Print this Article


අකුසල් දුගතියට මාවතයි

අකුසල් දුගතියට මාවතයි

අයසාව මලං සමුට්ඨිතං
තදුට්ඨාය තමේව ඛාදති
ඒවං අතිධෝනවාරිනං
සක කම්මානි නයන්ති දුග්ගතිං

(යකඩින් උපන් මලකඩ ඒ යකඩය ම නසයි. අනුවණයා කළ පව්කම් ඔහු ම අපායට පමුණවයි.)

මෙම ගාථාව ධම්ම පදයේ මල වග්ගයට අයත් හයවෙනි ගාථාවයි. සැවැත් නුවර තිස්ස නම් භික්ෂූන් වහන්සේ නමක් මුල්කරගෙන දේශනා කරන ලදී.

උන්වහන්සේ සැවැත් නුවර ඈත සෙනසුනක වස් තුන් මාසය නිම කිරීමෙන් පසුව, සැදැහැ සිත් ඇති දායක පිරිස සිවුරක් සකස් කර ගැනීමට අටරියන් දුස්සක් (වස්ත්‍රයක්) පූජා කළහ. එම වස්ත්‍රය ද රැගෙන සැවැත් නුවරට නැවත පැමිණ පරිස්සම් කර තැබීමට සිය නැගණියට දෙන ලදී. එම වස්ත්‍රය ඉතාමත් දළ රළු ය. තිස්ස හිමියන්ගේ නැගණිය එය සහෝදරයන් වහන්සේට නුසුදුසුයැයි සිතා, නොවිමසා, වස්ත්‍රය ලිහා නූල් වෙන වෙනම වියා සකස් කර ඉතා සියුම් ලෙස නව රියන් පිළියක් (රෙද්දක්) ක්‍රමානුකූල ව අලංකාර ව සකස් කළා ය.

තිස්ස හාමුදුරුවෝ සිවුරක් මැසීමට වස්ත්‍රය ලබා ගැනීමට නැගණිය වෙත වැඩම කළහ. නැගණිය වස්ත්‍රය ලබා දුන්නා ය. නමුත් එය රළු වස්ත්‍රය නොව මටසිලුටු ලෙස සකස් කරන ලද දීප්තිමත්, සිනිඳු නවරියන් වස්ත්‍රයකි. එය ලබාගෙන විහාරස්ථ භික්ෂූන් වහන්සේලාගේ සහයෝගය, උපකාරය, අනුශාසනාව ඇතිව විනයානුකූල ව අලංකාර චීවරයක් (සිවුරක්) සකස් කළහ.

නමුත් මෙම සිවුර පිළිබඳ ව අධික ලෙස ලෝභ සිතක් පහළ කරගෙන, පරිස්සමට තැබුවේ ය. වරින් වර එය රැගෙන ද බලයි. තව තවත් තෘෂ්ණාව ඉහළ යයි. සිවුර බොහොම ලස්සනයි. පි‍්‍රයමනාපයි. පසුව පරිහරණයට ගනිමි’ යි කල්පනා කරයි.

මේ අතරතුර උන්වහන්සේ බලවත් සේ අසනීප වී අපවත් වූ හ. එම මරණාසන්න අවස්ථාවේ දී අකුසල ජවන් සිත් පහක් ගමන් කර, චුති චිත්තයේ දී (මේ භවයේ අවසාන සිත) සිවුර පිළිබඳව ලෝභී සිතක් මතු වී, එම සිවුරේ ම කාවෙක් (හිණි උකුණෙක්) වී ඉපදුණේ ය. උකුණාගේ ආයුෂ දින හතකි. බුදුන් වහන්සේගේ උපදෙස් අනුව සිවුර දිග ඇරීම, සතා ඉවත් කිරීම ආදී කිසිදෙයක් නොකරන ලෙස ධර්මානුකූලව පැහැදිලි කළ සේක. හිණි උකුණා මියගොස් තුසිත දෙව්ලොව ප්‍රතිසන්ධිය (උප්පත්තිය) ලැබූ බව සඳහන් වේ.

“දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ”

(මිනිසත් බව ලැබීම අතිශය දුර්ලභයි)

මිනිසත් බව ලැබූ සමහර අය එම භවයේ වටිනාකම, වැදගත්කම, උසස් බව අවබෝධ කර නොගැනීම විශාල අවාසනාවකි. මනුෂ්‍ය භවය තුළ ලබන්න බැරි දෙයක් නොමැත. දේව ආත්ම, සක්දෙවි ආත්ම, බඹලොව ආත්ම, සතර මඟ, සතර ඵල, රූපාවචර, අරූපාවචර, බුද්ධත්වය, නිවන වැනි උත්තරීතර වාසනාවන්ත පුණ්‍ය භූමිවලට පැමිණිය හැකි ය. නරක, තිරිසන්, ප්‍රේත, අසුර වැනි සතර අපා භූමියටද ගමන් කරනුයේ මිනිස් භවයේ සිට ය.

පව්කම් විපාක දීමේ දී ගිහි, පැවිදි, ස්ත්‍රී පුරුෂ කියා වෙනසක් නොමැත. සැමදෙනාටම එකසේ සමාන වෙති. ලෝ වැඩ සඟරා කාව්‍යයේ පෙන්වන ආකාරයට එය මෙසේ ය.

‘කරන කලට පව් මීරිය මීසේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ’

පාපයක්, අකුසලයක් කරන විට මී පැණිමෙන් මිහිරි ය. රසවත් ය. එහි විපාක ය විඳින විට දී මහත් බිහිසුණු කටුක බවක් වෙයි. කරන ලද අකුසලය, පව අළුයට සැඟවගත් ගිනි පුපුරක් මෙන් පවතී.

දහම් කරුණු විග්‍රහ කිරීමේ දී අකුසල් (පව්) සිදුවීමට චෛතසික (සිතිවිලි) තුනක් ප්‍රධාන වේ. එනම් ලෝභ, දෝෂ, මෝහය මෙහි දී ලෝභය අතිශය භයානක අකුසල චෛතසිකයකි. අකුසල මූලයකි. ‘තණ්හා ජනේති පුරිසං’ උප්පත්තිය ලබනුයේ තෘෂ්ණාවේ ප්‍රතිඵලයක් ලෙසිනි. තෘෂ්ණාව සම්පූර්ණයෙන් ම නැති කළ විට ප්‍රතිසන්ධියක් (උප්පත්තියක්) නොමැත. තණ්හාව හඳුන්වන වචන සියයක් අභිධර්ම දේශනාව තුළින් පෙන්වා දෙයි.

ධම්මපද දේශනාවේ මල වග්ගයේ දාහත් වන ගාථාව මෙලෙස පෙන්වා දෙයි.

නත්ථි රාගසමෝ අග්ගි
නත්ථි දෝසසමෝ ගහෝ
නත්ථි මෝහසමං ජාලං
නත්ථි තණ්හාසමා නදි

රාගය සමාන ගින්නක් නැත. ද්වේෂය සමාන (බැඳි වෛරයෙක) ගැනුමක් නැත. මෝහය සමාන දැලක් නැත. තණ්හාව සමාන ගඟක් නැත.

මෙම හතර පද ගාථාව තුළින් තෘෂ්ණාවේ තිබෙන භයානක ස්වභාවය සාර්ථක ව මැනවින් පෙන්වා දෙයි. තෘෂ්ණාව වර්තමාන මිනිස් ජීවිතයේ දී සහමුලින් ම ඉවත් කිරීමට අපහසු ය. නමුත් ඔබ පරිත්‍යාග කරන, දන්දෙන අවස්ථාවේ දී එම කොටසෙහි අතින් හෝ සිතෙන් අල්ලා ගැනීමක්, ග්‍රහණය කිරීමක් නොමැතිව දිය යුතු යි. දුන් දේ පිළිබඳව නැවත නැවත සොයා බලනවා නම්, විපරම් කර බලනවා නම් ඔබ තවම දීලා, පරිත්‍යාග කර නොමැත. ආසාව, තෘෂ්ණාව, ලෝභකම ඇතිව යමක් දීම ගඟට කැපූ ඉන්නක් බව දහමේ පෙන්වා දෙයි.

මනස (සිත) ප්‍රධාන කොට ගෙන පසිඳුරන්ට (ඇස, කන, නාසය, දිව, ශරීරය) ගැටෙන බාහිර ආරම්මන (අරමුණු) නිසා ලක්ෂ කෝටි සංඛ්‍යාත අකුසල චෛතසික (සිතිවිලි) සිතෙහි පදිංචි වෙයි. උපදියි.

