Print this Article


සිංහල අටුවා පාලි භාෂාවට නැගූ අටුවාචාර්ය බුද්ධඝෝෂ හාමුදුරුවෝ

සිංහල අටුවා පාලි භාෂාවට නැගූ අටුවාචාර්ය බුද්ධඝෝෂ හාමුදුරුවෝ

බුද්ධ භාෂිත ධර්ම විනයෙහි හා ශ්‍රාවක භාෂිතයන් හි ද ඇතුළත් දුරවබෝධ වචන හා සංකල්ප පැහැදිලි කිරීම සඳහා සම්පාදිත අර්ථ ව්‍යඛ්‍යාන සම්ප්‍රදාය පාලි අට්ඨකතා නමින් හැඳින් වේ.

ත්‍රිපිටක ග්‍රන්ථවල අන්තර්ගත ධර්ම කරුණු සහ ඓතිහාසික කරුණු සවිස්තරව දැක්වීම එම පාලි අට්ඨ කතාවලින් සිදු කෙරෙන ප්‍රධාන කාර්යයි. පාලි අට්ඨකථාවන් ගැන සඳහන් කිරීමේ දී නිතැතින් කියවෙන්නේ අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ ශ්‍රී නාමය යි.

බුද්ධකාලීන අර්ථ ව්‍යාඛ්‍යාන සම්ප්‍රදාය ප්‍රථම ධර්ම සංගායනාවේ දී සහ ඉන් පසුවත්, රහතන් වහන්සේ විසින් සංගායනා කරන ලද හ. උන්වහන්සේලා සහ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව ඒවා මුඛ්‍ය පාඨ වශයෙන් ආරක්ෂා කරගෙන ආ හ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ඒවා හෙළ බසින් තබන ලද හ. හෙළ බසින් පැවැති එම අටුවාවන් පෙළබසට නැගීමෙහි ශක්තිය මහා විහාරික මහතෙරවරුනට දැක්වීමෙහිලා අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් දැක් වූ හැකියාව ශාසන ඉතිහාසය තුළ ඉතා ප්‍රකට සිදුවීම කි.

බුද්ධඝෝෂ හිමියන් උපත ලැබුවේ දඹදිව බෝ මැඩට නුදුරු ඝෝෂ නම් ග්‍රාමයේ බමුණු කුලයක ය. ඔහු වාදයෙහි දක්ෂ වූ රේවත නම් මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි වූ බව ප්‍රචලිත මතය යි. සද්ධම්මසංගහ නම් ග්‍රන්ථයෙහි දැක්වෙන පරිදි බුද්ධඝෝෂ හිමියන් මහාබෝධි මණ්ඩපයට දකුණුදිග බමුණුගම උපන් බව පැහැදිලි ය. බෝ මැඩට නුදුරෙහි ඝෝෂ නම් වූ ගමේ උපන් බව බුද්ධඝෝසුප්පත්ති කථාවේ ද සඳහන් වේ.

මෙවැනි විවිධ කරුණු විමර්ශනය කිරීමෙන් පසුව බුද්ධඝෝෂ හිමියන් ගේ ජන්ම භූමිය මොණ්ඩඛේටක නම් ගම බව පිළිගෙන ඇත. ආන්ධ්‍ර දේශයේ ගුන්ටූර් දිස්ත්‍රික්කයේ පාල්නාඩ් තලුන් පෙදෙසේ ‘කෝනේමලී පුරිගුන්ඩ්ලු පල්ලි‘ ළඟ පිහිටි ගම් දෙක මොරණ්ඩඛේටක යැයි පැවසේ. උන්වහන්සේ උපන් පෙදෙස මොරණ්ඩඛේටක යැයි විසුද්ධි මග්ගයෙන් ද පෙනේ. පාලි භාෂාව ද, දර්ශනය, ඉතිහාසය, පුරාවිද්‍යාව, කාව ව්‍යවච්ඡේද විද්‍යාව, ලක්ෂණ ශාස්ත්‍ර ආදී විෂයන් පිළිබඳව ද පැතිරීගිය බුද්ධි ප්‍රභාවයක් බුද්ධඝෝෂ හිමි සතුව පැවතිණ. ඒ බව පහත සඳහන් මහාවංස ගාථාවන්ගෙන් ද පැහැදිලි වෙයි.

