Print this Article


සත් ජන සමාජ සංවර්ධන පදනමෙන් ශාසනික මෙහෙවරක්...

සත් ජන සමාජ සංවර්ධන පදනමෙන් ශාසනික මෙහෙවරක්...

දොළොස් මහ හේමන්ත, ගිම්හාන , වස්සාන යනුවෙන් ඍතු තුනකි. වස්සාන ඍතුවේ දී උපසම්පදා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලා මුල් තෙමස වස් වසා වැඩ සිටින ඹකාලය වේ. අනතුරුව උදාවනුයේ චීවර මාසය යි. එම චීවර මාසයේ දී කෙරෙන වෙසෙස් වූ පින්කම කඨින මහා පින්කම යි.

කඨිනයෙහි වටිනාකම කෙතරම් ද? මහ පොළොව මෙන් කිසි කලෙකත් කම්පා නොවන, මහා මේරු පර්වතය මෙන් අධික සුළඟින් නොසෙල්වෙන, වජ්‍ර පර්වතය මෙන් නොබිඳෙන ස්ථාවර ගරු පුණ්‍ය ක්‍රියාවකි. සියලු ආමිස දාන අතුරෙන් කඨින චීවර පූජාව ඉතා උතුම් පින්කමකි. අට මහා කුසල් අතර දැක්වෙන උදාර පින්කමකි.

අවුරුදු, මාස ගණනකට පෙර සිට දායක පක්ෂය ඊළඟ වස්සානය එළඹීම දක්වා බොහෝ අපේක්ෂාවන්ගෙන් පසු වේ. ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගේ කාරුණික අනුශාසකත්වය ඇතිව වස්සානයේ දී සසර සුගති සැප ලබා අවසන සියලු දුකින් නිදහස් අමා මහ නිවනින් සැනසීම උදෙසා උදාර පින්කම් සමුදායක නිරතවීම අපගේ බෞද්ධ සංස්කෘතියේ මූලික ලක්ෂණයක් වී ඇත.

දායක පිරිස අන්‍ය කාලයන්ට වඩා වස් කාලය පුරා ස්වකීය විහාරාරාමයන් හි දී නිතර ආගමික වතාවත්හි, පින්කම්වල නිරතවීමට ද පහන් සිතින් පසු වේ. දුටුවන් ගේ නෙත් සිත් පහන් කරවන ඒ ආගමික පරිසරය නිරන්තරයෙන් ගත සිත සනසවනු ලැබේ.

ගම්වැසි, ආර්ථික වශයෙන් ශක්තිමත් ඇතැම් සැදැහැවතුන් ඒකරාශි වී ගමෙන් බැහැර , දුර බැහැර ඇතැම්විට ආර්ථික දුෂ්කරතා පවතින විහාරස්ථාන සොයා ගොස් ඊට ආධාර උපකාර කිරීමට පෙළඹී සිටීම මහත් පුණ්‍ය ක්‍රියාවක් වනු ඇත. එය සැදැහැතියන්ගේ වගකීම සහ යුතුකම ද වනු ඇත.

දැයේ ගුණ දහම් පෝෂණයට, අධ්‍යාත්මික ගුණ වගාවට මාර්ගෝපදේශකත්වය සලසනු ලබන්නේ පූජනීය මහ සඟරුවන ය. එබඳු ගුණවත්, සිල්වත් සඟරුවන වෙත සිව් පසයෙන් උවටැන් කිරීම යුතුකම වේ.

හොරණ පෝරුව දණ්ඩ සත්ජන සමාජ සංවර්ධන පදනම මෙහෙයවීමෙන් ඉකුත් දා (20) එකම දිනක එක වෙලාවක දී ශතාධික කඨින පින්කම් මාලාවක් පැවැත්විණි.

සත්ජන සමාජ සංවර්ධන පදනමේ නිර්මාතෘ සභාපති පී.කේ.යූ. අදිකාරම් මහතාගේ සංකල්පයකට අනුව සම්බුදු සසුන සුරක්ෂිත කිරීමේ අරමුණින් එම පින්කම් මාලාව පැවැත්විණි. 2014 වසරේ සිට සෑම වසරක ම එබඳු කඨින පින්කම් සියයකට වැඩි ප්‍රමාණයක් ඒ ඒ විහාරාරාමයන් හි දී එක වසරක එකම දින එකම වේලාවක පැවැත්වීමට ක්‍රියා කර ඇත.

එම පින්කම් සිදු කරනු ලබන්නේ සත්ජන සමාජ සංවර්ධන පදනමේ සාමාජික සාමාජිකාවන්ගේ මෙහෙයවීමෙනි. අදාළ සාමාජිකත්වය සඳහා මුදල් අය නොකෙරේ.

විහාරාරාමයන්හි අත්‍යවශ්‍ය විහාරාංග අවශ්‍යතා ඇති විහාරස්ථාන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේකම් හිමිවරුන්ගේ සහ හිතවතුන්ගේ මාර්ගයෙන් හඳුනා ගනිමින් විහාරස්ථානයේ අනුමැතියද ඇතිව එම පින්කම් සංවිධානය කෙරේ. පින්කම සංවිධානයේදී ගමේ විහාරස්ථානයට අවශ්‍ය විහාරාංග ඉදිකරවා දීම ඇතුළු අවශ්‍යතා ඉටු කිරීමට දායක පිරිස යොමුකරවා සම්බන්ධතාවය ඇති කිරීමට සත්ජන සමාජ සංවර්ධන පදනම කටයුතු යෙදීම සිදු කෙරේ. අදාළ පදනම මුදල් භාවිතයට ඉදිරිපත් නොවන අතර ආධාර පිරිනමන සැදැහැති පිරිස සමඟ අදාළ විහාරස්ථානය හා එහි දායක පිරිස සමඟ ඊට සම්බන්ධීකරණය ඇති කරවනු ලැබේ.

2014 වසරේ සිට සෑම වසරක් පාසාම කඨින පින්කම් සියයකට වැඩි ගණනක් සිදු කිරීමට අවශ්‍යතාව සැලසී ඇති බවත්, ඒ සඳහා ඉතා ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් සත්ජන සමාජ සංවර්ධන පදනමේ සාමාජික සාමාජිකාවන් නොපැකිල ව ඉදිරිපත් වන බවත් සත්ජන සමාජ සංවර්ධන පදනමෙහි උත්තර මණ්ඩලයෙහි ලේඛකාධිකාරි කුකුල්පනේ සුදස්සී හිමියෝ පැවැසූහ.

හොරණ පෝරුවදණ්ඩ නො. 28 සෙත් සෙවනහි සත්ජන සමාජ සංවර්ධන පදනම පිහිටුවා ඇත.

විවිධ ප්‍රදේශයන්හි සංඝාවාස, ධර්මශාලා, චෛත්‍ය, විහාර මන්දිර , සීමාමාලක සහ ජල පිරිපහදු ආදිය සසුන්කෙත දියුණුව උදෙසා ඉදිකරවා ඇති බවත් සුදස්සි හිමියෝ පැවැසූහ.

සසුන් කෙත තවත් බොහෝ කල් සුරැකීමට අවශ්‍ය භෞතික සම්පත් වර්ධනය කරමින් අනුබලය, ශක්තිය ලබාදීමට හැමට දිරිය බලය හිමිවේවා.