Print this Article


නිරාමිස පී‍්‍රතියෙන් උපන් ථෙර ගාථා


ථෙරගාථාවෙහි තෙරවරුන් දෙසිය හැට හතර දෙනෙකු විසින් ගයන ලද ගීත ඇතුළත් ය. ඒ යතිවරුන්ගෙන් සමහරු තම තමන් පසක් කළ මග ඵල සිහිකරමින් එයින් උපන් නිරාමිස පී‍්‍රතියෙන් ගී ගයති. සමහරු තමන් ලද සමවත් සුවය ම දක්වනු පිණිස ද, සමහරු අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලෙසද ගී ගයති. ඇතැම් යතිවරුන්ගේ ගීතිකා සම්බුදු සසුනෙහි උතුම් බව කියයි. ඒ සෑම පද්‍යයක් ම පාහේ අපූරු, රසවත් රූපක මුසුකොට ගනිමින් සිය අත්දැකීම් පවසනු පිණිස නිමවන ලද්දේ ය. පරිසරයෙහි,සොබා දහමෙහි අසිරිය මතු කරන්නේ ය.

මනා සිළු ඇති

විසිතුරු පිල් කළඹ ඇති

සොඳුරු නිල්ගෙල ඇති

මනහර මොණරු නද දෙති

ඇත පොළොවෙහි

මනා නිල්තණ පියෙසි

අහස පැතිරුණු සසොබන

මනහර වළාකුළු

මේ චූලක හිමි ගැයූ ගීතයයි. වනගත අසපුවෙහි හුදකලාව චිත්ත විවේකයෙන් වැඩ සිටි උන්වහන්සේ මොහොතකට අවට නිහඬ පරිසරය වෙත නෙත් හෙලූහ. ඒ නිසල වනයෙහි අපූරු සුන්දරත්වයේ සැබෑ සංකේතය උන්වහන්සේගේ නෙත ගැටිණ. ඒ සිත් කලු මොණර සමූහයෙකි. මැනවින් වැවුණු නිල් වන් සොඳුරු තණ පියෙසි පොළොව වසා ගෙන තිබිණි. අහස වසාගෙන තිබුණේ මොනවට පැතිර ගිය සුදෝ සුදු වළා පෙලිනි. ඒ සුන්දර, අපූර්ව දර්ශනයෙන් චූලක හිමි සිත උපන් චමත්කාරය නිතැතින් ම ගීයකට හැරිණ. මේ පොළව පිහිට කොට, ඒ අහස සෙවන කොට, ලොව වසන කාමභෝගී පුහුදුන් ප්‍රජාව, නද දෙන රඟන විසිතුරු මොණරුන් වැනි යැයි මොහොතකට චූලක හිමියනට හැඟුණා විය හැකි ය. එකලාවැ මහ වෙනෙහි ගුහාවක සිට සොබාදහම ද දකිමින් එතුමෝ ලෝ තතු සිහිගන්වති. දැහැන් වඩන්නැයි ද නිවන් සුව පහස ලබන්නැයි ද තමාටම අවවාද කර ගනිති.