Print this Article


මිහින්තලා පුදබිම ජාතික උරුමයක් වෙයි

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් වෙයි

" එදා ඓතිහාසික මිහින්තලාවෙන් පැන නැගි නිර්මල සදහම් අමා ගඟ ලක්දිව සිව් දෙස ගලා ගියේ අනුබුදු මිහිඳු මා හිමියන්ගේ මහත් වූ කරුණාව ද පෙරදැරිව ය. පළමුව අරිට්ඨ කුමරා ඇතු ළු පිරිස පැවිදි කර මෙරට සම්බුදු සසුන පිහිටුවමින් සෑම අංශයක ම නවෝදය සඳහා පුරා හතළිස් අට වසරක් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ කළ මෙහෙවර සිරිලක පවතින තුරා සනිටුහන් වනු ඒකාන්තය.'

මහා මංගල සූත්‍රයෙහි සඳහන් වන අයුරෙන් “සමණානංච දස්සනං” ශ්‍රමණයන් වහන්සේලා දැකීම සැනසීම උදාකරවන මංගල කරුණකි.

දුටුවන්ගේ නෙත් සිත් පහන් කරවමින් මෑත යුගයේ මිහින්තලා පින්බිම කසාවතින් බැබළී ගිය, ඓතිහාසික පින්කම් මාලාවක් පසුගියදා ඓතිහාසික මිහින්තලා රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

දඹදිව ධර්මාශෝක මහාධිරාජයාණන්ගේ ගිහි දායකත්වයෙන් පැවැති තෙවන ධර්ම සංගායනාවෙන් පසු එතුමන්ගේ පුත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිස දෙවනපෑතිස් රජු දවස සිරිලක මිහින්තලාවට වැඩම වන ලදී.

එදා ඓතිහාසික මිහින්තලාවෙන් පැන නැගි නිර්මල සදහම් අමා ගඟ ලක්දිව සිව් දෙස ගලා ගියේ අනුබුදු මිහිඳු මා හිමියන්ගේ මහත් වූ කරුණාව ද පෙරදැරිව ය. පළමුව අරිට්ඨ කුමරා ඇතු ළු පිරිස පැවිදි කර මෙරට සම්බුදු සසුන පිහිටුවමින් සෑම අංශයක ම නවෝදය සඳහා පුරා හතළිස් අට වසරක් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ කළ මෙහෙවර සිරිලක පවතින තුරා සනිටුහන් වනු ඒකාන්තය.

 

උත්තිය රාජ්‍ය සමයේ දී පිරිනිවන් පා වදාළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසම සම ගුණ සමුදාය මෙනෙහි කරමින් මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා පුණ්‍ය භූමියේ දී ඓතිහාසික පින්කම් මාලාවක් පැවැත්විණි.

අනුබුදු මිහිඳු පෙරහර ඉකුත්දා(04) පැවැති අතර පසුදා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් අලුදෙණියේ සුබෝධි හිමියන්ගේ මෙහෙයවීමෙන් අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජාව මිහින්තලා සේල චෛත්‍යය මළුවේ දී පැවැත්විණි. මහමෙව්නා භාවනා අසපු සංචිතයේ හිමිවරුන් අටසිය නමකගේ සහ සිල්මෑණිවරුන්ගේ සහ ලක්ෂ සංඛ්‍යාත මහ පිරිසකගේ සහභාගිත්වයෙන් එම පින්කම සිදු කෙරුණි.

අනතුරුව 6 වන දා දවල් එක්දහස් පන්සියයක් මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාව පැවැත්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් රැසකගේ සහභාගිත්වයෙනි.

මහ සෑ මළුවේ ඉදිකළ විශේෂ පීඨිකාව තුළ සදා වන්දනීය පූජනීය මහා සඟරුවන වැඩ සිටියාය. පසෙකින් තවත් පීඨිකා කීපයක සිල් මෑණිවරු සිය ගණනක් වැඩ සිටියහ.මිහින්තලා පින්බිම කසාවතින් බැබළීගිය එම අසිරිමත් පුණ්‍යවන්ත අවස්ථාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් ප්‍රධාන පළාත් නාහිමිවරු විහාරාධිපති හිමිවරුන් ඇතුළු සම්භාවනීය මහ සඟරුවනෙහි සහභාගිත්වයෙන් පැවැත්විණි.

