Print this Article


පහන් සිතක කවි

නික්මයාම

බෝපතක මදහස
මිහිමතේ වැතිරිලා
වසන්තය ඇවිදින්
නමුත් නුඹ
දෙනුවන් පියා
පසළොස්වක අහසේ
සඳක් වී නුඹ සිටි නිසා
මොහොතකින් සැඟවී ගියාදෝ
සඳ එළිය අඳුරක තියා
ඈත දුරකට ගොසින් නුඹ ඇත
ලොවේ සැනසිලි බව සොයා
සුමුදු බෝපත් සැලෙන තාලෙන්
ජීවිතේ අරුමය කියා


සම්බුදු පියා නමදිමු

සිව් සස් පසක් කළ වැඩු පාරමී බෙලෙනී
ලොව ඇති සියලු තතු මැනවින් දත් සොඳිනී
සව් සත වෙතට පැතිරූ මෙත සම සිතිනී
සම්බුදු පියා නමිදිමි හද පිරි තුටිනී


නොමිනිසුන් නොවෙමු

ඉපදුණෙ ලොවට එක බඩවැල කඩා ගෙන
ලිප මත පිසුණු බත කෑවේ බෙදා ගෙන
සැප සම්පතට සිත දෙයි ලොල වැඩී ගෙන
ගෙපැළට සටන් වැද හිමිකම් කියා ගෙන

දෙගුරුන් සිඟයි මහ මඟ ටින් එක ගත්තු
නිලතල දරයි ලොව ඉහළින් දූ පුත්තු
උපන් ගෙබිම බලයෙන් ලියවා ගත්තු
උන්මය නොවෙද මිහිපිට තිරිසන් සත්තු


සුදු ඇන්දත්

කොකෙක් වගේ සැරසුණාට
පන්සල් තුළ ගැවසුණාට
ගුණ දහමින් නොපිරුණහොත්
කලුම කලුයි ඔබේ පාට

නොම කර ලෝකෙට රැවටිලි
පුරවා ගෙන පින් සිතිවිලි
හිඳිනා ඔබ සුදෝ සුදුයි
ඇන්දත් දැළි කුණු වැරැහැලි


වස්සානය

සැරසී සුදු වතින් තෙල් මල් ගෙන දෝතින්
එක්වී එක මඟට පන්සල් පැමිණ තුටින්
නික්මී යන දවස පිළිබඳ සිතා නැණින්
සිත් සේ කුසල් කර ගන්නට සිතමු ඉතින්

වස්සානයයි මේ එළඹී තියෙන්නේ
පින්සාරය යි හද තුළ ලියලා එන්නේ
සම්මාදමයි සමඟි ව කළ යුතු වන්නේ
අට මහ කුසල ට ඉඩකඩ සැලැසෙන්නේ


අදයි අමාවක පෝ දා

ලෝ සතුන්ගේ සිත් බලා
හිමි දෙසූ සදහම් මල් පිපී
මෙත් සිතින්ම යි හිමි වඩින්නේ
සිරිපතුල් මිහිකත සිපී

අත් මුදුන් දී වඳිමු මුනිඳුන්
පතාගෙන නිවනම අපී
වප් මහේ අද අමාවක දා
සිල් සමාදන් වෙමු අපී


නිදුකාණෙනි

භව දුක භවඳුර නිවෙනා
ආලෝකයේ හිරු දිලෙනා
සාල වනේ මල් පිපෙනා
කුමරෙක් මනු ලොව වඩිනා

මොහඳුර දුක කිම සොයනා
සිරුරට දුක් ගිනි දෙවනා
මැද මාවත පිය තබනා
ලොව්තුරු බුදු බව ලබනා

සුවහස් දන තෙර යවනා
කරුණා දිය බිඳු ඉසිනා
නිවනට මඟ හෙළි කරනා
දම් මිණි කඳ පිරි නිවෙනා


නමදිමු තෙරුවන්

කල්ප දස දහස් පෙරුමන් පුරාලා
සක්විති රජ සැපත පසෙකින් තබාලා
අප හැම කෙරෙහි මුදු කරුණා පතුරලා
බුදු හිමි අපට දුන්නා අම දම් බෙදලා

පළමුව වඳිමි මගෙ සම්බුදු පියා ගරු
දෙවනුව වඳිමි ඒ සදහම් ඉතා ගරු
තෙවනුව වඳිමි සඟ ගණ ලොව පුරා ගරු
වඳිනෙමු තුනුරුවන් මේ කප පවතිනා තුරු


සත්තු වත්ත

උඩ යට
දස දෙසේ
හැම තැනම
මනුසත්තු සමඟින්
නෙක සත්තු කවලමේ


අවබෝධය

අඳුරේ දිලුන ආලෝකය පහව ගියා
පහනේ තිරය ඉතිරි ව තෙල් සිඳී ගියා
රුදු සුළඟකට පවා දැල්වුණු පහනකිය ඔයා
සිතුවෙමි මෙමා සැම දේ අස්ථිරය කියා

සසරින් සසර පැතු විලසින් හමුවීම
දුක් වේදනා සමුදායකි වෙන්වීම
ඉපදී මැරි මැරී යළි යළි ඉපදීම
බිඳ සැනසෙමු ද ඝොර වූ සසරෙහි බැම්ම


වැටහීම

තිස් වසක්
එක වහලයක යට හිටියත්
මගේ සිතම මිස
සොඳුර
අසුරු සැණක්වත්
මා නුඹ
ඇසුරු කර නෑ
යථාර්ථය
වැටහුණා මට
වැටහුණා


සත්තු වත්ත

උඩ යට
දස දෙසේ
හැම තැනම
මනුසත්තු සමඟින්
නෙක සත්තු කවලමේ


අසම සම ගුණය

නෑවූ තිලොව මහ කරුණා ගුණය පෙරා
පෑවූ සුපුන් සඳ පරදා කිරණ දරා
සිවු ගුණය සිත සිතී මගෙ බැතිය පෙරා
පේවූ සිතින් නමදිමි මුනිදු ලොව් තුරා


පිය ගුණ

ඔබ අගය පවසන්න මට වදන් තවම මදී
ඔබ ගුණය පතුරන්න මිහිතලය ඉඩ මදී
ඔබ ගයපු ගීතිකා මගෙ හදේ තව රැඳෝ
මතු දිනක උපදින්න පියාණන් වී මගේ


මර බැඳුම

මම වෙමිය සිතු
බැඳෙයි දුක්ඛිත සසරට
නොවෙමි මම සිතූ විට
මිදෙයි සසරින් එත කොට
සිතිවිල්ලකින් මයි
බැදුණේ සසර බැඳුණේ
සිතිවිල්ලකින් මයි
මිදුණේ සසර මිදුණේ
අසා සම්බුදු බණ
නසා තණ්හා දිට්ඨි මානය
අමා මහ නිවනට
වහා පිවිසෙමු වසා මරු ඇස


මව් පිය වරුණ

අය වෙත, උරුම සොයනා යුග දිවි බැඳෙන
කියනුව කැමැති බුදු වදනක් සිහි මැවෙන
සිය වසරක් ම පිදුවත් උරමත රැගෙන
එය මුත් ඉවර නැත, මාපිය වරු පිදෙන