බෝධිමණ්ඩප සමීපම්හි - ජාතො බ්‍රාහ්මණමාණවො
විජ්ජාසිප්ප කලාවේදී - තීසු වෙදෙසු පාරගෙ
සම්ම විඤ්ඤානසමයො - සබ්බවාද විසාරදො
වාදත්ථි ජම්බුදීපම්හි - ආභිණ්ඩන්තො පවාදිකො

බුද්ධඝෝෂ හිමි ලක්දිවට වැඩමවීමට පෙර ඤාණෝදය නම් ධර්ම ප්‍රකරණයත්, අත්ථසාලිනී අටුවාත් දඹදිව දී කළ බවත්, පිරිත් අටුවාව ලිවීම ආරම්භ කර තිබූ බවත් සඳහන් ය. උන්වහන්සේ කලින් සර්වාස්තිවාදියෙකුව සිට පසුව ථෙරවාදී වූ බව ඇතැම් විචාරකයන් ගේ පිළිගැනීම යි. ලක්දිවට වැඩම වූයේ අනුරාධපුරය රාජධානිය කරගත් මහානාම රජ දවස ය. ඒ බුද්ධ වර්ෂ 953 ත් 975 ත් අතර කාලය යි. උන්වහන්සේ ලක්දිවට වැඩමවන විට අට්ඨ කතා සංහිතා කිහිපයක් ම මෙරට පැවති බවත්, ඒවා හෙළ බසින් ම උගත් බවත් මෙයින් සමහර ග්‍රන්ථ ස්වරූපයෙන් ද, සමහරක් පූර්වාචාරීන් ගේ මතවාද ඇතුළත් වුණ සාහිත්‍ය වශයෙන් ද පැවැති බව විචාරක මතය යි.

මිහිඳු මහරහතන් වහන්සේ දවස ම ඇරැඹි සිංහල අටුවා කතා වසර හත්සියය ක පමණ කාලයක් සිංහල ත්‍රිපිටකය හෙළි පෙහෙළි කරමින් පැවතුණේ ය. ත්‍රිපිටක පාලි තිබුණත්, එහි අටුවා මේ වන විට දඹදිව තිබී නැත. සිංහල අටුවා ලියා ඇති බව දඹදිව විසූ රේවත හිමියන්ට ද දැනගැන්මට ලැබී ඇත. සිංහල අටුවා පාලියට පරිවර්තනය කිරීම බුදුදහම චිරස්ථායීවීම ට හේතුවක් යැයි සැලකූ උන්වහන්සේ හෙළටුවා පාලියට පරිවර්තනය කිරීම සඳහා බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට එවූ බව මහාවංසයේ සඳහන් වෙයි.

මෙවැනි කටයුත්තක් සඳහා ඉදිරිපත් වූ එක ම තැනැත්තා බුද්ධඝෝෂ හිමි යැයි කිව නොහැකි ය. උන්වහන්සේට කලින් බුද්ධදත්ත හිමි ද, පසුව ධම්මපාල හිමි ද, මෙම කාර්යය සඳහා ම දකුණු ඉන්දියාවේ සිට ලක්දිවට වැඩම කළහ. බුද්ධදත්ත හිමි තමා මහලුවියට පත්වෙමින් සිටි නිසා අපේක්ෂිත කාර්යය ඉටු කළ නොහැකිව පෙරළා ඉන්දියාවට ම වැඩම කළේ ය. බුද්ධදත්ත හිමි එසේ වැඩමවන ගමනේ දී බුද්ධඝෝෂ හිමි මුහුදේ දී මුණගැසී තමා ගේ පන්හිඳත්, අරළු ගෙඩියකුත් දී ආශිර්වාද කළ බව ද කියවෙයි.

ශ්‍රී ලංකාවට වැඩම කළ බුද්ධඝෝෂ හිමියෝ අනුරාධපුර මහා විහාරයේ දී එවකට එහි ප්‍රධානත්වය දැරූ සංඝපාල හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ බැහැදැක පැමිණි කාරණාව උන් වහන්සේලාට සැලකර සිටිය හ.

සිංහල අටුවා පාලියට පරිවර්තනය කිරීමට පළමුව, එවකට පැවැති සිංහල භාෂාවත්, එම අටුවාවල අන්තර්ගතයත් හැදෑරීමට අවශ්‍ය විය. සංඝපාල හිමි හා බුද්ධමිත්ත හිමි වැනි ප්‍රවීණ ආචාර්යවරුන්ගේ උපදෙස් පරිදි බුද්ධඝෝෂ හිමියෝ ස්වකීය අධ්‍යයන කටයුතු සපුරා ගත් හ. සිංහල අටුවා පාලියට පෙරළීම ට පෙර නිවන් මඟ හෙළි කරන ග්‍රන්ථයක් ලිවීම ට සංඝපාල හිමියෝ බුද්ධඝෝෂ හිමියන් ට ඇරයුම් කළහ. විසුද්ධි මාර්ගය ලියැවුණේ එහි ප්‍රතිඵලයක් ලෙස යි.

සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ එන,

අන්තෝ ජටා බහිජටා - ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාමි - කො ඉමං විජටයෙ ජටං

ඇතුළත ද අවුල් ය. පිටත ද අවුල් ය. මුළු සත්ත්ව වර්ගයා මෙම අවුලෙන් අවුල් වැ සිටිති. ගෞතම සර්වඥයන් වහන්ස, එබැවින් මම ඔබවහන්සේගෙන් විචාරමි. මෙම අවුල කවුරු නිරවුල් කෙරෙත් ද? යන මෙම ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර,

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො - චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකො භික්ඛු - සො ඉමං විජටයෙ ජටං

සීලයෙහි පිහිටන, දක්ෂ ප්‍රඥාවන්ත භික්ෂුව සිතත්, ප්‍රඥාවත් වඩා කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව මේ අවුල් ඉවත් කරන්නේ ය, යනුයි.

මෙසේ බුදුරදුන් ඉතා සංක්ෂිප්ත ලෙස දුන් මෙම පිළිතුර විස්කෘත ලෙස ඉදිරිපත් කිරීම විසුද්ධි මග්ගයේ දී සිදු වී තිබේ. ථෙරවාදී බුද්ධ ධර්මයට අයත් විශිෂ්ටතම නිර්මාණ කෘතියක් ලෙස බුද්ධඝෝෂ හිමියන්ගේ විසුද්ධි මාර්ගය සඳහන් කළ හැකි ය. අතිදුර්ලභ වූ බුදු සස්නෙහි පැවිද්ද ලබා විසුද්ධිය සොයා යන කුල පුත්‍රයන්ට අවසාන විමුක්තිය හෙවත් නිවන කරා පමුණුවන මාර්ගය හඳුන්වාදීම පරමාර්ථ කොටගෙන ලියූ විසුද්ධි මාර්ගය සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව පිළිබඳව මනා වූ පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරයි.

බොහෝ දෙනෙකු ගේ කුතුහලයට තුඩු දුන් වාර්තාගත සිද්ධියක් වන්නේ බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්ගය ලියා එය මහා විහාරවාසී භික්ෂූන් වහන්සේලාට පිළිගන්වන්නට සූදානම්ව සිටිය දී දෙවියන් විසින් එය අතුරුදහන් කරනු ලැබීම ය. නැවත දෙවන වරට ද ලියා අවසන් කොට තිබිය දී, එය ද මුල් පිටපත සේ ම අතුරුදහන් වීමත්, තෙවනවර ලියා පිළිගැන්වීමට සූදානම් වූ විට මුලින් ලියූ පිටපත් දෙක ද හමු වී විසුද්ධි මාර්ගයේ පිටපත් තුන ම එළිදැක්විණ.

මෙම පිටපත් තුන ම අර්ථයෙන් ද, ග්‍රන්ථයෙන් ද, පූර්වපර වශයෙන් ද, ථෙරවාදයෙන් ද, පෙළින් ද, පදයෙන් ද, ව්‍යඤ්ජනයෙන් ද වෙනසක් නොවී ය. බුද්ධඝෝෂ හිමියන්ගේ ගැඹුරු පාණ්ඩිත්‍යය හා විශිෂ්ට ලේඛන කෞශල්‍යය එමගින් මනාව පැහැදිලි වේ. ඒ දුටු භික්ෂූන් වහන්සේලා බෙහෙවින් තුටු පහටුව ‘නිසැකයෙන් ම මේ තෙම මෙතේ බෝසත්හු ය’යි, නැවත නැවත කියා ඝෝෂා කොට අටුවා සහිත පිටකත්‍රය ඇතුළත් පොත් ප්‍රදානය කළහ. පසුව උන්වහන්සේ මහා විහාරබද දූරසංකර ග්‍රන්ථාකර පිරිවෙන වෙසෙමින් බොහෝ සිංහල අටුවා කතා ඒ සියල්ලන් ගේ ම මූල භාෂාව වූ මාගධී භාෂාවට පෙරලූහ. ථෙරවාදී සෑම ආචාර්යවරයෙක් ම ඒවා පෙළ පොත් තරමට ගුරුතන්හි තැබූහ.

