Print this Article


පුද බිමක අසිරිය: නෙත පිනවන හිත සනසන වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය

පුද බිමක අසිරිය:

නෙත පිනවන හිත සනසන වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය

" විහාර මන්දිරය, පිටමාලය, ඇතුල් මාලය යන මාල දෙකකින් යුක්ත ය. මකර තොරණ සහිත දොරින් ඇතුළු වන ඇතුල් මාලයේ ගන්ධ කුටියෙහි හිටි පිළිම වහන්සේ, ඉඳී පිළිම වහන්සේ, ඔත් පිළිම වහන්සේ වශයෙන් ඉරියව් තුනකින් ඉදි කළ බුදු පිළිම වහන්සේලා වැඩ සිටී."

ස්‍යාමෝපාලි වංශික මල්වතු මහා විහාර පාර්ශවයේ විංශත් වාර්ගික කාරක මහා සංඝ සභාවේ මහා නායක ධූරන්ධර ව වැඩ විසූ අති පූජ්‍ය පරකුඹුරේ ශ්‍රී සරණංකර විපස්ස්‍යාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ, විංශත් වාර්ගික කාරක සංඝ සභාවෙන් 1857 දෙසැම්බර් මස 28 වන දින කොළඹ දිසාවේ, ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූහ.

නමුත් එවකට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් විසින්, 1830 දී රජය සතු ගොරකාන කන්දේ අක්කර 8 ක් පමණ වූ භූමිභාගයකින් පිදුම් ලැබුවා වූ ද, ශික්ෂාකාමී උගත් ශාසනමාමක, ශිෂ්‍ය පරපුරක් මෙන්ම විහාරාරාම පද්ධතියක් පිහිටුවා වාද්දුව මහා විහාර සංඝ පරම්පරාවක් බිහිකළ, පූජ්‍යපාද වාද්දුවේ ධම්මානන්ද මාහිමිපාණන් විසින් තම කේන්ද්‍රස්ථානය වශයෙන් ස්ථාපිත කරන ලද, මෙම විහාරස්ථානය ගාලුපාර වාද්දුව මංසන්ධියෙන් මොරොන්තුඩුව පාර ඔස්සේ සැතපුම් භාගයක් (1/2) පමණ ගොස් මහා විහාර පාරට හැරී මඳ දුරක් ගිය විට හමු වේ.

මහා විහාරීය සඟ පරපුර සංක්ෂිප්තයෙන් මෙසේ ය. වැලිවිට අසරණ සරණ සරණංකර මහා ස්වාමීන් වහන්සේ, වේහැල්ලේ ධම්ම දින්න නායක ස්වාමීන් වහන්සේ, වෑව ඉන්ද සාර නායක ස්වාමීන් වහන්සේ, බෝධි මළුවේ විසුද්ධාරාම නායක ස්වාමීන් වහන්සේ, මහබෙන්තර නායක ස්වාමීන් වහන්සේ

වාද්දුවේ ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ වයස අවුරුදු 14 දී (ක්‍රි.ව 1798) දී ප්‍රවුජ්‍යාව ලත් සේක.

1807 දී උපසම්පදාව ලැබූ සේක. මහඟු ශාසනික මෙහෙවරක යෙදුණු අප නායක ස්වාමීන් වහන්සේ තම ගම් පෙදෙසෙහි (වාද්දුව මොල්ලිගොඩ ග්‍රාමයෙහි) මෙම විහාරස්ථානය පිහිටුවු සේක. දවටගහ වත්ත පන්සල, තිත්තවල පන්සල යන නම් වලින් විවිධ කාලයන් හි දී හඳුන්වනු ලැබූ මෙම පන්සල වාද්දුව මොල්ලිගොඩ ගම ඉමේ පිහිටීම සලකා වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය වශයෙන් වත්මන් හී භාවිත වේ.

පැවති විහාර ගෙය අබලන්ව ගරාවැටීම හේතුවෙන් 1872 වර්ෂයේ දී ඉදිකිරීම ආරම්භකර, 1896 වර්ෂයේ දී විවෘත කරන ලද නව විහාර මන්දිරය මහත් අභිමානයෙන් යුතු නිර්මාණයකි.

“විහාරය බැලු සත - ඔහුට පමණයි ලැබූ මෙපල නෙත”


ශාස්ත්‍රපති
බෝපිටියේ ධම්මිස්සර හිමි

විහාර මන්දිරය, පිටමාලය, ඇතුල් මාලය යන මාල දෙකකින් යුක්ත ය. මකර තොරණ සහිත දොරින් ඇතුළු වන ඇතුල් මාලයේ ගන්ධ කුටියෙහි හිටි පිළිම වහන්සේ, ඉඳී පිළිම වහන්සේ, ඔත් පිළිම වහන්සේ වශයෙන් ඉරියව් තුනකින් ඉදි කළ බුදු පිළිම වහන්සේලා වැඩ සිටී. බිත්තියේ විසිතුරු සිතුවම් ආදිය ඇඳ ඇතිවා මෙන් ම, උඩු වියනේ දොළොස් රාශි, සක්විති නැකැත් සිතුවම් ඇඳ ඇත. අගනා පිඟන් ගඩොලින් බිම අතුරා ඇත.

