Print this Article


සසුන් දිවියේ 49 වසර සපුරන සීදූවේ සුමනවංස නා හිමි

සසුන් දිවියේ 49 වසර සපුරන සීදූවේ සුමනවංස නා හිමි

සීදූව – රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති, පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදූවේ සුමනවංස නාහිමියන් සසුන් දිවියට පත්ව වසර 49 ක් සපුරති.

සීදූව මූකලන්ගමුව ගම් පියසේ විසූ පරලොව සැපත් විශ්‍රාමලත් පොලිස් නිලධාරි කේ.එන්.ජේ.රොවෙල් මහතා සහ එම්.එස්.පෙරේරා උපාසිකා මාතාවට දාව උපන් දරු දැරියන් නව දෙනා අතරින් එක් දරුවෙකු සීදූවේ සුමනවංස හිමි නමින් 1970 ඔක්තෝබර් මස 31 වෙනි දින රද්දොළුව සුබෝධාරාම මහා විහාරස්ථානයේ දී සසුන් දිවියට ඇතුළත් විය. රද්දොළුව සුබෝධාරාම මහා විහාරය, රද්දොළුව අභිනවාරාමය යන උභය විහාරාධිපති අපවත්වී වදාළ රද්දොළුවේ අරියවංස මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ හා අපවත්වී වදාළ අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ සම්මාන අනුනායක රද්දොළුවේ අමරවංස නාහිමිපාණන් වහන්සේ පැවිදි ආචාර්ය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙති. කුඩා කල ආචාර්යන් වහන්සේලා වෙතින් බණ දහම් හදාරා පානදුර රන්කොත් විහාරස්ථ ශ්‍රී සෞගත විද්‍යාලීය පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්හ. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ ශ්‍රී ජිනරතන උසස් අධ්‍යාපන ආයතනයට ඇතුළත්ව ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලබා, ජපන් තානාපති කාර්යාලය මඟින් මෙහෙයවූ ජපන් භාෂා පාඨමාලාව ද හදාරා ජර්මන් තානාපති කාර්යාලීය ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් මෙහෙයවූ ජර්මන් භාෂා ත්‍රිත්වයක් හදාරා භාෂාත්‍රයෙන් ප්‍රාචීන පණ්ඩිත උපාධිය ද බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද, පාලි හා බුද්ධ ධර්මය ඩිප්ලෝමා සහතික ද ලබා ගත් හ. පාලි,අභිධර්මය හා දෙමළ භාෂාව පිළිබඳව මනා දැනුමක් ලබාගත් සීදූවේ සුමනවංශ නාහිමියන් සුවිසල් මෙහෙවරක නිරතව වැඩ සිටිති.

1978 ජූලි මස 25 වෙනි දින අම්බලන්ගොඩ උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාව ලබාගත් උන්වහන්සේ කටාන සමථමූල මණ්ඩලයේ ආරම්භක සාමාජික වශයෙන් වසර 12 ක් සේවය කර ඇත. රද්දොළුව දකුණ ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති පදවිය හොබවමින් ප්‍රදේශයට මහත් සේවාවන් ඉටු කළහ. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි වශයෙන් වසර 08 ක් ද , ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි වශයෙන් වසර 16 ක් ද, 1990 සිට අඛණ්ඩව කටාන – මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි වශයෙන් මේ දක්වා ද ඉමහත් ශාසනික,ජාතික සේවා හා දහම් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා කැප වී ක්‍රියා කරති.

සීදූවේ සුමනවංස නා හිමිපාණන් වහන්සේ 1988 රජයේ පාසල් උප ගුරුවරයෙකු වශයෙන් රද්දොළුව ප්‍රාථමික විදුහලේ පත්වීම් ලැබ, පසුව 2010 දී රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් පත්වුණි.රජයේ පාසල් ගුරු දිවියේ වසර 30 ක් උදාර සේවා දාමයක් ඉටුකර 2015 පාසල් සේවාවෙන් විශ්‍රාම ගන්නා ලදී.

සිය නේවාසික වාසස්ථානය වශයෙන් 1980 රද්දොළුව ශ්‍රී අභිනවාරාමය වත්මන් ශ්‍රී අමර මහා විහාරස්ථානයට වැඩමකර පැවිදි ආචාර්යන් වහන්සේ වන රද්දොළුවේ අමරවංස අනුනාහිමියන්ගේ අනුශාසනා උන්වහන්සේට නිරතුරුවම ලැබුණු අතර, විහාරස්ථානයට අඩුවක්ව පැවති, ජල, විදුලි හා දුරකථන පහසුකම් ලබා ගනිමින් විහාරස්ථානයට ප්‍රවිෂ්ඨවන ප්‍රධාන මාර්ගය පුළුල් කර. පිළිසකර කරවීමත්,දම්සක් විහාර මන්දිරය සහිත චෛත්‍ය රාජයාණන් වහන්සේ ඇතුළු විහාරාංග සහ දෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල සහිත ධර්ම මන්දිරයේ පළමු මහල සියලු වැඩ නිමකර ඇත. නව දානශාලාව සහිත දෙමහල් සංඝාවාසය ඉදිකිරිම් ආරම්භ කර ඇති අතර, මේ සඳහා දේශපාලන අධිකාරියේ හා ව්‍යාපාරික ප්‍රජාවේ ද විහාරස්ථ දායකකාරකාදින්ගේ නොමසුරු සහයෝගය නිරන්තරයෙන් ලැබිණ.

තම පැවිදි ආචාර්යන් වහන්සේ 2017 ජනවාරි මස 29 වෙනි දින අපවත් වීමෙන් පසුව ස්වනිකාය මගින් විහාරස්ථානයේ සියලු අධිකාරි බලතල සහිත විහාරාධිපති පදවියට අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ මහානායක අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව මගින් පත් කරන්නට යෙදුණි.

ප්‍රදේශයේ දහම් පාසල් ආරම්භ කරමින් ප්‍රජා සංවිධාන, සමිති සමාගම් ආරම්භ කරමින් හා ඒවායේ පැවිදි අනුශාසකත්වය දරමින් අසරණයන්හට පිහිටවෙමින් ප්‍රදේශයේ රැකියා නොමැති තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට කටයුතු කරමින් සීදූවේ සුමනවංස හිමිපාණන් වහන්සේ විසින් ඉටුකරනු ලබන ශාසනික හා සාමාජික මෙහෙවර අතිමහත් ය. මෙම ජාතික, ආගමික හා සාසනික සේවාවන් අගය කරමින් අමරපුර මහා නිකායේ ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව මගින් සංඝ නායක පදවික් ද පිරි නැමූහ. අමරපුර මහානිකායේ ශ්‍රී ධම්මානන්ද වංශාලංකාර සාසන සෝභන විනයාචාර්ය ගරු නාමය සහිත සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ සීදූවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේට තව තවත් ජාතික ,ආගමික හා සාසනික සේවාවන් කිරීම සඳහා ශක්තිය, ධෛර්යය ලැබේවා !