Print this Article


ධම්මපදයෙන් ජීවිතයට: සැඩ දිය පහර වැළකීම

සැඩ දිය පහර වැළකීම

උට්ඨානෙන’ප්පමාදෙන
සඤ්ඤමෙන දමෙන ච
දීපං කයිරාථ මේධා වී
යං ඔඝො නාභිකීරතී

උත්සාහෙන් නො පමා වෙන්
සංයමයෙන් හා දමනෙන්
තමනට පහනක් කර ගෙන
සැඩ පහරින් ගැලවෙනු මැන

වේළුවන විහාරයෙහි වැඩ වසන සමයෙහි රජගහනුවර සිටාණන් ගේ මුණුබුරකු වූ චුල්ලපන්ථක තෙරුන් ඇරබ මේ ගාථාව වදාළ සේක.

රජගහ නුවර සිටාණන්ට මහාපන්ථක හා චුල්ලපන්ථක යැයි මුණුබුරෝ දෙදෙනෙක් වූ හ. ධර්ම ශ්‍රවණය පිණිස විහාරස්ථානයට යන විට තම මුණුබුරන් ද කැටුව යන්නට සිටුතුමා පුරුදුව සිටියේ ය.

මෙසේ දහම් අසන්නට පුරුදුව සිටි මහාපන්ථක පැවිදිව රහත් වූයේ ය. ටික කලකින් ම චුල්ලපන්ථක ද පැවිදි වූයේ ය. එහෙත් ඉගෙනුමෙහි දක්ෂයකු නො වූ හෙතෙම සිවු මසක් ම උත්සාහ කිරීමෙන් ද එක් ගාථාවක් පාඩම් කර ගන්නට අසමත් වූයේ ය. මේ අතරතුර දිනක් ජීවක වෛද්‍යවරයා බුදු පාමොක් මහ සඟනට දානයකට ඇරයුම් කිරීම පිණිස පැමිණියේ ය. ඒ සමයෙහි ඇරයුම් බාර ගැනීම කළේ මහාපන්ථක හිමියන් විසිනි. උන්වහන්සේ එදින ඇරයුම බාර ගනිද්දී චුල්ලපන්ථක හිමියන් අතහැර පිළිගත් හ. ඒ ඇසූ චුල්ලපන්ථක හිමියෝ මහත් කණස්සල්ලට පත්ව සසුනෙන් ඉවත් වන්නට තීරණය කළේ ය. ඒ ගැන දැනගත් භාග්‍යවතුන් වහන්සේ චුල්ලපන්ථක හිමියන් තමන් වෙත කැඳවාගෙන ගන්ධකුටි දොරටුවෙහි රඳවා සුදු ලේන්සුවක් අතට දී හිරු නැඟෙන දිසාවට මුහුණ ලා ‘රජෝ හරණං’ (දූවිලි පිස දමමි) යි කියමින් එය පිස දමන සේ උපදෙස් දුන් හ. උන්වහන්සේ එසේ කරන අතරතුර බුදුරජාණන් වහන්සේ සඟගණ පිරිවරා ජීවක ගේ නිවසට වැඩම කළ හ.

මේ අතර තුර ලේන්සුව පිස දමමින් සිටි චුල්ලපන්ථක හිමියන්ට තම පිස දැමීම නිසා රෙදි කඩ කිළිටි වන ආකාරය දැක ගන්නට ලැබිණ. ලොව සියල්ලෙහි යථාර්ථය දැන ගන්නට මෙය මඟක් කර ගත් චුල්ලපන්ථක හිමියෝ අසුභය, අනිත්‍යය ගැන මනාව පසක් කර ගත් හ. ජීවක ගේ නිවසේ සිටිමින් ම චුල්ලපන්ථක හිමියන් ගේ සිත විනිවිද දත් බුදුරජාණන් වහන්සේ ආලෝකයක් යවා මෙසේ ඇසෙන්නට සැලැස්වූ හ. “චුල්ලපන්ථක ලේන්සුව පමණක් නො වෙයි, ඔබ තුළත් කිළිටි තිබෙන බව සිතන්න. කිළිටි හෙවත් කෙලෙස් දුරු කිරීමෙන් පමණයි කෙනකු රහත් බව ලබන්නේ.”

බුදුරජාණන් වහන්සේ ගේ සන්දේශය මැනවින් ග්‍රහණය කරගත් චුල්ලපන්ථක හිමියෝ රහත් ඵලය ලබා ගත් හ.

ජීවක වෙදැදුරාණන් ගේ නිවසෙහි දානමය පුණ්‍ය කර්මය ආරම්භ කිරීම පිණිස ආහාර පිළිගන්වන්නට සැරසෙත් ම භාග්‍යවතුන් වහන්සේ ආරාමයෙහි තව භික්ෂූන් වහන්සේලා සිටිත්දැයි විමසූ හ. කිසිවකු නැතැයි පිළිතුරු ලැබුණ ද එය නො පිළිගත් භාග්‍යවතුන් වහන්සේ තව එක් නමක් සිටින බව පවසමින් එක් තැනැත්තෙකු අමතා “ඔබ ගොස් චුල්ලපන්ථක හිමියන් කැඳවාගෙන එන්න”යි උපදෙස් දුන්හ. පණිවුඩකරු ආපසු පැමිණියේ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ දහස් නමක් වැඩ හිඳින බව කියමිනි. ඒ හැම දෙන චුල්ලපන්ථක හිමියන් විසින් මවන ලද්දේ ය. “චුල්ලපන්ථක හිමි පමණක් කැඳවා ගෙන එන්න’යි දෙවන වර යවන ලදුව ඔහු ආපසු ආයේ, ‘හැම දෙන ම මම චුල්ලපන්ථකයැයි පැවසූහ’යි කියමිනි. ‘මුලින් ම මම චුල්ලපන්ථක යැයි කියන භික්ෂුනම ගේ අතින් අල්ලා ගන්න’යි ඔහුට භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දුන් හ. ඔහු එසේ කළ විට අනිත් පිරිස අතුරුදහන් වූ හ. චුල්ලපන්ථක හිමියෝ ඔහු සමග ජීවක මැදුරට පැමිණිය හ. දානය වළඳා නිම වූ පසු බුදුරජාණන් වහන්සේ භුක්තානුමෝදන බණ දෙසුම උන්වහන්සේට පැවරූ හ. සිංහනාදයක් පවත්වන්නා සේ මධුර ස්වරයෙන් හා නිරාකූලව චුල්ලපන්ථක හිමියෝ රම්‍ය වූ ධර්ම දේශනයක් කළහ.

උට්ඨානෙන – උත්සාහයෙන්
අප්පමාදෙන - අප්‍රමාදයෙන්
සඤ්ඤමෙන - සංයමයෙන්
දමෙන – දමනයෙන්
ච ද, මෙධාවි – නුවණැත්තා
දීපං - දිවයිනක්
කයිරාථ – නිර්මාණය කර ගන්නේ ය.
යං - යම් (දිවයිනක්)
ඔඝො - සැඩ පහරින්
න අභිකීරති – යට නො වන්නේ ද

(එවැනි දිවයිනක් තනා ගනියි)