බුද්ධඝෝෂ හිමි වැඩ සිටි ස්ථාන අතර, දූරසංකර පිරිවෙණට අමතරව මහා විහාරයට දකුණින් වූ පධානඝරය ද වෙයි. එසේම ලෝවාමහාපායේ පහත මාලය ද ග්‍රන්ථකරණයෙහි යෙදීම සඳහා උන්වහන්සේට වෙන්කර තිබුණි. මහා විහාරයේ ග්‍රන්ථාකරය හෙවත් පුස්තකාලය ද උන්වහන්සේට පරිහරණය කිරීමට ඉඩකඩ සලස්වා තිබුණි. මේවායෙහි වැඩ සිටි බුද්ධඝෝෂ හිමියෝ විසුද්ධි මාර්ගය සේ ම පහත දැක්වෙන අටුවා ග්‍රන්ථ ද සංස්කරණය කළහ.

සමන්තපාසාදිකා (විනය අටුවාව), සුමංගල විලාසිනී (දීඝනිකායේ අටුවාව), පපංචසූදනී (මජ්ක්‍ධිම නිකාය අටුවාව), සාරත්ථප්පකාසිනී (සංයුත්ත නිකාය අටුවාව), මනෝරථ පූරණී (අංගුත්තර නිකාය අටුවාව), කංඛාවිතරණී (ප්‍රාතිමෝක්ෂ අටුවාව) පරමත්ථජෝතිකා (ඛුද්දකපාඨ අටුවාව) ධම්මපදට්ඨකථා, ජාතකට්ඨකතා, අත්ථසාලිනී (ධම්මසංගණී අටුවාව), සම්මෝහවිනෝදනී (විභංග අටුවාව), පරමත්ථදීපනී (පංචප්පකරණ අටුවාව)

මෙම ග්‍රන්ථවල විශාලත්වය හා විවිධත්වය ගැන සලකන විට ඒ සඳහා දැරූ පරිශ්‍රමය කෙතෙක් බැරෑරුම් වූවක් ද යන්න වටහාගත හැකි ය.

බුද්ධඝෝෂ හිමි අටුවාකරණයේ දී භාවිත ක්‍රම ශිල්ප කිහිපයක් සමන්තපාසාදිකාවේ සංක්ෂිප්තව දැක්වෙයි.

මුල් කෘතියේ බස බැහැර කිරීම, හෙළටුවාවල පැවති ප්‍රමාද ලියවීම් බැහැර කිරීම, දිගු විස්තර බැහැරලා සංක්ෂිප්ත කිරීම, තත්කාලීනව පැවති සියලු විනිශ්චයන් ඇතුළත් කිරීම සහ පාලි භාෂාවේ ව්‍යාකරණ විධි නො ඉක්මවීම.

මේ අනුව බුදුගොස් හිමියෝ පාලි අට්ඨකතා රචනා කළේ හුදෙක් හෙළ අටුවාවන් හි පරිවර්තන ලෙස නො ව සංස්කරණමය භාෂා පරිවර්තන ලෙසිනි. එකී පාලි අටුවාවන් ඊට සාක්ෂි දරයි. බුදුගොස් හිමි භාවිත කළ එකී ක්‍රමවේදය ම උන්වහන්සේගෙන් පසුව පාලි අටුවා ලියූ ආචාර්යවරු ද භාවිතයට ගත් හ. පාලි අටුවා පොත්වලින් අඩකටත් වඩා සපයා ඇත්තේ බුදුගොස් හිමියන් ය. බෞද්ධ අට්ඨකථාචාරීන් අතර උන්වහන්සේ ශ්‍රේෂ්ඨතමයා ය. එකී උත්තරීතර චරිතය වටා විවිධ ජනප්‍රවාද ගෙතී ඇත්තේ ඒ නිසාම ය. උන්වහන්සේ ලොව පහළ වූයේ බුදුරදුන් ගේ පර්යාප්ති ශාසනය දීර්ඝ කාලයක් නිර්මලව පවත්වාගෙන යාම සඳහා පාලි අට්ඨකතා රචනා කිරීමට ය. යන ජනප්‍රවාදයක් ද ඇත.

ඒ නිසා ම ලංකාවේ අටුවා ගැන කතා කරන සෑම තැනෙක ම බුද්ධඝෝෂ හිමියන්ට ‘අටුවාචාරීන් වහන්සේ’ යන උත්තම අභිධානයක් යොදා ගැනෙයි.