Print this Article


මේ වස්සාන කාලයයි - 10: සතිකරණය

සතිකරණය


යම්කිසි දායක භවතකුගේ හෝ දායක පිරිසකගේ ආරාධනාව ඇතුව හෝ නැතුව හෝ උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකට, කෙනෙකුට කියා හෝ තාවකාලික තැනක් සාදාගෙන වස් සමාදන් වීමට පිළිවන. එසේ වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ ප්‍රධාන වශයෙන් ආරක්ෂා කරගත යුතු ප්‍රතිපත්ති දෙකකි. එයින් පළමු වැන්න සතිකරණයයි.

සතිකරණය යනු තමා වස්විසූ ස්ථානය පිළිබඳ ව වස්සාන සමය නිමවන තුරු දැඩි බැඳීමකින් යුතුව විසීම ය. තමන් වහන්සේ වස් වෙසෙන දවසෙහි සවස බුදුන් වැඳ, වත් පිළිවෙත් කොට, වතපිරිත දේශනා කොටගෙන එහි වෙසෙන අනිකුත් භික්ෂූන් වහන්සේලා වෙතොත් එබඳු උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් සමඟ ඇවැත් දෙසාගෙන තැනක තැන්පත් ව වාඩිවී “ඉමස්මි ං විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි. ඉධ වස්සං උපෙමි” යන වාක්‍යය දුතියම්පි, තතියම්පි වශයෙන් තුන් යළක් කියා වස් අධිෂ්ඨාන කරගත යුතු ය.

එයින් අදහස් කරන්නේ මෙම වස් තුන්මාසය මෙම විහාරස්ථානයෙහි ම වෙසෙමි යන අදහස ය. එවිට ඒ ආරාමය හෝ පන්සලේ විහාරාංගවලින් සමන්විත ආරාම භූමිය සීමාව වශයෙන් අධිෂ්ඨාන කරගත යුතු ය. එම ආරාමයේ ගේට්ටුවෙන් පිටතට යන විට සෑම අවස්ථාවක දී ම “මේ මං වස් විසූ ස්ථානය යි. නැවත වහා මෙම ආරාමයට පැමිණිය යුතු යන අධිෂ්ඨානයෙන් ම පිටවිය යුතු ය. වරු පිරිතකට, මතක වස්ත්‍ර පූජාවකට පැය භාගයකින් නැවත එන ගමනකට වූව ද පන්සල් ඉඩමේ දොරටුවෙන් පිටවන විට මම නැවත මෙතැනට එන්නෙමි. යි යන අදහස ම සිත තබාගත යුතු ය.

දවසකට දහ පහළොස් වතාවක් ආරාම භූමියෙන් පිටතට ගිය ද නැවත එන්නෙමි යන අදහසින් ම යා යුතු ය. බුදුරදුන් මෙසේ අනුදැන වදාරා ඇත්තේ ඒ වස් සමය තුළ ස්ථානය පිළිබඳව දැඩි ඇල්මක් ඇතිකරවනු පිණිස ය. බොහෝ විට අමතක විය හැකි බැවින් “අයං වස්සාන කාලෝ” යනුවෙන් ලොකු අකුරෙන් ලෑල්ලක ලියා පන්සලේ ආවාස ගෘහයෙන් පිටවන විට ම ඉදිරියට පෙනෙන ප්‍රමාණයක ගහක හෝ බිත්තියක එල්ලා සවිකොට තැබීම සිරිත යි. එවිට වස්සාන සමය ගැන නිතැතින් ම මතකයට එන්නේ ය.

එහෙත් වස්සාන කාලය නිම වූ පසු මේ අදහස තබා නො ගත යුතු යැයි ද වදාරා තිබේ. එවිට ඒ භික්ෂූන් වහන්සේ තුළ ආරාමය ගැන, පන්සල ගැන අසීමිත තෘෂ්ණාවක්, ආශාවක් ඇතිවිය හැකි බැවිනි. එය ක්ලේෂයකි. නිවන් මගට බාධාවකි.