Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: අවබෝධයෙන් රැස් කළ යුතු කුසලය

අවබෝධයෙන් රැස් කළ යුතු කුසලය

" මල් පූජාවට කලින් මලක පැහැය මෙන් මනස පැහැපත් කර ගත යුතු ය. පූජාවෙන් පසුත් ඒ පවිත්‍රතාවය එසේම පැවතිය යුතු ය. සුන්දර මලෙහි යථාර්ථය මැනවින් මනසට ඇතුළු කරගත යුතුවෙයි. සියල්ල එයට අනුකූලව කල්පනා කිරීමට මනස හුරු පුරුදු කර ගත යුතු යි.'


තණ්හාව පවතින්නේ පුද්ගල මනසෙහි ය. එය ඇතැම් විට සමාජයට නොපෙනෙන ලෙස භාවිත වෙයි. ඇතැම් විට සමාජයට පෙනෙයි.

දානය ද එක්තරා පරිත්‍යාගයකි. එසේ වුව ද සෑම පරිත්‍යාගයක් ම, දානයක් බවට පත්වන්නේ නැත. එයට හේතුව දානය නමැති කුසල කර්මය සම්පූර්ණ වීම සඳහා බාහිර ක්‍රියාකාරකම් පමණක් ප්‍රමාණවත් නොවීමයි. ඒ සඳහා ප්‍රධාන බලපෑම සිදුකරනු ලබන්නේ මානසික සාධක වීමත්ය. ශිලය ද එසේම ය. පංච ශීලයට අනුකූලව ජීවිතය සරසාගත් පුද්ගලයා කවරදාවත් තමා පංචශීලය රකින්නේ යැයි, ප්‍රකාශ කරනු ලබන්නේ නැත. එයට හේතුව ඔහු ඒ අනුව ජීවත්වන නිසා ය. ශීලය ආරක්ෂා කිරීමෙන් ලබන මානසික සංතුෂ්ටිය එකකි. ශීලය ආරක්ෂා කරන බවට තැන තැන ප්‍රකාශ කිරීමෙන් ලබන මානසික වින්දනය වෙනත් එකකි. භාවනාව හුදු මානසික ම ය කාරණාවක් වුව ද, එය ද වැරැදි ලෙස යොදා ගත හැකි ය. බුදු දහම යනු හෘද සාක්ෂියයි. දහම අනුව තමන් ජීවත් වනවා ද, නැති ද කියා නිවැරැදිව දන්නේ එම පුද්ගලයාගේ හෘද සාක්ෂියයි. ඉදිරි භවය හෝ ඊළඟ කාලය තීරණය වන්නේ එපරිදි ය.

කායික මානසික කිසිවක් බලාපොරොත්තුවෙන් දෙන ලද කිසිවක් දානමය පින්කමක් බවට පත්වන්නේ නැත. එසේම ශීලය භාවනාවක් බවට පත්වන්නේ නැත. එයට හේතුව බලාපොරොත්තු සහගත මානසිකත්වයක් විසින් තමන් කරන කුසල කර්මය අකුසලයක් බවට පත් කරවනු ලබන නිසා ය. මලක් පූජාකිරීමේ දී වුවද, මල් පූජාවට කලින් මලක පැහැය මෙන් මනස පැහැපත් කර ගත යුතු ය. පූජාවෙන් පසුත් ඒ පවිත්‍රතාවය එසේම පැවතිය යුතු ය. සුන්දර මලෙහි යථාර්ථය මැනවින් මනසට ඇතුළු කරගත යුතුවෙයි. සියල්ල එයට අනුකූලව කල්පනා කිරීමට මනස හුරු පුරුදු කර ගත යුතු යි. සුවඳ මලින් මුනිඳු පුදමි. (පූජේමි බුද්ධං කුසුමේනනේන) ඒ පිනින් නිවන් ලබමි. (පුඤ්ඥේන මේතේන ලභාමි මොක්ඛං) මල මැලවෙයි. එපරිදි මාගේ (පුප්පං මිලායාති යථා ඉදම්මේ)කයද විනාශ බවට පත්වේ. (කායෝ තථා යාති විනාසභාවං) එබඳු මානසික තත්ත්වයක් නොමැතිව පූජා කරන මලින් අවබෝධයක් හෝ පිනක් ලැබෙන්නේ නැත. එය කිසියම් ක්‍රියාවක් මිස කුසල කර්මයක් අත් නොවේ.

