Print this Article


ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල සුමග පදනමෙන් අසදෘෂ මහා දාන පූජාවක්

ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල සුමග පදනමෙන් අසදෘෂ මහා දාන පූජාවක්

වැවයි – දාගැබයි – ගමයි පන්සලයි යන සංකල්පය ගරුකරමින් රට වටා විසිරී ඇති අඩුපහසුකම්වලින් යුතු වෙහෙර විහාර නඩත්තු කරමින් යන ගමනකි සුමඟ පදනම.

එම පදනම මගින් පසුගිය අගෝස්තු 30 වැනි දා සහ 31 වැනිදා අනුරපුර උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස මහා පූජාවක් අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ගේ අනුශාසකත්ව යෙන් සිදු විය. 30 වනදා සවස 5.00 ට බුදුපියාණන් වහන්සේ උදෙසා ගිලන්පස පාත්‍රා 109 ක් පංච තූර්ය නාද සමඟ පූජා පවත්වා අනතුරුව සපැමිණි සැමට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සිදුවිය.

31 වෙනිදා අළුයම 6.00 ට බුදුපියාණන් වහන්සේ උදෙසා හීල බුද්ධ පූජාව පාත්‍ර 109 ක් පූජා කළ අතර, වැඩමකළ සංඝරත්නය උදෙසා දානය පූජා කරන ලදී. සැ පැමිණි සැදැහැවතුන් උදෙසා හීල්දානය පිරිනමා අනතුරුව දවල් බුද්ධ පූජාව පාත්‍රා 109 ක්, ව්‍යංජන වර්ග 108 ක් සමඟ සම්බුද්ධ පූජාව පවත්වන ලදී. ඉන්පසු අනුරපුර ප්‍රදේශයෙන් වැඩමවන ලද මහා සංඝ රත්නය තුන්සිය නමකට පමණ අෂ්ඨ පරිෂ්කාර සමඟ සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණි.

සුමඟ පදනමෙහි මූලික අංගය වන විහාරාරාම නඩත්තුව උදෙසා සිදු කෙරෙන ආවාසපරිෂ්කාර භාණ්ඩ සඟසතු කිරීම සිදු කෙරුණේ ඉන් පසුවය. ඒ සඳහා අනුරපුර බල ප්‍රදේශයේ පහසුකම් අඩු විහාරාරාම 108 ක් තෝරාගෙන එක් විහාරයකට රු. 70,000.00 ක් වටිනා භාණ්ඩ කට්ටල බැගින් භාණ්ඩ කට්ටල 108 ක් සඟසතු කර පූජා කරන ලදී.

මෙම පූජාව අවසානයේ ඉදිකටුවේ පටන් භෞතික භාණ්ඩ ඒකරාශී කර සිදු කරන කප්රුක් පූජා මණ්ඩපය සඟසතු කර පූජා කෙරිණි.

සුමග පදනමේ නිර්මාතෘ සභාපති වීරවංශ පතිරණ, ලේකම් ඒ. එම්. ඒ. පී.දිසානායක, භාණ්ඩාගාරික සුදත් මෙන්ඩිස් යන මහත්වරු ප්‍රධාන සුමග පදනම එම පින්කම පවත්වන ලද්දේ 14 වන වරටය.