Print this Article


අරමුණට සකස්වන මනස

අරමුණට සකස්වන මනස

රාත්‍රී නින්දෙන් පසු, උදෑසන පිබිදී යහපත් අරමුණක් මූලික ලෙස පෙරමුණට රැගෙන අද පටන් තම අරමුණ මෙනෙහි කරන අදහස තමාගේ සිතිවිලි අතරට එක්කර ගනිමියි යන අදිටන ඇති කර ගන්න. එසේ උදෑසන විනාඩි දහයක්වත් යෙදවිය යුත්තේ තමාගේ ඒකායන අරමුණට යෑමෙන් ඇතිවන ප්‍රතිඵලය මෙනෙහි කිරීමට ය. අරමුණට යා නොහැකි වුවහොත් ඇතිවන ආදීනවත් හොඳින් මෙනෙහි කළ යුතු වේ.

මුලින් මුලින් ඒ අරමුණ මෙනෙහි කිරීමට කාලයක් ගත විය හැකි ය. ඊට පසුව ඇති වන්නේ හැඟීමක් ජනිත කර ගැනීම පමණි. හැඟීම මුලින් නොමැති හෙයින් අරමුණ මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය වේ. පසු කාලයක දී එය කෙටි වේලාවකින් මෙනෙහි කිරීමට හැකි වේ. ඒ අයුරෙන් එක දිගට දින ගණනක් මෙනෙහි කරන විට එය පුරුද්දක් බවට පත්වේ. අනතුරුව උදෑසන පිබිදුනු ගමන් තේ කෝප්පය බීමටත් පෙර ඒ යහපත් අරමුණ මෙනෙහි කිරීම සිදු වේ. නිදියහනෙන් නැගිටි මොහොතෙම මගේ අරමුණට ගමන් කරනවා යන තිර අධිටන ඇති කර ගත යුතු යි. තමා ධර්මය අවබෝධ කර ගැනීමෙන් ලබන ආනිශංස මෙනෙහි කළ යුතු යි. ඒ ඒ අරමුණට අදාළ ව ආනිශංස මෙනෙහි කළ යුතු යි. ලෞකික අරමුණුවල යෙදී සිටියත්, එය ද මෙනෙහි කළ යුතු යි.

එය මෙනෙහි කිරීම අමතක වීමට ඉඩ ඇති හෙයින් එම මෙනෙහි කිරීම සඳහා අප දෛනික ව සටහනක් අනුගමනය කළ යුතු වේ. සමහර විට දින සටහන් පොතක් පාවිච්චි කරන්නේ නම් එදිනෙදා ඇතිවන ක්‍රියාකාරකම් එහි සටහන් කර තබා ගත හැකි වේ.

ලෞකික ජීවිතයේ දී දරුවෙක් තම අධ්‍යාපනය දියුණු කර ගැනීම සඳහා දිනකට ඉංගී‍්‍රසි භාෂාවේ වචන දෙකක් පාඩම් කරගත හැකි නම් එය ස්ථිර කර ගැනීමට දිනපොතෙහි සටහන් කර ගත හැකි වේ. ඒ සඳහා අමුතුවෙන් වේලාවක් අවශ්‍ය නොවේ. අනෙකුත් දෛනික කටයුතු කරන අතරතුර එය කළ හැකි වේ.

එමෙන් තමාගේ අරමුණු නිසි අයුරෙන් මෙනෙහි කළේ නම්, දෛනික සටහනෙහි එය ඇතුළත් කර ගත යුතු ය. ජීවිතයට සැලසුමක් අවශ්‍යය. එබැවින් ජීවිතයෙහි සැලසුම් ඇති අය ගෙවී ගිය දිනය පිළිබඳ ආපස්සට හැරී බලයි. තමා අද දිනය කෙසේ ගත කළේ දැයි සිතන අයෙකු අලසයකු නොවේ. ඉගෙන ගන්නා දරුවකුට පමණක් නොව වැඩිහිටි පිරිසට ද එය යම් පාඩමක් ලෙස ගෙන ජීවිතයට අලුතෙන් යමක් එකතු කර ගත හැකි වේ.

