Print this Article


දන් දුන්නත් බණ ඇසිය යුතුයි

දන් දුන්නත් බණ ඇසිය යුතුයි

තථාගත ශ්‍රී සද්ධර්මය නිවැරැදි ව වටහා ගැනීමට නම්, අපගේ කැපවීම ද අවශ්‍ය වෙනවා. දේශකයන් වහන්සේ රිසි, රිසි සේ දේශනා කළ ද, අප ඒවා ඇසිය යුත්තේ සිහිය හා නුවණ භාවිත කරමිනු යි. “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු ය” යනුවෙන් ඉගැන්වීමක් ද තිබෙන බව ධර්මය අසන සැවොම මතක තබා ගත යුතු කරුණකි.

නිවැරැදි දැනුමක් ඇති කර ගන්නට නම්, දෙසුම ද, ඇසුම ද යන කාරණා දෙක ම නිවැරැදි විය යුතුයි. වැරැදි දෙසුමක් අසා නිවැරැදි දැනුමක් ඇති කර ගන්නට බැහැ. ඒ නිසා දෙසන්නා වැරැදියට කිව්වත්, අසන්නා සිහි බුද්ධියෙන් විමසා බලා ඇසුවහොත් දෙසන්නේ වැරැදි දෙයක් බව හෝ වටහා ගැනීමට හැකි වෙනවා. දෙසන සෑම දෙයක් ම සැබෑවක් යැයි පූර්ව නිගමනවලට නො ගොස් ඕනෑම දෙයක් අසන්නට පුරුදුවීම ඉතා වැදගත්. බුදුරජාණන් වහන්සේ සතු වූ තෙසැත්තෑ ඤාණ අතුරෙන් සුතමය ඤාණය අංක එකට යොදා ඇත්තේ සිහි කල්පනාවෙන් ඇසීම සියලු ඤාණයන්ට මුල් වන බව අපට සිහිපත් කරවමිනු යි.

ආධුනික ශ්‍රාවකයෙක් ධර්මය අසන විට දේශකයන් වහන්සේ වදාරණ ඒ දහම හරි ද? වැරැදි ද? යි එකවර තීරණයකට එළඹිය නො හැකියි. ඒ නිසා වඩ වඩාත් හොඳින් දහම ඇසිය යුතුයි. කිසිවක් එකවර පිළිගන්නේ නැති ව මධ්‍යස්ථ ව, විමසුම් නුවණින් තේරුම් ගැනීමට උත්සාහ කළයුත්තේ ඒ නිසයි. ඇතැම් අය ධර්මය අසද්දී අපි නම් අසන්නේ අසවල් හාමුදුරුවන්ගේ බණ විතරයි, අපි ඔය අනෙක් අයගේ බණ අසන්නේ නැතැයි පවසනවා. නමුත් ඒ ඇසීම වඩාත් නිවැරැදි ක්‍රමයක් ලෙස අගය කළ නො හැකියි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නම් තමන් අතිශයින් ම ගරු කරන පුද්ගලයා කීවා ය, අසවල් පණ්ඩිත හාමුදුරුවන් කීවායි, අසවල් ප්‍රසිද්ධ පුද්ගලයා කීවාය, කියා පිළි නො ගෙන ඇසූ ධර්මය තමන් නුවණින් විමසිය යුතුයි යන්න යි. ඒ නිසා ධර්ම ශ්‍රවණයේ දී වුව විවිධත්වයෙන් යුතුව ධර්මය ශ්‍රවණය කිරීම වැදගත් වෙනවා. එකම සුත්‍ර දේශනාව වුව විවිධ දේශකයන් වහන්සේ විවිධ පැතිකඩ ඔස්සේ විවරණය කරන අවස්ථා තිබෙනවා. කෙනෙකුට නො පෙනෙන වැදගත් කාරණාවක් තවත් කෙනෙක් පෙන්වා දෙන්න පුළුවන්. ඒ නිසා විවිධ දේශකයන්ගෙන් අසා දැන ගෙන සුතමය පඤ්ඤාව දියුණු කර ගැනීම වැදගත්.

කෙනෙක් තමන් අසා තිබෙන දහමින් පිටස්තර ව ඇසෙන විට එය වටහා ගැනීමට පුළුවන්. ඉන්පසු ඒ තැනැත්තා ඒ ඇසු දේ නුවණින් විමසා බලනවා. ඒ තුළ කුසලය ක්‍රියාත්මක වෙනවා ද, අකුසලය ක්‍රියාත්මක වෙනවා ද, බුද්ධ දේශනාවට අනුගත ද කියා විමසනවා. එසේ විමසා බලා ධර්මයට එකඟ බව වැටහේ නම්, එය පිළි ගන්නවා. මේ ලෙසින් ධර්මය හමුවේ කටයුතු කිරීමට නම් හොඳ ධර්ම ඤාණයක් තිබිය යුතු වෙනවා. එයට බොහෝ සෙයින් ධර්මය ශ්‍රවණය කළයුතු වෙනවා. දහම් පොතපත කියවිය යුතු වෙනවා. නැවත නැවත ධර්මය විමසිය යුතු වෙනවා. එසේ නොමැති ව ධර්මය අසා සාධුකාර දුන් පමණින්, ධර්මය වැටහෙන්නේ නැහැ.

