Print this Article


සිතිවිලි ගෙනෙන සැනසිලි

සිතිවිලි ගෙනෙන සැනසිලි

රජගහනුවර පිහිටි පිප්ඵලී ගුහාව පිහිටා ඇති ස්වභාවය අනුව සිත්කළු ය, රමණීය ය. ඒ නිසා ම කා අතරත් ප්‍රසිද්ධ ය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ අවස්ථාවල මෙහි වැඩ සිටිති. උන්වහන්සේට ඇප උපස්ථාන කරමින් අන්තේවාසික ශිෂ්‍ය භික්ෂූන් දෙනමක් ද මෙහි වැඩ සිටිති.

මේ දෙදෙනාගෙන් එක් නමක් මහාකාශ්‍යප මහරහතන් වහන්සේට මහත් වූ ගුරු ගෞරවයකින් යුක්තව කළ යුතු වතාවත් නොපිරිහෙලා මැනවින් ඉටු කරයි. අනිත් භික්ෂුව වත් පිළිවෙත් ඉටුකිරීමෙහිලා කිසිම උනන්දුවක් නොදක්වයි. දානය වළඳා නිදාගන්නා මේ භික්ෂුව අනික් භික්ෂුව ඉටු කළ වතාවත් තමා විසින් ඉටුකළ දේ ලෙස ගුරු හිමියන්ට හඟවයි. මේ භික්ෂුවගේ බොරු රැවටිලිකාර වංචා සහගත ක්‍රියාකාරකම් පිළිබඳව ගුරුහිමියෝ දැන සිටියහ. එක් දිනෙක මේ භික්ෂුව තමා වෙත ගෙන්වා අනුන් කළ වතාවත් තමා කළා යැයි හැඟවීම සුදුසු නැත. මින් ඉදිරියට එවැනි වංචා සහගත ක්‍රියාකාරකම් නොකරන්නයැයි අවවාද කළහ. මෙවැනි අවවාද පිළිගැනීමට ඒ භික්ෂුව සූදානම් වූයේ නැත. තමාට අවවාද දෙන අය වෙත කෝපයෙන්, ද්වේෂයෙන් කටයුතු කරන්නට එම භික්ෂුව සූදානම් විය. ගුරු හිමියන් සමඟ කෝපයට පත් මේ භික්ෂුව මහා කාශ්‍යප හිමියන් සමඟ පිණ්ඩපාතය සඳහා වැඩම කළේ නැත. මහා කාශ්‍යප හිමියෝ අනෙක් අන්තේවාසික භික්ෂූන් සමඟ පිණ්ඩපාතය සඳහා වැඩම කළහ.

මේ අතරතුර කෝපයට පත් අනිත් භික්ෂුව පාත්‍රය රැගෙන මහාකාශ්‍යප හිමියන්ට ගෞරවයෙන් සලකන නිවසකට ගොස් උපාසකය, හාමුදුරුවන්ට තරමක් අසනීපයි. අද දින පිණ්ඩපාතය සඳහා වඩින්න අපහසුයි. උන්වහන්සේට සුදුසු ආකාරයට දානය සූදානම් කර දෙන්න යැයි ඉල්ලා සිටියේ ය. ඒ අනුව මහා කාශ්‍යප හිමියනට සුදුසු අයුරින් දානය සූදානම් කර මේ අන්තේ වාසික භික්ෂුවට පිරිනැමී ය. විහාරස්ථානයට ගොස් එම දානය තමන් වළඳා නිහඬව සිටියේ ය. මිනිසුන් රවටා වැරැදි ආකාරයෙන් දානය ලබාගත් බව දැනගත් මහාකාශ්‍යප හිමියෝ ඇවැත්නි, භික්ෂුවක් නම් පිණ්ඩපාතයෙන් ම යැපිය යුතු ය. කිසිම දිනෙක දානය ඉල්ලා නොවැළඳිය යුතු ය. එය භික්ෂුවට සුදුසු නැත. ඔවුන් රවටා දානය සූදානම් කිරීම භික්ෂුවට ගැළපෙන දෙයක් නොවේ. යනුවෙන් ඒ භික්ෂුවට අවවාද කළහ.

