| අෂ්ට පාන
				 
 රේරුකානේ චන්දවිමල මහා නා හිමි
 
පානයන් අතුරෙන් අෂ්ට පානය හා එයට සමාන වන කුඩා ඵලවලින් කරන ලද පානයක් ද භික්ෂූන් 
වහන්සේලාට විකාලයෙහි ද දිය හැකිය. භික්ෂූන් වහන්සේලාට විකාලයෙහි කැප වූ පාන වර්ගවලට 
ගිලන්පස යැයි ද කියති. 
අෂ්ට පානය යනු අම්බ පානය, ජම්බු පානය, චෝච පානය, මෝච පානය, මධු පානය, මුද්දික පානය, 
සාලුක පානය, ඵාරුසක පානය යන මේ අටය. මේ පානයන් භික්ෂූන්ට විකාලයෙහි කැප වන්නේ ඇල් 
පැනින් හෝ හිරු රැසින් කකාරවා හෝ කළ ඒවා පමණකි. ගින්නෙන් පැසවා කරන ලද්ද කාලයෙහි 
මිස විකාලයෙහි කැප නොවේ.  
එහි අම්බ පානය යනු ඉදුණු අඹ ඇල් පැනින් මැඩ පෙරා සීනි සකුරු ආදිය මුසු කොට කරන 
ලද්දා වූ ද, අමු අඹ කුඩා කැබලිවලට කපා සීනි ආදිය හා ඇල් දියෙහි ලා හිරු රැසින් 
කකාරා කරන ලද්දා වූ ද පානය යි. ජම්බු පානය යනු දඹපල (ඉදුණු ජම්බුගෙඩි) ඇල් පැනින් 
මැඩ සීනි සකුරු ආදිය යොදා කළ පානය ය. චෝච පානය යනු ඉදුණු ඇටිකෙසෙල් ගෙඩි ඇල් දියෙන් 
මැඩ කළ පානය ය. මධු පානය යනු අමු මිදි පල ඇල් පැනින් මැඩ කළ පානය ය. මුද්දික පානය 
යනු වියළි මුදරප්පලම් ඇල් පැනින් මැඩ කළ පානය ය. සාලුක පානය යනු හෝලු ගෙඩි ඇල් 
පැනින් මැඩ කළ පානය ය. ඵාරුසක පානය යනු බොරලු දමනු (මසන්ගෙඩි) ඇල් පැනින් මැඩ කළ 
පානය ය. මෙසේ දෙහි දොඩම් සියඹලා ආදි කුඩා ඵලවලින් කළ පානය ද විකාලයෙහි කැප ය. 
 
බෞද්ධයාගේ අත්පොත ඇසුරිනි |