අකුසල මූලවල දෙවන චෛතසිකය දෝෂ චෛතසිකයයි. අභිධර්මයේ දී ද්වේෂ සිත් දෙකක් පෙන්වා දී ඇත. රජගහනුවර ගිජ්ඣකූට පර්වතයේ පාමුල ලක්ඛණ රහතන් වහන්සේ සමඟ මුගලන් රහතන් වහන්සේ පිඬු සිඟා වඩින අවස්ථාවේ දී ඇටසැකිල්ලක් බඳු ප්‍රේතයකු දක්නට ලැබුණි. ගිජු ලිහිණියෝ, කවුඩෝ, උකුස්සෝ ප්‍රේතයාගේ මස් කඩ කඩා කන අයුරු මුගලන් මහ රහතන් වහන්සේ දිවැසින් දුටහ.

මෙම ප්‍රේතයා පෙර භවයක දී රජගහනුවර ගව ඝාතකයෙක් වී අමානුෂික වද දී ගවඝාතනය කිරීමේ බලවත් අකුසලයෙන් නිරාදුක් විඳ ප්‍රේත ආත්මයේ කටුක අමිහිරි දුක් විඳින බව බුදුරජාණන් වහන්සේ ධර්මානුකූලව දේශනා කළ සේක.

අකුසල මූලවල තෙවන චෛතසිකය මෝහ මූල චෛතසිකය යි. අභිධර්මයේ දී මෝහ සිත් දෙකක් පෙන්වයි. මෝහය භයානක අකුසල කර්මයක් බව ධර්මයේ පෙන්වා දී තිබේ. මෝහය යනු අවිද්‍යාවයි. පින්, පව්, කුසල්, අකුසල් පිළිබඳ ව නොදැනීමයි. මෝහය උත්සන්න වීම තුළ විචිකිච්චා (සැකය) වට ගොදුරු වී බුද්ධාදී අටතැන් සම්බන්ධ ව සැක පහළ කර ගනී. ඒ තුළ මිථ්‍යා දෘෂ්ටියට ද වැටේ. මෝහ මූලිකයා තමාගේ අදහස් පමණක් ම පිළිගනී. ගුණ ධර්ම, සාර ධර්ම ඇගයීමක් නොකරයි.

මෝහ මුල සිත් ඇත්තා සසර ගමනේ අන්ධයෙක් සේ කටයුතු කරයි. ඔහු විසින්ම දුගතිය මොහොතක් පාසා ළංකර ගනී. අපායේ දොරගුළු විවර කර ගනී.

මෙම අකුසල මූලය නිසා මරණින් පසු පහත් තිරිසන් යෝනිවල ප්‍රතිසන්ධිය (උප්පත්තිය) ගනී. උදාහරණ ලෙස, ගැරඬිකුලය, සුනඛ, බළල් ආදී බුද්ධියෙන් හීන තිරිසන් සත්තු වී උපදිති. මිනිසත් භවයක් ලැබුවත්, අඳ, ගොළු, බිහිරි, අභව්‍ය පුද්ගලයෙක් වී අන්ත අසරණ මන්ද බුද්ධික ව උපදියි. මනුෂ්‍ය ප්‍රජාවගේ ම ගැරහුමට, නීච බවට පත් වේ. විරූපී මුහුණු, අප්‍රසන්න දත් පිහිටීම්, හා විවිධ වූ අවලක්ෂණ ශරීර ද ඇතිවීමට මෝහ සහගත අකුසල් සිත විශේෂයෙන් බලපායි.

ඔබ අතින් සිදුවුණ වැරැදි පව්කම් නැවත නැවත නොකිරීමත් , එම අකුසල් මෙනෙහි (සිහිපත්) නොකිරීමත්, කළ කුසල් නිතිපතා සිහි කිරීමත් , පින් පොතක් සකස් කිරීමත් ඉතාමත් යෝග්‍ය වෙයි.

පව්කම් අකුසල් සතර අපායට දුගතියට මාවත බව දැනගෙන, අවබෝධ කරගෙන නිවන් දොර ඇරගන්නට නිතිපතා කුසල් දහම් වඩමු.