ශීලය ද එසේම ය, සිල් රැකීමෙන් ලැබෙන ලාභය වුව ද, භාවිත කළ යුතු වන්නේ අවබෝධයෙන් පරාර්ථචර්යාව ද අනුව ය. එසේ නොකළහොත් එය ද, තමාගේ අයහපත පිණිසම පවතී. තිස්ස තෙරණුවෝ සිවුරෙහි වසන කාවකුව උපත ලැබුවේ තමන් වහන්සේට කඨින චීවරය සඳහා ලැබුණු සිවුරට පමණට වඩා වැඩියෙන් ඇලුම් කළ නිසා ය.

තිස්ස නමැති තෙරනමක් සැවැත් නුවර වැඩ වාසය කළහ. පසල් දනව්වේ වෙහෙරක වැඩ වෙසෙමින් වස් කාලය තුළ ආධ්‍යාත්මික ජීවිතය වර්ධනය කර ගැනීමට සිතා සිටි තිස්ස තෙරණුවන්ට එකී කටයුතු සඳහා කාලය යොදා ගැනීම අසීරු විය. සතර පේරුවේ දායක කාරකාදීන්ගේ වැඩ කටයුතු අධික වීමත්, වෙහෙරෙහි පින්කම් බහුල වීමත් එයට හේතු විය. තිස්ස තෙරණුවන්ගේ ක්‍රියා කලාපය කෙරෙහි පැහැදුණු සතර පේරුවේ දායක දායිකාවෝ උන්වහන්සේට ගෞරව පූර්වකව සැලකූහ. තිස්ස තෙරණුවෝ ජරාවාස වී ගිය පන්සල දියුණු කරන බව ප්‍රකාශ කළෙන් දායකයෝ වඩාත් පැහැදුණහ. කඨින පින්කම මහත් ඉහළින් පැවැත් වූ තෙරණුවන්ට ඉතා වටිනා අටරියන් රෙද්දක් කඨින චීවර පූජාව වෙනුවෙන් ලැබිණි. එහි වටිනාකම නිසාම තිස්ස තෙරණුවන්ට ඒ පිළිබඳව දැඩි ආශාවක් ඇතිවිය. තමනට ලැබුණු වටිනා රෙද්ද සැවැත් නුවරට වැඩම කළ පසු එය ආරක්ෂා කර තැබීමට තම නැගණියට දුන්නේ ය. නැගණිය ද එම රෙදි කඩ ඉතාමත් ප්‍රවේසමට තැබුවා ය. තිස්ස තෙරණුවෝ කඨින පින්කම සඳහා ලැබුණු රෙදි කඩින් අලංකාර සිවුරක් මසා ගත්හ. එම රෙදි කඩින් මසන ලද සිවුර කෙරෙහි ද උන්වහන්සේට දැඩි ආශාවක් ඇති වූයේ ය. සිවුර කෙරෙහි ඇති වූ ආසාව නිසාම පසුව පොරවන්නෙමියි සිතා නැවතත් තැන්පත් කොට තැබූහ. එසේ තැබුව ද සිවුර පිළිබඳව ඇති වූ දැඩි ආශාව නිසාම එය කිළිටිවෙන බවට සිතමින් එය පොරවන්නටවත් නොගෙනම උන්වහන්සේ දිනපතාම සිවුර දෙස බලමින් සතුටු විය.

හදිසියේ හටගත් අසනීප තත්ත්වයක් නිසා උන්වහන්සේ දැඩි ලෙස ගිලන් විය. කෙතරම් අසාධ්‍ය තත්ත්වයට පත් වුව ද , ඉතා වටිනා රෙද්දෙන් මැසූ සිවුර පිළිබඳව උන්වහන්සේගේ සිතෙහි ආශාව එලෙසම පැවතිණි. දැඩිව ගිලන් වූ තෙරණුවෝ අපවත් වූහ. අපවත් වූ උන්වහන්සේ එම සිවුරෙහි වසන කාවකු වී උපත ලැබූහ. වස් සමයේ ආධ්‍යාත්මික ජීවිතය සරුසාර කර ගැනීමට ඉඩ කඩ නොලැබුණේ සතර පේරුවේ දායකයන්ගේ වැඩ කිරීම නිසා ය. උන්වහන්සේගේ ඊළඟ භවය කාවකු සේ උපත ලැබුවේ ඒ දායකයන්ගෙන් ලැබුණු පූජාවන් කෙරෙහි ලෝල සිත මනසෙහි වැඩූ නිසා ය.