Print this Article


කඨින චීවර පූජාවේ අනුසස් අප්‍රමාණය

කඨින චීවර පූජාවේ අනුසස් අප්‍රමාණය

බුදු සසුනේ උගන්වා වදාළ අට මහා කුසල් අතර පළමු ස්ථානයෙහිලා ගැනෙන්නේ කඨින චීවර පූජාවයි. ලෞකික ජීවිතයේ ලැබිය හැකි උසස්ම ප්‍රතිඵල ලබා ගත හැකි පින්කම වන්නේ ද කඨින චීවර පූජාව යි. එය වසරකට එක් වරක් පමණක් සිදු කරන උතුම්ම පින්කම යි. එයද කළ හැකි වන්නේ උපසපන් භික්ෂූන් වහන්සේ නමක් විහාරස්ථානයක වස් සමාදන් කරවාගෙන උන් වහන්සේ එම ශික්‍ෂා පද නොකඩවා ආරක්ෂා කිරීමෙන් පමණි.

චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසයෙන් උපාසක-උපාසිකාවන් භික්ෂූන් වහන්සේලා උදෙසා උපස්ථාන කිරීමෙන් හා භික්ෂූන් වහන්සේලා එම අදාළ ශික්ෂා පද ආරක්ෂා කර ගැනීමෙන් කඨින චීවර පූජා පින්කම ඉතා ඉහළ මට්ටමින් සිදු කර ගත හැකි ය. ඒ අනුව සියලු පින්කම් අභිබවා ප්‍රමුඛස්ථානයෙහිලා ගැනෙන්නේ කඨින චීවර පූජා පින්කම යි. කඨින චීවර පූජා පින්කම කොතරම් බලගතු ද යත් අප සිදු කර ගන්නා සුළු අකුසල් යටපත් කිරීමට තරම් සමත් බලගතු පින්කමක් ලෙස කඨින චීවර පූජා පින්කම හැඳීන්විය හැකි ය. ප්‍රධාන අකුසල් වශයෙන් හැඳීන්වෙන අකුසල් 5ක් පිළිබඳ බුදු දහමේ දැක්වේ. ඒවා ආනන්තරිය පාප කර්ම ලෙස හැඳීන්වේ. ඒවා නම්,

1. මව මැරීම 2. පියා මැරීම 3. රහතුන් මැරීම 4. බුදු සිරුරේ ලේ සෙලවීම 5. සංඝ භේදය යන්නයි

මෙම ප්‍රධාන අකුසල් යම්කිසිවෙකු නොකරගෙන ඇත්නම් ඔහු අතින් සිදු වී ඇති සුළු සුළු අකුසල් කටයුතු නැති කර ගැනීමට තරම් බලවත් පුණ්‍යකර්මයක් ලෙස කඨින චීවර පූජා පින්කම හැඳීන්වීමට පුළුවන.

නාගිත හාමුදුරුවන් වහන්සේ 91 කල්පයකට එහා බමුණු කුලයක ඉපදී කළ උතුම් කඨින චීවර පූජා පින්කමක බල මහිමය උන්වහන්සේ අතින්ම පෙන්වනු වස් බුදුරදුන් ආනන්ද හිමිට මතක් කර සිටින්නේ ආනන්දය, ඒහි භික්ඛු භාවයෙන් පැවිදි වූ රහතන් වහන්සේලා 500 නමක් හිමාලයේ අනවතත්ත විල ළඟට කැඳවන ලෙසයි. බුදුරදුන්ගේ එම ඉල්ලීම පිළිගත් ආනන්ද හිමි එම බුදු වදන ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ කළේ ය. පසුව අනවතත්ත විල ළඟට එක්රැස් වූ 500 ක් රහතන් වහන්සේලා අමතා බුදුහිමි දේශනා කරන්නේ මහණෙනි, නුඹලා අතුරින් යම් කිසිවෙකු සසර සුවිශේෂි කුසල ක්‍රියාවක් සිදු කර ගෙන ඇත්නම් එය ප්‍රකාශ කරන ලෙසයි. එකල නාගිත හිමි පිරිස අතරින් නැගිට මෙයට 91 කල්පයකට ඉහත දී විපස්සී බුදුන් කල බන්දුමතී නුවර ඉපිද කළ මහා කඨින පූජා පින්කමක් පිළිබඳ විස්තර කළේය.

කඨින දානං දත්වාන - සංඝෙ ගුණ වරුත්තමෙ

ඉතො තිංසෙ මහාකප්පෙ - නාභිජානාමි දුග්ගතිං

උතුම් ගුණ ඇති මහා සංඝයා වහන්සේ විෂයෙහි කඨින චීවර පූජා කොට මහා කල්ප 30 ක් දුගතියක් නොම දනිමි.

අට්ඨාරසන්නං කප්පානං - දෙව ලොකෙ රමාමහං

චතුත්තිංසක්ඛන්තුං දෙවින්දො - දෙවරජ්ජමකාරයිං

අටලොස් කල්පයක් මුලුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වාසය කෙළෙමි. 34 වාරයක් සක්දෙව් රජව ඉපිද දිව්‍ය රාජ්‍යය කෙළෙමි.

ආරපථෙ ආරපථෙ - චක්කවත්තිසිරිං ලභෙ

අසීතිංච චතුක්ඛන්තුං - චක්කවත්ති අහොසහං