Print this Article


ඒහි පස්සික 32: මූලික අරමුණට සකසමු සිත

මූලික අරමුණට සකසමු සිත

පාසල් අධ්‍යාපනය ලබන දරුවෙකු වෛද්‍යවරයෙකු වීමේ අරමුණින් සිටින්නේ නම් ඒ අරමුණ සිහියට නැගෙන්නේ ඇතැම් විට සිසුවෙකුට වෛද්‍යවරයෙකු දුටු විට ය. සෑම මොහොතකම තම අරමුණ මතකයට එන ආකාරයට අපගේ සන්තානය සකස් කර ගත යුතු ව තිබේ.

යම් හැඟීමක් ප්‍රබල නම්, ඒ හැඟීම සමඟ අපි ජීවත් වෙමු. ඇතැමෙක් යමක් ආරම්භ කරන වීර්ය ටික දිනක් ගෙවී යන විට අතහැර දමනවා නම්, එය ජීවිතයකට බලපාන විශාල ගැටලුවක් වේ. කවර ක්‍රියාවක් සිදු කළ ද, තමාගේ මූලික අරමුණ කෙරෙහි යොමුවීමට අවශ්‍ය සිත සකස් කරගත යුතු ය.

යම් අරමුණකට ළඟා වූ විට අප වෙත ලැබෙන ලාභයක් පවතී. පාසල් දරුවෙකු නම් ඔහු හෝ ඇය විභාගය ඉහළින් ම සමත් වූ දවසේ ලැබුණු සුබපැතුම්, පළමුව මව්පිය දෙපළට එය දැන් වූ විට ඔවුන්ට ඇතිවන සතුට, එතැන් පටන් සමාජය වෙතින් ලැබෙන පිළිගැනීම එවැනි දේ මෙනෙහි කරන විට ඒ මොහොතේ ම කැමැත්ත ඇති වේ.

ඇතැම් විට තමාගේ අරමුණට යාමට අපහසු වූ විට සිදුවන දේ ද මෙනෙහි කළ යුතුයි. අරමුණට යා නොහැකි වූ විට කවුරුන් හෝ යටතේ ජීවත්වීමට සිදු වේ. අරමුණට ගියවිට ලැබෙන ලාභයත්, අරමුණට නොගිය විට ලැබෙන පාඩුවත් අප මෙනෙහි කළ යුතු ය. නැතහොත් ආදීනව සහ ආනිශංස හොඳින් මෙනෙහි කළ යුතු ය. ඒවා මෙනෙහි කරන විට අරමුණට යා යුතු ය. යන හැඟීම සිතෙහි ප්‍රබල වේ.

අනිත්‍ය සඤ්ඤා, අනන්ත සඤ්ඤා, අසුභ සඤ්ඤා, ආදීනව සඤ්ඤා ආදී වශයෙන් කළකිරෙන දේ පහාණ සඤ්ඤා, විරාග සඤ්ඤා නිරෝධ සඤ්ඤා යනුවෙන් සඳහන් වෙනවා. නිවන් දුටු තැනැත්තා තුළ පවතින මානසික තත්ත්වය ඔහු හැම මොහොතක ම විරාගී විය යුතු යි. විරාගී විය යුතුයි යන ප්‍රබල හැඟීමක් ඇතිකර ගන්නා ආකාරය හෙවත් නිවන් දක්නා වැඩ පිළිවෙළ බුදුරජාණන් වහන්සේ විසින් මොනතරම් ක්‍රමානුකූලව දේශනා කර තිබේදැයි සිතා විමසා බලන්න.

අරමුණකට යා යුතු නම්, අපගේ මනස තුළ ඒ පිළිබඳ සිහිය පවත්වාගත යුතු වේ. අප හැම නිතර ම අමතක කරන දෙයක් නම් තමාගේ සිත පිළිබඳව සිහිකිරීමය. බෞද්ධයන් ලෙස හැම මොහොත ක ම තමාගේ සිත පිළිබඳ සිහියෙන් පසුවිය යුතු ය.

