Print this Article


 සාර්ථක දිවියක උරුමය

සාර්ථක දිවියක උරුමය


ස්වාමිපුරුෂයෙකු සහ භාර්යාවක වශයෙන් එක්ව ජීවත්වීම අපහසුවිය හැකි ය.

නැතහොත් පහසු විය හැකි ය. ස්වාමිපුරුෂයෙකුට සහ භාර්යාවකට එක්ව සතුටින් ජීවත් විය හැක්කේ කෙසේදැයි ප්‍රශ්නයක් නැගුවහොත්, ලැබෙන කිසිම පිළිතුරු දෙකක් එක සමාන නොවනු ඇත. එහෙත් සමහරු පින්වත් ඔබට කියනු ඇත්තේ, එය ඔවුන්ගේ ඡ්‍යොතිෂ්‍යය ඉරණම සහ දෛවය මත රඳා පවතින බවයි. අවඥාවෙන් බලන අය පවසනුයේ, එය දෑවැද්දේ ප්‍රමාණය මත රඳා පවතින බවයි.

භාග්‍යවතුන් වහන්සේ මෙම ප්‍රශ්නයට තනි වචනයකින් පිළිතුරු දුන් සේක. එනම්, “හිතකාමීත්වය” යන්න ය. අන්‍යොන්‍ය හිත කාමීත්වය හෙවත් කාරුණිකත්වයේ හා පරිත්‍යාගයේ විශ්ව කාරණා සතර (සතර සංග්‍රහවස්තු) භාවිතයට නැගීම මගින් එක්ව ජීවත් වීමේ සතුට ප්‍රවර්ධනය කෙරෙයි.

ප්‍රදානය (දාන)

පින්වත් ඔබ ජීවත් වීමේ දී හුවමාරුකර ගැනීම අවශ්‍යය . සෑම කෙනෙක් ම තම ඉපැයීම් එක් පොදු මුදල් බහාලන තැනක තබා බෙදා හදා ගත යුතු ය. එසේ නො කළහොත් සැකය මතු වීමට ඉඩ තිබේ. ප්‍රදානය කිරීමක් නොමැති තැන පවතින වාතාවරණය බොහෝ අප්‍රසන්න යැයි හැඟෙයි. හුවමාරු කර ගැනීම යන්නට, ගැටලු හුවමාරු කර ගැනීම ද ඇතුළත් ය. එක් අයෙකුට ගැටලුවක් ඇති විට අනෙක් පාර්ශ්වය එය විසඳා ගැනීම සඳහා උදව් විය යුතු ය.

ප්‍රසන්න කතාව (පියවාචා)

පින්වත් ඔබ උපදේශයක් දෙන විට ප්‍රවේශම් විය යුතු ය. ප්‍රමාණයට වඩා සෘජුව පැවසීම මඟින් අනෙක් පාර්ශවයේ මමංකාරයට හානි වී පස මිතුරුකම් පැන නැගීමට ඉඩ තිබේ. මූලික රීතිය නම් විවාහයට පෙර භාවිත කළ ප්‍රසන්න වචන, විවාහයතුළ ද භාවිතා කළ යුතු ය යන්නයි.

අන්‍යොන්‍ය ප්‍රතිලාභ (අත්ථචරියා)

පින්වත් ඔබ උගත් ධර්මය පදනම් කර ගනිමින්, හරි කුමක්ද? වැරැදි කුමක් ද? යන්න ගැන කතා කිරීම මඟින් එකිනෙකාට උදව් කිරීමට හැකි වෙයි. ඔවුන් හැමවිටම ධර්මය පිළිබඳව දැනුම ලබා ගනිමින් එය භාවිතයට නැගීමට අඛණ්ඩව ක්‍රියා කළ යුතු ය.

නිවැරැදි භූමිකාව (සමානාත්මතා)

පින්වත් ඔබ සාර්ථක භූමිකාවක් ගත කිරීමේ දී ස්වාමිපුරුෂයා යහපත් පියෙකු ද, භාර්යාව යහපත් මවක ද විය යුතු ය. මෙම අරමුණ සපුරා ළඟා කර ගැනීමට ඔවුන්ට උපකාරී වන්නේ භාවනාව පමණකි. තම සිතිවිලි පැහැදිලි වනතුරු භාවනා ප්‍රගුණ කළ අය, හැසිරිය යුතු අයුරු දනිති. බාහිර බලපෑම් මගින් තම හැසිරීම් හැඩ ගැස්වීමට ඔවුහු ඉඩ නොදෙති.

කාරුණිකත්වයේ හා පරිත්‍යාගයේ විශ්ව කාරණා හතර භාවිතයට යෙදීම මූලික පුණ්‍ය ක්‍රියා තුන භාවිතයට නැගීම හා සමාන ය.

එනම්,

දානය - දේවල් බෙදා හදා දීම

ශික්ෂාපද පිළිපැදීම - කතාව සහ ක්‍රියාව යන දෙඅංශයේ ම පුද්ගලයෙකුගේ චරිත ස්වභාවය වර්ධනය කිරීම.

භාවනාව - භාවනාව අපගේ සිත පැහැදිලි කරයි. පැහැදිලි සිතක් ඥානයට දොර විවර කරයි. ඥානය, සුදුසු ක්‍රියා මග පෙන්වයි.

ස්වාමියාගේ හා භාර්යාවගේ වගකීම්

පින්වත් ඔබගේ ආදරය සජීවී ව පවත්වාගෙන යාමට, ස්වාමියා හා භාර්යාව එකිනෙකා කෙරෙහි ඇති තම වගකීම් මනාව දැන සිටිය යුතු ය. මෙම වගකීම්, කාරුණිකත්වයේ හා පරිත්‍යාගයේ විශ්ව කාරණා හතර මත පදනම් වෙයි.

