Print this Article


තැනට සුදුසු නුවණ

තැනට සුදුසු නුවණ

ජීවිතයේ සාර්ථකත්වයට ස්ථානෝචිත ප්‍රඥාව ද මහඟු මිණකි. ඒ සඳහා බුද්ධිමත් බවක් ඇවැසි ය. පොත පතින්, අත්දැකීමෙන්, ශ්‍රවණයෙන් ලද දැනුම ප්‍රායෝගික ව ජීවිතයට ගළපා ගැනීමේ හැකියාව ඇවැසි ය.

ස්ථානෝචිත ප්‍රඥාව නම් තැනට සුදුසු ලෙස කටයුතු කිරීමේ හැකියාව ය. එහෙත් අපේ තරුණයින් අතරින්, ළමයින් අතරින්, ඇතැම්විට වැඩිහිටියන් අතරින් පවා වැඩි පිරිසකට තැනට සුදුසු නුවණ මද ය. පොතපත කටපාඩම් කර විභාග සමත් වෙනවා හැර දැනුම ග්‍රහණය කර නොගැනීම, විචක්ෂණශීලී නොවීම, දැනුම ජීවිතයට ගළපා නොගැනීම ඊට ප්‍රධාන හේතූන් වන්නේ ය.

තැනට සුදුසු නුවණ ජීවිතය බොහෝ අසීරු අවස්ථාවන්ගෙන් මුදා ගන්නට සමත්වෙයි. ජීවත්වීම පහසු කරවයි. එය අතීතයට ද, වර්තමානයට ද, අනාගතයට ද පොදු ය. පංචායුධ ජාතකය ඒ බව ප්‍රකට කරන ජාතක කතාවකි.

පංචායුධ කුමාරයා ශිල්ප ලැබ ආපසු සිය ගම රට බලා යමින් සිටියේ ය. අතරමග දී කුමරු යක්ෂයෙකුට හසු විය. කුමරු බියගුළු නොවී ය. හෙතෙම යක්ෂයා පරාජය කරන්නේ ස්ථානෝචිත ප්‍රඥාවෙනි.

පළමුව අතින් පයින් පහර දී බේරෙන්නට බලයි. අත් පා මුදා ගත නොහැකි ව හිසින් ද පහරදෙයි. අවසානයේ මුළු සිරුරෙන් ම පහර දී බේරෙන්නට උත්සාහ කරයි. එහෙත් කුමරු සෙලවෙන්නටවත් නොහැකි වන සේ යක්ෂයාගේ සිරුරෙහි ම ඇලී යයි. දැන් යක්ෂයාට කුමරු ගොදුරු කර ගැනීමට ඉතා පහසු ය.එහෙත් කුමරු නොවේ බිය වූයේ. තමන්ගේ කුසෙහි විස සහිත ආයුධයක් ඇති බවත්, තමන් ගිල දැමුවේ නම් එම විස සහිත ආයුධය නිසා යක්ෂයා ද ජීවිතක්ෂයට පත්වන බවත් කුමරු කීවේ ය. යක්ෂයා බිය විය. කුමරු අත හැරියේ ය. කුමරු නිරුපද්‍රිතව සිය නුවරට ගියේ ය.

මහා වන මැද යක්ෂයකුට හසුව ජීවිතය බේරා ගන්නට පංචායුධ කුමරුට හැකිවූයේ තැනට සුදුසු නුවණ නිසා මිස නිර්දේශිත විෂයයන් කට පාඩම් කළ නිසා නොවේ.

පොත පත වණ පොත් කර වූ පමණින් , විභාගවලට ම සූදානම් කළ පමණින් දරුවන් ජීවිතය ඉගෙන ගන්නේ නැත. ඔවුන්ට තැනට සුදුසු නුවණ ද තිබිය යුතු ය. නැතිනම් සංකීර්ණ සමාජයේ ජීවත්වීම උගහට ය. සංවේදී බව, අපේකම, අනුකම්පාව, දයාව ඇතුළු ගුණ ධර්ම ද ඉගැන්විය යුතු ය. ඒ තැනට දරුවන් ගෙන යා යුතු වැඩිහිටියන් ය.