Print this Article


ගුණ නුගුණ හැඳිනීම

ගුණ නුගුණ හැඳිනීම

අසප්පුරිස - වධුකා සූත්‍රයෙහි වදාරණ පරිදි අසත්පුරුෂයාගේ හැඳීනීම් ලක්ෂණ සතරකි. ඒ අනුව යමෙක් යමෙකුගේ යම් නුගුණයක් වේද එය කිසිවෙකු විසින් නොවිමසන ලදුව ම ප්‍රකාශ කරයි ද, අසන ලදුව විස්තර සහිතව රස කරමින් කියයි ද, එමගින් සතුටුවේ ද, මෙය අසත්පුරුෂයාගේ පළමු ලක්ෂණයයි. මෙලොව වෙසෙන යම් පුද්ගලයෙකුගේ ප්‍රකට වූ යම් යහපත් ගුණයක් වේද ඒ ගුණය ගැන නොදන්නා අයෙකුට තමා විසින් හිතා මතාම නොකියයි ද, ඒ ගුණය ගැන විමසූ පසු නොකියා බැරි තැන යම්තම් වචන මාත්‍රයක ප්‍රකාශයක් කරයි ද, අනෙකාගේ ඇති ගුණ කීමෙහි ගුණමකු වන්නාගේ ඒ ලාමක ගතිය දෙවන අසත්පුරුෂ ලක්ෂණය යි. තුන්වන අසත්පුරුෂ ලක්ෂණය නම් තමාගේ ඇති ගුණ නෑසූවිට හුවා දැක්වීම යි. අනෙකා විසින් ඇසූ විට වඩ වඩාත් තමා මතුකර දක්වා, තමාගේ ම ගුණ කියා ගනියි නම් ඔහු ද අසත්පුරුෂයෙකි. තමා සතු වැරැද්දක්, අඩුපාඩුවක් නුගුණයක් අසද්දී පවා ඒ ගැන ඇති ලෙස නොකියන බව සතරවන අසත්පුරුෂ ලක්ෂණය යි.

බේරීමට නොහැකි තැන යන්තමින් ලිස්සා යන, වචනයක් කියා මගහැර තම නුගුණ සඟවාගන්නා පුද්ගලයා සත්පුරුෂයෙකු නොවන බව වදාරා ඇත.

මෙලෙසින් අසත්පුරුෂයාගේ හැඳීනීම් ලක්ෂණ උගන්වන බුදුරදුන් එවැන්නන් ඇසුරින් දුරුකළ යුතු බව වදාරණ සේක. නොඑසේ නම් ඔවුන්ගේ අසද්ධර්ම නපුරු ගතිලක්ෂණ තමාට ද බෝවිය හැකි ය. යමෙකුගේ ඇති ගුණයක් අනුමෝදන් විය නොහැකි පුද්ගලයාට මොනම යහපතක් හෝ සිදු නොවේ. වන්නේ ඊර්ෂ්‍යාව හා වෛරය වැඩි වීමයි. එමගින් ඔහු වඩ වඩාත් පරිහාණිය කරාම යොමු වේ.