මැටි ගුලියක් බිම තැබීම කළහොත් එය එම ස්ථානයේ ම පවතියි. යම් අයෙකු පුටුවක අසුන් ගතහොත් එලෙස ම සිටියි. සමහර අයෙකුගේ ජීවිතය ද එසේ විය හැකියි. ඇතැම් විට තරුණ දරුවන් පවා එසේ කාලය ගත කරනු ලැබේ. සමහර විට යම් අයෙකු සෘජු ඉරියව්වක ගත කරනු නොලැබේ. ජීවිතය තුළින් කුසීතකම ඉවත් කරගත යුතු යි. ජීවිතය මැටි ගුලියක් කර නොගත යුතු යි. පොළා පනින ජීවිතයක්, රබර් බෝලයක් වැනි විය යුතු යි. උදෑසනම අරමුණ මෙනෙහි කරමින් අරමුණුගත වන තැනැත්තා නැතහොත් අරමුණ තීව්‍රව සකස් කර ගත් තැනැත්තා ඉතාම කාර්යක්ෂමයි. ඒ කාර්යක්ෂම භාවය ඒ තැනැත්තාට ඇති වූයේ ඔහුගේ මනසිනි. අභ්‍යන්තරයෙන් කුසීතකම් නොපැමිණෙන විට' කය ඉතා සැහැල්ලු වේ. හිත කාර්යක්ෂම නම් අනවශ්‍ය ලෙස කයෙන් තරබාරු ගති ඇති නොවේ. ස්ථුල වුවත් කාර්යක්ෂම වේ. කර්මානුරූප ව ස්ථුල වන අය ද වේ. හිත කාර්යක්ෂම නම් ඔහු රෝගියෙකු නොවේ. ජීවිතයේ ඈලි මෑලිකම් ඇති නොවේ.

රෝග ගැන හිතන විට නිවසක විවාහ මංගල උත්සවයක් සූදානම් කළා යැයි සිතමු. ඒ සඳහා දින ළංවන විට මහන්සි වන කාල සීමාව තුළ අදාළ නිවසෙහි ඇතැම්විට මෑණියන්ට කිසියම් හෝ රෝගාබාධ ඇති වෙනවා ද? ඒ කාලය තුළ වෙනත් දෑ කිරීමට කාලය නොලැබෙන නිසා පමණක් නොව අදාළ කටයුත්තට ඇති වන බිය නිසා ද අසනීප දුරු වී යයි. කාර්යක්ෂම මනුෂ්‍යයන්ට අසනීප, රෝගාබාධ ඉතා අවම යි. ඊට හේතුව නැතහොත් රෝගාබාධවලට හිත යොමු කිරීමට වෙලාවක් උදා නොවේ. ඒ නිසා ජීවිතය ලෙඩ ගොඩක් නොවනුයේ ඊට වැය කිරීමට කාලයක් නොඑළඹවීම නිසයි. ලෙඩ ගොඩක් වනුයේ ක්‍රියාවක් නොඑළඹෙන විටයි. කෙලෙස්වලට හිත යොමු වනුයේ ද යම් ක්‍රියාවක නොඑළඹී සිටින විටය.

නිකරුණේ සිටින විට හිත කෙලෙස් සොයා ගමන් කරනු ලැබේ. උදෑසන පටන් කර්යක්ෂමව යම් කටයුත්තක නියැළෙනවා නම්, අනුන් වෙනුවෙන් හෝ එබඳු අයට කෙලෙස් උපදින්නේ ඉතා අවම වශයෙනි. තමාගේ හිත අභිප්‍රේරණය කර ගත යුතු යි. කාර්යක්ෂම දරුවෙක් නම් මලක් වගේ වෙයි. එබඳු කාර්යක්ෂම දරුවන් කෙරෙහි මනා ප්‍රසාදයක් ඇති වේ. බාධා පැමිණෙන විට එම බාධා අභිබවා යාමට පුරුදු වේ. සමහර අය බාධා පැමිණෙන විට මගදී නතර වේ. තමාගේ අරමුණට යාමට තම මනස සකස් කරගත යුතු යි.