මෙයින් කෝපයට පත් ඒ භික්ෂුව එතැන් සිට පළිගැනීමේ චේතනාවෙන් ම කටයුතු කළේ ය. පසුදින මහාකාශ්‍යප හිමි, වත් පිළිවෙත් ඉටු කරන කීකරු භික්ෂුනම සමඟ පිණ්ඩපාතයෙහි වැඩම කළ විට හික්මීමක් නැති අකීකරු භික්ෂුව ආරාමයෙහි තිබූ පැන් භාජන ඇතුළු සියලු භාජන පොල්ලකින් ගසා කුඩු කර දමා පන්සල ද ගිනි තබා විනාශකර යන්නට ගියේ ය. රජගහනුවර සිට ජේතවනාරාමයට පැමිණි භික්ෂුවක් වෙතින් මහාකාශ්‍යප හිමියන් වැඩ සිටි ස්ථානයට සිදු වූ මේ විනාශය දැනගත් බුදුරජාණන් වහන්සේ,

චරං චේ නාධිගව්ජෙය්‍ය - සෙය්‍යං සදිස මත්තනෝ

ඒකචරියං දළ්හං කයිරා - නත්ථි බාලේ සහායතා

යන ගාථාව දේශනා කළහ. මේ ගාථාවෙන් අදහස් වන්නේ ඇසුරට සුදුසු කල්‍යාණ මිත්‍රයෙකු සොයන්නේ නම් ඒ තැනැත්තා තමාට වඩා ගුණ ධර්මවලින් යුතු අයෙකු විය යුතු බවයි. එසේ නැත්නම් තමාට සමාන අයුරින්වත් ගුණධර්මවලින් යුත් අයෙකු විය යුතු බවයි. මේ අයුරින් ගුණ ධර්මවලින් තමාට වඩා හෝ තමාට සමාන හෝ අයෙකු සොයාගත නොහැකි නම් තනිව හුදෙකලාව විසීම වැදගත් ය. බාලයන් අනුවණයන් ඇසුර නොකරන්න. බාලයන් ඇසුර දරුණු විපතකට හේතුවනු ඇත.

අප ආශ්‍රය කළ යුත්තේ කෙබඳු අය ද යන්න පිළිබඳව බුදුරදුන් ලබා දුන් මේ පණිවුඩය විශේෂයෙන් වර්තමාන සමාජයට මොනතරම් වැදගත් වනවා ද යන්න අමුතුවෙන් පෙන්වාදිය යුත්තක් නොවනු ඇත. නුසුදුසු අයගේ ඇසුර නිසා ළමා තරුණ පිරිස් මොනතරම් නොමග ගොස් ඇත් ද?.වැඩිහිටියන් මොන තරම් අවවාද දුන්නද, ඒවා පිළිනොගෙන ප්‍රපාතයට ගමන් කරන ජීවිත මොනතරම් ඇත්දැයි විමසීමකින් බලන්න. ඔබ කරන දේ හරිද වැරැදි ද යන්න සමහරවිට ඔබට නොපෙනෙනවා ඇත. මේ නිසා ඔබ අතින් වැරැදි සිදුවිය හැකි ය. මෙහි දී ඔබට බුද්ධිමත් අය අවවාද කරන්නට පුළුවන. දෝෂාරෝපණය කරන්නට ද පුළුවන. වැරැද්ද පෙන්වා දෙන්නට ද පුළුවන. ඔබ ඒ ගැන සිතා වැරැද්ද පිළිගන්න. එබඳු වැරැදි දේ කිරීමෙන් වැළැකීමට උත්සාහ ගන්න.

සමහරවිට ඔබ කරන දේ වැරැදි බව ඔබ දන්නවා විය හැකියි. ඔබ සිතන්නේ ඔබ කළ ඒ වැරැද්ද අනිත් අය නුදුටු බවයි. සමහර විට අන්‍යයන්ට නොපෙනෙන අයුරින් හොර රහසේ වැරැදි වැඩ කරන්නට ද පුළුවන. නමුත් ඒවා බුද්ධිමතුන්ට, ප්‍රඥාවන්තයන්ට පෙනෙන්නට පුළුවන. ඒ අය ඔබගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරන්නට පුළුවන. මේවා ගැන සිතා හොර රහසින්වත් වැරැදි වැඩක් නොකරන්නට අධිෂ්ඨාන කරගන්න. පෙන්වා දෙන වැරැදි අනතිමානීව පිළිගන්න. බුද්ධිමත් සත්පුරුෂයන් විසින් අපගේ ජීවිත හැදීම අරමුණු කරගෙන පෙන්වා දෙන වැරැද්ද ගෞරවයෙන් පිළිගැනීමට සූදානම් වීම අපගේ උතුම් ගුණයක් වනු ඇත.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් ද ඇත. එනම් ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, පළිගැනීමෙන් අනුන් හෙළා දැකීමේ අදහසින් අනුන්ගේ වැරැදි සොයා යන අය ද මේ සමාජයේ සිටිති.