දහම ඇසූ පමණින්, ත්‍රිපිටකය කට පාඩම් වූ පමණින්, සූත්‍ර දේශනා රාශියක් දැන ගත් පමණින් යමෙකුට ධර්මාවබෝධය සිදු වන්නේ ත් නැහැ. දැන ගත් දෙය අනුව ප්‍රායෝගික වන විටයි ධර්මාවබෝධය නැතිනම් සත්‍යාවබෝධය ඇතිවන්නේ. බොහෝ දෙනා නිර්වාණගාමී මාර්ගය අසා දැන ගන්නවා. නමුත් ඒ මාර්ගයේ ගමන් කරන්නේ නැහැ. ධර්ම මාර්ගයෙහි ගමන් නො කරන තැනැත්තාට කිසි දිනක ඒ මඟ කෙළවර හමුවන නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙකල බොහෝ දෙනා ධර්මය ඇසුව ද, ධර්ම මාර්ගයේ ගමන් කරන බවක් පෙනෙන්නට නැහැ. ධර්මය තිබෙන්නේ අවබෝධය පිණිස මිස බුද්ධිමය වින්දනය සඳහා පමණකැයි අප හැමවිට ම නො සිතිය යුතුයි. ධර්මය වැරැදි කොනෙන් අල්ලා ගතහොත් ඇතිවන භයානක ප්‍රතිඵල නිරන්තරයෙන් සිහියේ තබාගෙන ධර්මය සමඟ කටයුතු කළ යුතු වෙනවා.

බොහෝ දෙනා දන් දෙන්නට, විවිධ පුද පූජා පවත්වන්නට, පෙරහර සංවිධානය කරන්නට තිබෙන උනන්දුව ධර්මය අසන්නට දක්වන්නේ නැහැ. නමුත් අප වටහා ගතයුත්තේ දන් දුන් පමණින්, වන්දනාමාන කළ පමණින් මඟඵල අවබෝධ කර ගත හැකි වන්නේ නැති බව යි. දන් දීමෙන් පසු ද කළ යුත්තේ ධර්මය ඇසීම යි. දන් දීමෙන් පසු සිදු කරන ලද ධර්මය අසා මඟ ඵල ලැබූ අය ගැන ශාසන ඉතිහාසයේ සඳහන් වුව ද, දනක් දුන් පමණින්, මලක් පිදු පමණින් මඟ ඵල ලැබූ බවක් සඳහන් වන්නේ නැහැ. එසේ වන්නේ නම් දන් දෙන සැවොම නිවන් දැකිය යුතු ය. මල්, පහන් පුදන සැවොම නිවන් දැකිය යුතු ය. නිවන් දැකිය හැකි වන්නේ අවබෝධයෙන් ඒ ඒ ක්‍රියාකාරකම් සිදු කරන විට පමණි. අවබෝධයට පත්වීමට නම් දහම් ඇසිය යුතු වෙනවා.

මෙකල බොහෝ දෙනා ධර්මය නමින් අසනුයේ ද තමන්ගේ භව ගමන දිගු කර ගන්නට හේතු වන දේශනා යි. බොහෝ දෙනා අකාලික බුදු බණ ද කාලීන ධර්ම දේශනා වශයෙන් කොටස් කර ගෙන සිටිනවා. බුදු දහම තුළ තිබෙන්නේ එක කලකට පමණක් ගැළපෙන දහමක් නොව සාර්වකාලීන අගයකින් යුතු දහමක්. ඒ නිසා බුදු දහමෙහි කාලීන ධර්මය තිබෙන්නට බැහැ. නමුත් බොහෝ දෙනා කාලීන බණ යැයි බුදු දහමින් එදිනෙදා ජීවිත සරු කර ගැනීමට දේශනා කළ කාරණා ද, පවුල් ජීවිතය, යුතුකම්, සමාජ සාරධර්මය වැනි කාරණා සම්බන්ධයෙන් බුදුපියාණන් වහන්සේ දේශනා කළ කාරණා ද දේශනා කරමින් මේ වටිනා දහම එක ලෞකික තැනකට පමණක් සීමා කිරීම නො කළ යුත්තකි.