Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

අනුරාධපුර මැදවච්චිය ඉසින් බැස්සගල රුවන්ගිරි රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම පසුගියදා (18, 19, 20) ඉසින්බැස්සගල රුවන්ගිරි රජමහා විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි, මහනෙළුබෑව පදිංචි ආයුර්වේද වෛද්‍ය මංජරී ගුණවර්ධන මහත්මිය සහ සේන ගුණතිලක මහතාගේ මූලිකත්වයෙන්, කුකුල්පනේ සුදස්සී හිමියන්ගේ වර්ෂයකට කඨින චීවර පූජා පින්කම් 100 ක් පැවැත්වීමේ මහා පුණ්‍ය කර්මයට සහයෝගය ලබා දෙමින් පැවැත්විණි.  එම අවස්ථාවට ඉසින්බැස්සගල රුවන්ගිරි රජමහා විහාරාධිපති නා හිමියන් සහ විහාරහල්මිල්ලෑවේ ධම්මරක්ඛිත හිමි, රළපණාවේ සුමංගල හිමි, කන්නගමුවේ රාහුල හිමි, ඇතුළු මහා සංඝරත්නය ද විශාල පිරිසක් සමඟ වෛද්‍යාචාර්ය මංජරී ගුණවර්ධන, සේන ගුණතිලක, ජයන්ත දිසානායක, එස්.එම්. චන්ද්‍රරත්න, එස්. අනුරසිරි යන මහත්ම මහත්මීන් සහභාගි වූ හ.
චිත්‍රාරත්න කළුආරච්චි, හිදෝගම සමූහ.

ශ්‍රී දළදා මාළිගාවේ මෙම වසරේ කඨින චීවර පුණ්‍ය මහෝත්සවය ඉකුත් දා (19) සිදු කෙරිණි. කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනි ශ්‍රද්ධා ප්‍රසාදිනී ධම්මචාරී කොත්මලේ සුධර්මා සිල් මැණියන්ගේ උපදේශකත්වය යටතේ රාජගිරිය රෝයල් කොට්නිහි පදිංචි උපේන්ද්‍ර සමරතුංග මහතා සහ එරංගා සමරතුංග මහත්මිය, දූ දරුවන් ඇතුළු පවුලේ අය විසින් එහි දායකත්වය දරන ලදී. එම පිරිස කටුකැලේ ලේඩි බ්ලේක් ආරාමයේ සිට අලුයම මහනුවර නගරය ඔස්සේ දර්ශනීය පෙරහරකින් කඨින චීවරය දළදා මාළිගාව වෙත වැඩම කරවීය. මෙවර වස් ආරාධනාව පිළිගත් දළදා මාළිගාවේ තේවාව භාර මල්වතු පාර්ශ්වයේ මහා සංඝරත්නය හමුවේ කඨින චීවරය සඟ සතු කර පූජා කරන ලදී. දියවඩන නිලමේ නිලංග දෑල මහතා එම අවස්ථාවට සහභාගී වූ අතර ශතාධික මහා සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පවත්වන ලදී. ඡායාරූපය - සුනිල් ගුණවර්ධන - කුණ්ඩසාලේ සමූහ

පානදුර ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාමයේ දායක දායිකාවන්ගේ ආධාරයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය පසුගිය දා කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගල්කිස්ස බෞද්ධායතනාධිපති දිවියාගහ යසස්සී නාහිමිපාණන් සහ සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා අතින් විවෘත වූ අවස්ථාව, විහාරාධිපති ලේල්වල තපස්සි හිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාර මන්දිරය ඉදිවූ අතර එම අවස්ථාවට හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද සහභාගි විය. පානදුර විශේෂ - උපාලි ජයරත්න

වාද්දුව ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාව විවෘත කර වසර 10 ක් සපිරීම නිමිත්තෙන් එම ශාඛාවේ දී පින්කමක් පසුගියදා (20) පැවැත්විණි.ශාඛා කළමනාකාරිනී මල්කාන්ති ද අල්විස් මහත්මිය මහා සංඝරත්නය වෙත දානය පූජා කළ අවස්ථාව. එම අවස්ථාවට බැංකු ශාඛාව ආරම්භ කළ දින සිට කටයුතු කළ කළමනාකාරවරුන් වන විජිත ගමගේ මහතා, නිහාල් ජයසිරි මහතා, නන්දා පියසීලි මහත්මිය ඇතුළු ගනුදෙනුකාර භවතුන් ද සහභාගි විය. තල්පිටියේ ඩබ්.ඇම්.ඇන්.වී. විජේනායක වාද්දූව සංචාරක