ඒ අයගේ හොඳ පැතිකඩ දෙස බලන්නේ ම නැත. මේ අය කටයුතු කරන්නේ ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් හා පළිගැනීමේ චේතනාවෙනි. නින්දා කිරීම මිනිස්කමට ගැළපෙන දෙයක් නොවේ. සත්පුරුෂයෙක් නම් අනුන්ගේ වැරැදි පෙන්වාදෙනවා සේ ම ඔහුගේ හොඳ ගතිගුණ ද අගය කළ යුතු යි.

ගොහොරු මඩෙහි වැතිරෙන සූකරයන් (ඌරන්) ගැන ඔබ අසා තිබෙන්නට පුළුවන. මඩවගුරෙහි ඇති මුතු බෙල්ලන්ගේ මුතුවල වටිනාකම ගැන කිසිදු හැඟීමක් සූකරයාට නැත. උගේ උත්සාහය මුතු බෙල්ලාගේ කුණු මාංශය සෙවීම යි. ඌ කැමැති එහි පිළිකුල් රසයට යි. මේ අයුරින් අප අනුන්ගේ වැරැදිම සොයන බව ඉතා පැහැදිලි ය. මෙයින් සිදුවන්නේ කුමක්ද? අනුන්ගේ කසළ ඇවිස්සීමට ගොස් තමන් ද ඒවා තවරාගෙන, තමා ද දුර්ගන්ධවත් පුද්ගලයෙකු බවට පත්වීමයි. මෙය අසත් පුරුෂයන්ගේ ස්වභාවය යි. අනුන් විසින් කරනු ලබන නින්දා අපහාස ඉවසීමට අප පුරුදු විය යුතු යි. එසේ නොවී ඒවාට පිළිතුරු දෙන්නට යන්නා නොදැනුවත්වම එම පහත් තත්ත්වයට පත්වෙනු ඇත. බුද්ධ චරිතය දෙස බලන්න. මොනතරම් නින්දා අපහාස කළාද, ඒවායින් උන්වහන්සේ සැලුනේ නැත. නිකරුණේ කරන නින්දා අපහාසවලට වැඩි ආයුෂයක් නැත. ඒවා පෙරළා ඔවුන් කරාම එනු ඇත. මේ ලෝකයේ නින්දා අපහාස නොලැබූ කෙනෙක් නැත. ඒවා ඉවසීමට සිත ශක්තිමත් කරගත යුතු අතර, වැරැදි පෙන්වා දුන්විට ඒවා පිළිගැනීමට ද පුරුදු පුහුණු විය යුතු යි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කෙනෙක් වරදක් පෙන්වා දෙන විට වටිනා නිධානයක් පෙන්වා දෙන අයුරින් එය භාරගන්නා ලෙස යි. ඒ අනුව කැමැති වරදක් නොවන අයුරින් හැසිරීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙස යි. එය ධර්මයෙහි ‘ආයති සංවරය’ ලෙස දක්වා ඇත.

වරදින් වළකින්නට නම් ලජ්ජාව හා භය යන කරුණු දෙක ඒ පුද්ගලයා තුළ තිබිය යුතු ය. ඒ අනුව තමාට තම පවුලට, තම ඥාතීන්ට අගෞරවයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට වග බලා ගත යුතු යි. වරදක් කර නැත්නම් ඕනෑම තැනක ආත්ම ශක්තියක්, හොඳ පෞරුෂයක් ඇතිව සිටීමේ භාග්‍ය ඔහු ලබනු ඇත.මේ අනුව ගුණවත්, බුද්ධිමත් අයට ඔබගේ වරදක් පෙන්නුම් කළ නොහැකි වන ආකාරයට තම ජීවිතය නිවැරැදි කරගන්න බලන්න. යමක් කරන්න. කියන්න කලින් හොඳට සිතාමතා බලා එහි දුර්විපාකය ද සලකමින් නිසම්මකාරීව එනම් සිහිනුවණින් යුක්තව කටයුතු කරන්නට උත්සාහවත් වන්න. එය ඔබගේ ජීවන ගමනට මහත් සැනසිල්ලකි.