පිටමාලයෙහි, නාථ (මෛත්‍රී බෝසත්), සමන් විභීෂණ, මහා බ්‍රහ්ම, කතරගම, සූනියම්, ඊශ්වර දිව්‍යරාජයාණන්ගේ ප්‍රතිමා ඉදිකර ඇති අතර විෂ්ණු දිව්‍යරාජයා වෙනුවෙන් විශේෂ දේවාල කුටියක් පිහිටුවා ඇත.

ගඳ කිළිය වටා තිබෙන පිටමාලයෙහි, බුද්ධ චරිතය හා සම්බන්ධ විශේෂ අවස්ථා දැක්වෙන පිළිරූ දර්ශනීය ලෙස නිර්මාණය කර ඇති අතර අවසාන කෙළවරෙහි පිරිනිවන් මංචකය දැක්වේ.

දොරවල් හී මකර තොරණ ද, බිත්ති හා වියන ද, දැකුම්කළු බෞද්ධ සිතුවම් වලින්, මල් වැලින් සමන්විත ය.

බෝධිරාජයාණන් වහන්සේ වියපත්ව අභාවය ට පත් වීමෙන් අනතුරුව 1931 දී එවකට රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ මන්ත්‍රී ඩී. එස්. සේනානායක මැතිඳුන් පෙරහරින් ඇතු පිටින් මහත් හරසරින් වඩමවා ගෙන විත්, එතුමා විසින් රෝපණය කරන ලද බෝධිරාජයාණන් වහන්සේ, ඒ වටා තනන ලද අටවිසි බුදුමැදුර මත පිහිටවන ලද රන් වැට මෙන් ම පිටත ප්‍රාකාරයෙන් ද බෝධිඝරය

තුළ නිරතුරුව කෙරෙන වන්දනාමාන, බෝධිපූජා ලබමින් මහත් අභිමානයෙන් මනස්කාන්තව වැඩ සිටින සේක.

1974 මැයි 30 දින ආරම්භ කරන ලද අඩි 48 ක් විශ්කම්භයෙන් යුත් අඩි 60 ක උසින් යුත්, සධාතුක චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් පැළැඳවීම 2004 නොවැම්බර් 17 වන දින සිදු විය.

ශෛලමය ස්ථම්භය පිහිටුවා ඉදි කර ඇති තෙමහල් පේසාවකින් යුතු දර්ශනීය අභිමානවත් ධර්මශාලාව පොහොය ගෙය සහිත සීමා මාලකය වර්ෂ 1849 දී ස්ථාපිත කර ඇත.

1937 මාර්තු 26 වන දින සාදා නිම කරන ලද ඝණ්ඨාරය සහිත කුළුණ, පුෂ්පාඝාර, පුස්තකාලය සහිත ශ්‍රී ධම්මානන්ද දහම්පාසල පැණි සංඝාවාසය අබලන් වීමෙන් අනතුරුව ඉදි කළ දාන ශාලාව සහිත පරිපූර්ණ සංඝාවාසය, ලිං පොකුණු වැසිකිළි කැසිකිළි ආදියෙන් අනූන අංග සම්පූර්ණ විහාර පරිශ්‍රය දැකුම්කළු සිද්ධස්ථානයකි.

සැදැහැති බුද්ධාලම්භන ප්‍රීතිය, අසිරිය, විඳීම ට අපූරු අගනා තෝතැන්නක් බඳු පුද බිම නරඹන්නන්හට “නෙත් ලදුයේ ඵල ලදිමි” යන උත්කෘෂ්ඨ පරම සතුට සැනසීම ප්‍රත්‍යක්ෂ වනු නිසැක ය.

වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය, වාද්දුව සමුද්‍රාරාම සිරිමහමිහිඳු පිරිවෙන් විහාරය, රද්දේගොඩ සුදර්මාරාමය විහාරය යන විහාරත්‍රයාධිපති සිරිමහ මිහිඳු පිරිවෙනෙහි නිර්මාතෘ අනුශාසක, විශ්‍රාමලත් විදුහල්පති, කළුතර මහා

දිසාවේ ප්‍රධාන සංඝනායක, පානදුර (දකුණ) ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති, ශාස්ත්‍රපති, බෝපිටියේ ධම්මිස්සර ස්වාමීන්වහන්සේ වත්මන් විහාරාධිපතිත්වය හොබවන්නාහ.