| ත්‍රිවිධ දාන 
සම්පත්තිය
				 
				 
					
						| 
						 රේරුකානේ
 චන්දවිමල මහ නා හිමි
 |  
දන් දීම කුඹුරු වැපිරීමක් වැනි ය. කුඹුරක් වැපිරීමෙන් බොහෝ ඵල ලැබෙන්නේ කුඹුර ය, 
වපුරන වියය, ගොවියා ය යන තුන ම යහපත් වූ කල්හි ය. දන් දීමේ දී ප්‍රතිග්‍රාහකයා 
කුඹුර වැනි ය. දෙන්නා වූ වස්තුව වපුරන විය වැනිය. දායකයා ගොවියා වැනි ය. හොඳ 
කුඹුරක, හොඳ වියක්, හොඳ ගොවියකු විසින් වපුල හොත් මහත් අස්වැන්නක් ලැබෙන්නාක් මෙන්, 
යහපත් කුඹුර වැනි වූ ගුණවත් ප්‍රතිග්‍රාහකයකුහට, යහපත් විය වැනි වූ ධර්මයෙන් උපයා 
ගත් වස්තුවක්, කුඹුරු වැඩ හොඳින් දත්, අනලස ගොවියකු වැනි වූ කම්පල හා 
ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ දැන ගැනීමට සමර්ථ වූ ද චේතනාත්‍රය පිරිසුදු කර ගැනීමට සමර්ථ 
වූ ද දායකයකු විසින් දෙන ලදුයේ නම්, එයින් බොහෝ අනුසස් ඇත්තා වූ, මහත් වූ කුසලයක් 
ලැබෙන්නේ ය. 
				 
කුඹුරු වැපිරීම ගැන කියන ලද කරුණු තුනෙන් එකක් මුත් නො මනා වුවහොත් 
එයින් ලැබෙන ඵලය හීන වන්නාක් මෙන් දන් දීම සම්බන්ධයෙන් කී කරුණු තුනෙන් එකකුදු හීන 
වුව හොත් පුණ්‍ය ඵලය ද හීන වේ. හීන වීම යි කියනුයේ කිසිම ඵලයක් නො ලැබී යාම නොව, ඵල 
අඩුවීම ය. හොඳ ම ප්‍රතිග්‍රාහකයකු සොයා ගෙන දන් දීම යහපති. එබැවින්, 
”විචෙය්‍ය දානං දාතබ්බං - යත්ථ දින්නං මහප්ඵලං 
විචෙය්‍ය දානං දත්වාන - සග්ගං ගච්ඡන්ති දායකා” යනු වදාරන ලදී. “යම් තැනකට දෙන දන 
මහත් ඵල වේ ද, එතැන සොයා දන් දිය යුතු ය. විමසා දන්දීම හේතු කොට දායකයෝ ස්වර්ගයට 
යන්නාහ” යනු එහි තේරුමයි. 
- බෞද්ධයාගේ අත්පොත ඇසුරෙනි |