෑම වේලාවක ම තණ්හා කරනවා කියන්නේ රැස්කරගත් දේ අනුව යි. ඒ නිසා සමුදය තේරුම් ගන්නා විට අපට ආයූහනාර්ථයෙන් තේරුම් ගන්නා දේ අප තේරුම් ගත යුතු දෙයක් බවට පත් වෙනවා.

අඹ ගස දෙස බලා අඹ ගස තියෙනවා යනුවෙන් සිතීම පමණක් නො වෙයි, මෙතැන තියෙන බරපතළම ප්‍රශ්නය බවට පත් වෙන්නේ. හොඳයි අප අඹ ගසක් තියෙනවා යනුවෙන් සිතන්නට පුළුවන්. ඉන්පසුව අප අඹ ගස දෙස බලා නැවත අනෙක් පැත්ත බලන විට, අපට පේනවා පාරේ යන මනුස්සයෙක් ව. එවිට අප හිතනවා, මනුස්සයෙකුත් පාරේ යනවා යනුවෙන්. එවිට අඹ ගස දැකපු මා තමයි පාරේ යන මනුස්සයා දුටුවෙත්. ඒ වගේම අපට පේනවා වාහනයකුත් යනවා. අඹ ගසත්, මනුස්සයාත් දැකපු මා තමයි පාරේ යන වාහනෙත් දකින්නේ. ඊටපසුව අඹ ගසත්, මනුස්සයාත්, පාරේ යන වාහනයත් දැකපු මා තමයි, මෙලෙස කල්පනා කරන්නේ. අපට දැන් පුද්ගලභාවය කියන එක ඇතිවෙලා තියෙනවා, මෙන්න මේ ටික ඔස්සේ. එනම් මමත්වය කියන දේ ගොඩනැඟිලා තියෙනවා අපට තමන්ගේ පැත්තෙන් සෑම වේලාවක ම. එනම්, ලොකුම ගැටලුව වී තිබෙන්නේ අඹ ගස, පාරේ යන මනුස්සයා හෝ වාහනය තිබීම නො වෙයි. ලොකුම ගැටලුව ඇත්තටම මේ ටික ඇති තැනක පුද්ගලභාවය , මේ ටික ඇති තැනක මමත්වය ගොඩ නැඟිම යි. අප ඇත්තටම ආසා කරන්නේ, අප ඇත්තටම තණ්හා කරන්නේ, ඔය තියෙන භෞතික දෙයට නො වෙයි. අප ඇත්තටම තණ්හා කරන්නේ මේ පැත්තෙන් තියෙන මමත්වය කියන දෙයට. මට තමයි, තණ්හා කරන්නේ. යම් අරමුණක් උපදින කොට, මට සිතට සුවයක්, සොම්නසක් උපදිනවා නම්, ඒ උපදින සුව, සොම්නස කියන දේ තුළ අප තණ්හා කරන්නේ, ඇළෙන්නේ, බැඳෙන්නේ මමත්වය තුළ උපදින සුව, සොම්නස කියන වේදනාවට මිස තියෙන දෙයට නො වෙයි.

අප ලෝකය තුළ කතා කරයි, දරුවට තමයි ආදරේ යනුවෙන්. හැබැයි, ඔබ යථාර්ථවාදී ව යම් විදිහකට මෙනෙහි කර බැලුවොත්, ඔබ ඇත්තටම ආදරය කරන්නේ, දරුවට ද? එහෙම නැතිනම් ඔබ ඇත්තටම ආදරය කරන්නේ දරුවා කියන දේ පිළිබඳ ව හදාගත්, දරුවා කියන දේ පිළිබඳව සකස්කරගත්, තමන්ගේ සිත පැත්තෙන් සකස්වන ස්කන්ධ ධර්මතා ටිකකට ද? නැතිනම් ඒ රූපය දරුවා කොට පෙන්වන ඒ මතකයට ද? යනුවෙන් ඔබ බැලුවොත්, ඔබ ඇත්තටම ආදරය කර තිබෙන්නේ දරුවා වන රූපයකට නො වෙයි, ඒ රූපය දරුවා කොට පෙන්වන සිතේ ඇති කෙලෙස් ටිකකට යි. මොකද? ඇත්තටම ඔබට රූපය පැමිණ කිව්වේ නැහැනේ, මම දරුවා ගේනවා, මේ පුංචි කාලේ සිට හදාගත්ත දේ යනුවෙන්. එය රූපයට අයිති නැහැ කවදාවත්. එය රූපයට අයිති නම්, බැරිවෙලාවත් ඒ දරුවා , දරුවා වුණේ ඔබට විතරක් නො වෙයි, ඒ රූපය දකින හැමෝට ම ඒ රූපය දරුවා වෙන්න ඕනේ. නමුත් ඒ රූපය දකින සැමටම දරුවා වෙන්නේ නැහැනේ. ඔබට පමණක් දරුවා වෙන්නේ කුමක් නිසා ද?