මිහින්තලා පුදබිම වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධාතු මන්දිරයේ දී අනුබුදු මිහිඳු මාහිමි ධාතුන් වහන්සේලා වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.

අනුබුදු මිහිඳු මාහිමි පිරිනිවන් පා වදාළ දිනය උත්තිය රජු දවස පටන් වප් පුර අටවක පෝදා නම් කර උපහාර පූජා පවත්වා ඇති අතර එහෙයින් උන්වහන්සේ පිරිනිවන් පා වසර 2279 කට පසු මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ ඉල්ලීම සහ අනුශාසකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් එම පින්කම නැවත ඇරඹිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, අමාත්‍යවරුන් වන රවි කරුණානායක, පී. හැරිසන් , යන මහත්වරුන් චන්ද්‍රාණි බණ්ඩාර ඇමැතිතුමිය ඇතුළු අතිවිශාල පිරිසක් ඊට සහභාගි වූ හ.

ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික පුණ්‍ය මහෝත්සවය මිහින්තලා රජමහා විහාරයේ දී 6 වනදා පස්වරුවේ පැවැත්විණි.

මිහින්තලා රාජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් එම පුණ්‍ය මහෝත්සවය පැවැත්විණි.

පිරිස පන්සිල්හි පිහිටුවා ඇරැඹුණු එම පුණ්‍ය මහෝත්සවයේ දී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් එහිදී අනුශාසනා පැවැත්වූ හ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියෝ එහිදී මෙසේ පැවැසූහ.

ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමිය මෙරට ශිෂ්ටාචාරයේ ආරම්භක ස්ථානය ලෙසත් රාජරාජ මහා මාත්‍යාදීන් මිහින්තලාවට ගෞරව උපහාර දක්වා ඇති බවත්, අතීත රජ දරුවන් අනුව යමින් වත්මන් ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් මිහින්තලාව ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඉටුකළ මෙහෙවර බුදුසසුනට කළ මහඟු මෙහෙවරක් බව පැවැසූහ.

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ මෙසේ පැවැසූහ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වෙන පොසොන් සතියේ දී එම උත්සවය සඳහා රාජ්‍ය නායකයන් ඊට සහභාගිවන අතර පසුගිය ආලෝක පූජා උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මිහින්තලා පුදබිමේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ හා සංවර්ධන කටයුතු පිළිබඳ ඇතුළත් සන්දේශය භාරදුන් අතර මිහින්තලා පුදබිම ජාතික උරුමයක් බවට පත් කිරීමත් ඉන් එක් කටයුත්තක් වූ බවත් එම කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීමෙන් අග්‍රාමාත්‍යතුමන් ප්‍රධාන රජය ඉටු කිරීම ශාසනික වශයෙන් සිදු කරන මහා පුණ්‍ය කටයුත්තක් බව පැවැසූහ.

ඓතිහාසික මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමට මත්තෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා එය උත්සව සභාවේදී කියැවී ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබා තිබූ එම ශ්‍රී සන්නස් පත්‍රය මිහින්තලා රජමහා විහාරාධිපති නාහිමියන් වෙත පිළිගැන්වීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා විසින් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා වෙත භාර දුන්නේය.

නිවාස හා ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ අමාත්‍යවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා , රවි කරුණානායක, පී. හැරිසන් යන මහත්වරු සහ චන්ද්‍රාණි බණ්ඩාර ඇමැතිතුමිය එක්ව මිහින්තලා රජ මහා විහාරාධිපති නාහිමියන් වෙත එය පූජා කළහ.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විජිත නන්දකුමාර මහතා එහිදී පුණ්‍යානුමෝදනාව සිදු කළහ.

ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස, ජ්‍යෙෂ්ඨ කළමනාකාර චන්ද්‍රලාල් සූරියආරච්චි යන මහත්වරුද එම අවස්ථාවට එක්වූ අතර ඒ පිළිබඳ අතිරේක ඇතුළත් “බුදුසරණ සහ “සිළුමිණ” පුවත්පත් ද එහිදී පරිත්‍යාග කළහ.