ස්වාමි පුරුෂයාගෙන් භාර්යාවට ඉටු විය යුතු යුතුකම් පහකි.

අගය කිරීම - අනියම් භාර්යාවක ආකාරයට රහසේ රඳවා නොගෙන, ස්වාමිපුරුෂයා තම නීත්‍යානුකූල භාර්යාවට විවෘතව ගරු කළ යුතු ය. භාර්යාව යහපත් යමක් කළේ නම් ප්‍රශංසා කළ යුතු ය. ඇය වරදක් කළහොත් ඇයට අවවාද කරන්න. එහෙත් ප්‍රසිද්ධියේ එසේ නොකරන්න. මන් ද යත් එවිට සෙසු අය තුළ ඈ ගොඩනගාගෙන ඇති තත්ත්වයට ඉන් හානි පැමිණෙන බැවිනි. සමාජ ජීවිතය ගත කිරීම හෝ ඇගේ ඥාතීන් සමඟ ඇසුරු කිරීමට ඉඩ දීම වැනි ඇගේ පුද්ගලිකත්වය සහ ස්වාධීනත්වය ඇයට ලබා දිය යුතු ය.

නිග්‍රහය - පවුලේ තත්ත්වය, ධනය, හෝ බුද්ධිය අතින් භාර්යාව තමන්ට වඩා පහත් යැයි නොසැලකිය යුතු ය. ඇය සමඟ සාකච්ඡා කිරීමකින් තොරව කිසිදු අයුරකින් පවුලේ කටයුත්තකට ඔහු අත නොගැසිය යුතු ය. එසේ ම ශාරීරික හිංසනය හෝ හැඟීම්බරව නින්දා කිරීමේ නොයෙදිය යුතු ය.

විශ්වාස දායක බව - සෑම කාන්තාවකගේ ම අභිමානය වන්නේ තම සැමියාට තමාට පමණක් බැඳී සිටීම ය.

තීරණ ගැනීමේ බලය - මුළුතැන්ගෙය හා සම්බන්ධ කටයුතු පිළිබඳ හා පවුලේ කටයුතු ගැන තීරණ ගැනීමේ අයිතිය භාර්යාවට ලබාදිය යුතු ය. භාර්යාවට පාලනය කළ නොහැකි කිසිවක් වේ නම් එවිට පමණක් ස්වාමි පුරුෂයා මැදිහත් ව උපකාර කළ යුතු ය.

ආභරණ - තම පෙනුම ගැන අවධානය යෙදවීම කාන්තාවන්ගේ ස්වභාවය වන අතර තමා සඳහා ආභරණය ලබා ගැනීම මඟින් ඔවුහු සතුටු වෙති. එහෙයින් සෑම ස්වාමි පුරුෂයෙකු ම මෙම නැඹුරුවට ඉඩ හැරිය යුතු ය. නමුත් ආදායම පිළිබඳව ද දෙපාර්ශවයම සැලකිලිමත් විය යුතු ය.

භාර්යාව විසින් ස්වාමිපුරුෂයාට ඉටුකළ යුතු, යුතුකම් පහකි.

නිවස කළමනාකරණය - කාන්තාවක්, ප්‍රණීත ආහාර පිසීම සහ නිවස පවිත්‍රව තබා ගැනීම ඇතුළු කටයුතු සිදු කරන යහපත් ගෘහ පාලිකාවක් විය යුතු ය.

කල්පනාකාරීත්වය - ඇය තම ස්වාමි පුරුෂයාගේ ඥාතීන්ට සහාය විය යුතු අතර ඔවුන්ට කතා බහ කිරීමේ දී මෘදු විය යුතු ය.

විශ්වාසවන්තභාවය - ඇය කුමන ගැටලු මොහොතක වුව ද හැම විටම තම ස්වාමියාට විශ්වාසවන්ත ව සිටිය යුතු ය.

සකසුරුවම්කම - ඇය අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරන්නියක් හෝ මුදල් ඩැහැගන්නියක නොවිය යුතු ය.

කඩිසරකම - නිවෙස හොඳින් රැක බලා ගැනීමට වෙහෙස විය යුතු අතර පාපකාරී ක්‍රියාවලට සම්බන්ධ නොවිය යුතු ය. එසේ සර්වාකාරයෙන් සෑමදේ කිරීමට උත්සුක විය යුතු අතර, පවුලේ සාමය උදෙසා මැනවින් ක්‍රියාත්මක විය යුතු ය.

කරුණාව සහ පරිත්‍යාගය යන ධර්මතා මඟින් සමගි ව වෙසෙන ආකාරය බුදුන් වහන්සේ අපට පෙන්වා දුන්හ. ධර්මය යොදා ගැනීම විවාහක යුවළක් මරණය තෙක් එක්ව රඳවා ගන්නා රැහැන් දෙකක් වැනි ය.

දෙදෙනාගෙන් එක් අයෙකුගේ හැසිරීම්වල වෙනසක් වූවත් අනෙක් පුද්ගලයා කිසිවිටෙකත් ධර්මයෙන් ඉවත් නො වි යුතු ය. ඉඳහිට, මුදල් සහ කාලය නාස්ති කරමින් , නිවස අවුලක් බවට පත් කරමින් ස්වාමිපුරුෂයා අයාලේ යාම හෝ භාර්යාව නිසරු හැසිරීම්වලට යොමුවීම සිදු විය හැකි ය. මෙම ගැටලු විසඳීමේ නිවැරැදි ක්‍රමය වන්නේ අනෙකා හොඳින් රැකබලා ගැනීමත් , තම යහපත් බව පවත්වා ගැනීමත් ය. මෙසේ කිරීමෙන් තත්ත්වය යහපත් අතට වර්ධනය වනු ඇත.