බොහෝවිට අප හැම කෙනෙකුට ම සිහිය පවතින්නේ කය පිරිසුදු කිරීම ගැන ය. කය මාර්ගයෙහි රැගෙන යන ආකාරය සූදානම් කර ගත්ත ද, සිත එසේ රැගෙන යා හැකි අයුරෙන් සකස් කර ගනු නොලැබේ. ඒ සිත පිරිසුදු නොකරයි. ඒ සිත අරමුණක ට යා හැකි අයුරෙන් සකස් නොකරයි. ඒ නිසා ම අප හැමදා ම අපහසුතාවය ට පත් වනු ලැබේ. වරක් වැරැදී ගියහොත්, නැවත ඒ වැරැද්ද සිදු නොවන ආකාරයට අපගේ ජීවිතය අප සකස් කර ගතයුතු වේ. අරමුණට යා නොහැකි වූ විට ඊට බලපෑ හේතුවත් සමඟම සිහියට නඟා ගත යුතු ය. හිත අරමුණ කෙරෙහි පුහුණු කළ විට ප්‍රබල චේතනාවක් ඇති වූ තැනැත්තාට අපේක්ෂිත ස්ථානයට පහසුවෙන් සහ ඉක්මනින් යා හැකි වේ. මා මෙම අරමුණට යාමෙන් ලැබෙන්නේ මොනවාද? එමෙන් ම අරමුණට නොයාමෙන් නොලැබෙන්නේ මොනවාදැයි මෙනෙහි කළ යුතු ය.

නිවන් දැකීම ප්‍රබල අරමුණ බවට පත් කරගත යුතු ය. උප අරමුණු ලෙස ජීවිතයේ දවසකට, සතියකට, මාසයකට, වසරකට ආදී වශයෙන් අරමුණු පවත්වා ගත යුතු වේ. ජීවිතයට අරමුණක් තිබිය යුතු ය. ඒ අරමුණට සැලැස්මක් තිබිය යුතු ය. සැලසුම් සකස් කර, අරමුණ ඇතිකරගෙන ඒවාට යාම සඳහා හිත සකස් කරගත යුතු වැඩ පිළිවෙළ සිදුකර ගනිමු.

අරමුණට ගිය විට ලැබෙන ආනිශංසත්, නොගිය විට ඇතිවන ආදීනවත් මතක් කරමු. මෙනෙහි කර ගනිමු. ඉතින් එය මෙනෙහි කිරීම මතකයට නැගේද? සෑම ගැටලුවකටම පිළිතුරක් පවතී. ධර්මය තුළ අප හැම දෙනා ම දිනපතා කළ යුතු දෙයක් පවතී.

අද තමා, හිමිදිරියේ පිබිදුණු විගස මුහුණකට සෝදා පානය කරන තේ කෝප්පය සිහියට නැගේ. එය වෙනත් අයෙකු විසින් මතක් කරවීමක් සිදු නොවේ. උදයේ ම තේ කෝප්පය සිහියට එනුයේ පුරුද්දක ට අනුව යාම නිසා ය. එක් වෙලාවක, එක් දෙයක් එක් දිගට කර ගෙන ගියහොත් ඊට පුරුද්දක් ඇතිවේ.

එසේ නම් අපේ හිතට යම් දෙයක්, යම් වෙලාවක මතක් වන ආකාරයට පුරුදු කළ හැකි වේ. එසේ නම් අප කළ යුත්තේ අරමුණ මෙනෙහි කිරීම එකම වෙලාවක තබා ගත යුතු යි. ඊට හොඳම වෙලාව නම් බුද්ධ වන්දනාව කරන වෙලාව යි. එහෙමත් නැතිනම් ජීවිතයේ හැමදාම යහපත් ක්‍රියාවක් කිරීම ආසන්නයේ ම මූලික අරමුණ මෙනෙහි කිරීම තබාගත යුතු ය. මළ ගෙදරක් තිබුණත්, ගංවතුරක් පැමිණියත් ගසක් යට හෝ අප නින්දට පත්වෙනවා. නැවත පිබිදෙනවා. එමෙන් ම බුද්ධ වන්දනාව ද කළ නොහැකිවීම ට ත් අවස්ථාව යෙදේ. එහෙත් නින්දෙන් පිබිදීම සිදු වූ වෙලාවේ තමාගේ යහපත් වූ මූලික අරමුණ සිහිපත්වන විදියට එය පුරුදු කළ යුතු ය. ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ නායකයන්, විශිෂ්ට දර්ශනික උතුමන් තමන්ගේ ඒකායන අරමුණ උදෑසන සිහි කළ උතුමන් අතර වේ.