Print this Article


බුද්ධ රත්නය

බුද්ධ රත්නය

යං කිඤ්චි විත්තං ඉධවාහුරංවා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

මනුෂ්‍ය ලෝකයෙහි හෝ පරලෝකයෙහි හෝ වෙනත් ලෝකයක හෝ බුද්ධ රත්නයට වඩා ප්‍රණීත, ශ්‍රේෂ්ඨ රත්නයක් තවත් නැත්තේ ය, යනු රතන සූත්‍රයෙන් උපුටාගත් ඉහත ගාථාවෙහි අර්ථය යි.

බුදුරජාණන් වහන්සේ දෙවියන්ට දෙව් වන සේක. බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වන සේක. සීලාදී ගුණ ධර්මවලින් ද, ප්‍රඥා වීර්යාදී අධ්‍යාත්මික ශක්තිමය ගුණධර්මවලින් ද අතිශයින් පිරිපුන් භාග්‍යවත් වූ බුදුවරයෙකුට වඩා කාය බලයෙන් හෝ,ඤාණ බලයෙන් හෝ, බලවත් වූ වෙනත් කිසි කෙනෙකු දිව්‍ය ලෝකයෙහිවත්, බ්‍රහ්ම ලෝකයෙහිවත්, මනුෂ්‍ය ලෝකයෙහිවත්, කිසිම තැනෙකත් නැත්තේ ය.

‘රතන’ යනුවෙන් හඳුන්වන්නේ මේ ලෝකයෙහි පවත්නා ඉතා වටිනා ශ්‍රේෂ්ඨ වස්තුවකටය. බුදුරජාණන් වහන්සේ රත්නයක් වන්නේ කෙසේදැයි, අපි මෙහි දී සලකා බලමු. පොළොවෙහි සැඟ වී පවත්නා අගනා ඛනිජ වර්ගවලට රත්න යැයි, ඒවායෙහි අගනා බව සලකා අපි කියමු. එසේ කියන්නේ ඒවා නිතර හමු නොවන බැවින් ද, සෑම තැනෙක ම දක්නට නොලැබෙන බැවින් ද යන කරුණු නිසා ය. එහෙයින් ලෝ වැස්සන් විසින් ඒවා අගනා වස්තුන් හැටියට සලකනු ලැබේ. බුදුරජාණන් වහන්සේලා ද ලෝකයෙහි දක්නට ලැබෙන්නේ ඉතාමත් දුර්ලභ ව ය. බුද්ධ රත්නය. ධම්ම රත්නය සහ සංඝ රත්නය ද මිනිස් ලෝකයේ එසේ ඉතා දුර්ලභ ව දක්නට ලැබෙන, අගය කළ නොහැකි වස්තූහු ය. එයිනුදු බුද්ධ රත්නය ම ඉතාමත් දුර්ලභ රත්නයක් වන්නේ, ජීවමාන ව වැඩ සිටින බුදුරජාණන් වහන්සේ කෙනෙකු ලොව දැකිය හැක්කේ ඉතාමත් ම කලාතුරකින් සහ කෙටි කාලයක් තුළ බැවිනි.

දීර්ඝ ජීවි බුදුවරුන් ද කර්මානුරූපව ලෝකයෙහි ඉතා කලාතුරකින් ඇතැම් කල්පවල උපදින බව දැක්වේ. එහෙත් එම අවස්ථාවන් ලැබීමට ද මිනිසුන්ගේ කුසල බලය ම බලපවත්නා බැව් වටහා ගත යුතු ය. ඉතාමත් දීර්ඝ වූ මෙම සංසාරයේ ඉතාමත් ස්වල්පයක් ව උපදනා මිනිසත් බව ලබන්නවුන්ට එවැනි බුදුවරයෙකු ගේ කාලයක මිනිස් ලොව උපතක් ගබාගත හැක්කේ ද ඉතා දුර්ලභව ය. එය රත්නයක් ලබා ගැනීම හා සමාන ව වන බැවින් බුදුරජාණන් වහන්සේ රත්නයක් වශයෙන් හඳුන්වයි.

උන්වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන් සහිත මේ තුන්ලෝකයෙහි වෙනත් කිසිම කෙනෙකුටත් වඩා ප්‍රඥාවෙන් අග්‍ර වන සේක. අසමසම වන සේක. ඒ උතුම් වූ බුද්ධරත්නය මේ මහා විශ්වයෙහි බලපවත්නා වෙනත් කිසිම වස්තුවකටත් වඩා උතුම් වන සේක. ඒ රත්නයට වෙනත් කිසිම වස්තුවක් සමාන කළ නොහැකි බැවින් උන්වහන්සේට බුද්ධ රත්නය යැයි කියනු ලැබේ.

වරක් බුදුරජාණන් වහන්සේ එක්තරා වනාන්තරයක දී ගසක් යට වැඩ හිඳිමින් බිම වැටුණු කොළ මිටක් අතටගෙන භික්ෂූන් වහන්සේ අමතා වැඩියෙන් පවත්නේ මාගේ අතෙහි තිබෙන කොළ ද? මෙම වනයෙහි තිබෙන කොළ දැයි විමසූහ. එයට පිළිතුරු දුන් භික්ෂූන් වහන්සේලා “ස්වාමීනි. ඔබ වහන්සේගේ අතෙහි ඇති කොළ ස්වල්පයකි. එහෙත් වනාන්තරයෙහි ඇති කොළ බොහෝ යැයි ප්‍රකාශ කළහ. පසුව බුදුරදුන් දේශනා කළේ ‘ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි කිව යුතු දේ බොහෝ ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට ප්‍රකාශ කරන්නේ නිවන් අවබෝධයට අවශ්‍ය කරුණු පමණක් යැයි වදාළහ. උන්වහන්සේ සතු ඉතිරි විශාල දැනුම් සම්භාරය දැනුම වුව ද නිරර්ථක ය. නිවන් මගට එහි අදාළත්වයක් නොමැත. බුදුරජාණන් වහන්සේ තුළ පැවැති මහා කරුණාව, ප්‍රඥාව. දයාව, අනුකම්පාව හා මෛත්‍රිය යනාදී අනන්ත ගුණ සමුදාය පෙරදැරි කරගෙන ලෝකයාට ධර්මය දේශනා කළහ. එබැවින් බුද්ධ රත්නය රත්නයක් ම වන සේකැයි, මැනවින් වටහාගෙන මෙලොව , පරලොව. උභයාර්ථ සංසිද්ධිය සලසා ගැනීම් වස් අප උතුම් වූ ආර්ය මාර්ගයෙ හි ම ගමන් කළ යුතු ය.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපතිව වැඩ විසූ කුරුණෑගොඩ පියතිස්ස නා හිමිපාණන් වහන්සේ ඉතා දිගුකලක් “බුදුසරණ” පුවත්පතට ලිපි සම්පාදනය කළ සම්භාවනීය මහ තෙරනමකි. 2018 ජූලි 12 වනදා “බුදුසරණ” පුවත්පතෙහි පළ වූ මෙම ලිපිය උන්වහන්සේට උපහාර පිණිස නැවත පළ කිරීමකි.