Print this Article


මේ වස්සාන කාලයයි - 11: සත්තාහකරණය

සත්තාහකරණය

සත්තාහ කරණය යනු යම්කිසි අසනීපයකට බෙහෙත් ගැනීමට හෝ සංඝයා වහන්සේගේ පොදු කැඳවීමකට මව්පිය දෙපළගේ හෝ ප්‍රධාන හෝ ප්‍රධාන ම දායක දායිකාවකගේ රෝගාතුර වීමකට හෝ මරණයකට නැත්නම් තම ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලා ගේ ඉහත කී අවශ්‍යතාවයකට යා යුතුව ම ඇත්නම්, එදින ම හෝ ආපසු ඒමට – එදිනට ඒමට නො හැක්කේ නම් දෙතුන් දිනක් ගතවන එවැනි ගමනකට යාමට පෙර ගමනට සූදානම් වී දායක භවතෙකුට හෝ විහාරයේ වෙනත් භික්ෂු නමකට හෝ දන්වා පන්සලෙන් පිටවීමට පෙර සුදුසු තැනෙක වාඩි වී මෙසේ අධිෂ්ඨානක කරගත යුතු ය.

“සචේ මේ ජීවිතන්තරායො න භවිස්ස පුන සත්තාහබ්භන්තරේ ආගමිස්සාමි” ඉඳින් මගේ ජීවිතයට අනතුරක් නො වුණි නම් දින හතක් ඉක්මවීමට පෙර නැවත මම මේ වස්විසූ විහාරස්ථානයට නො වරදවා ම පැමිණෙන්නෙමි යනු එහි තේරුමයි. තව වචනයකින් කියතහොත් මම නො මළොත් දින හතකට කලින් ආපසු එන්නෙමි යනු යි. මෙයින් පැහැදිලි වන්නේ වස්කාලය පිළිබඳව කෙතරම් වගකීමකින් යුතුව ක්‍රියා කළ යුතු ද? යන්න ගැන බුදුරදුන් වදාරා ඇති ආකාරය ගැන ය.

දින හතක් අධිෂ්ඨාන කොට ගෙන ගිය ද ඊට කලින් පැමිණීමට බාධාවක් නැත. දින හතකට කලින් එන බව සිතාගෙන ගිය නිසා හත් වැනි දින අලුයම අරුණ නැගෙන මොහොත දක්වා ම පිට සිටිය යුතු යැයි නම නියමයක් නැත. දින හත ගෙවෙන්නට කලින් දවසකින් හමාරකින් වූව ද ආපසු පැමිණිය හැකි ය. කෙසේ හෝ වේවා තමා වස් විසූ ආරාමයෙන් පිටත්ව සත්තාහ කරණයෙන් පිට ගිය භික්ෂූන් වහන්සේ හත් වැනි දින අරුණ නැගෙන්නට පෙර එනම් හය වැනි දින අරුණ නැගෙන්නට පෙර මධ්‍යම යාමය ඉක්මවෙන්නට කලින් රාත්‍රී දෙක තුන වන විටවත් තම ආරාමයට යා යුතු ම ය. එසේ නොගිය භික්ෂූන් වහන්සේගේ වැස්ස ජේදනය හෙවත් වස කැඩීම සිදුවේ. එම භික්ෂූන් වහන්සේට එම වසරෙහි කඨින සිවුරක් පිළිගැනීම අකැප ය. ඇවතක් ද සිදුවේ.