Print this Article


සදහම් අරණ

 

සංස්කරණය
නයනා නිල්මිණි

පැන විසඳුම් ජයග්‍රාහිකාව:

මගේ දහම් පාසල

ගුණය, ඥානය, ඉවසීම මෙන් ම, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි සතර බ්‍රහ්ම විහරණ ගුණයන් ද මැනවින් පෙන්වා ගුණවත්, නැණවත් බවින් හෙබි ශික්ෂාකාමී දරු පිරිසක් සමාජයට දායාද කිරීමට මනා තෝතැන්නක් බඳු අප දහම්පාසල ගලේවෙල ප්‍රදේශයේ පිහිටා ඇත. අප්‍රමාණ දුවා දරුවන්ගේ නෙත්මිණි පහන් එකලු කිරීමට දරන ප්‍රයත්නය අනභිබවනීය වේ. අපේ දහම්පාසල අධ්‍යාපනය පමණක් නොව හික්මීම, විනය, මනා හැසිරීම මෙන් ම, සාරධර්ම ද අතැඹුලක් සේ දායාද කරමින් සමාජය තුළින් ඉහළින් බැබළෙන මිණිපහනකි. ශ්‍රී ධම්මපාල නමැති අභිමානවත් නාමය අපේ දහම් පාසලේ දුවා දරුවන්ගේ ධාර්මික දැහැමි ගුණ ගරුක බවේ කැඩපතකි. මගේ දහම් පාසල සාමයේ මුදුන්මල්කඩකි. හෙට දිනයට ඔබින, මනා සංයමයෙන් යුතු, සමගියෙන්, සහජීවනයෙන් වෙසෙන සමාජයකට අඩිතාලම සපයන සාඩම්බර දිගු ගමනකට අප දහම්පාසල පියවර තබා ඇත. තිසරණ සරණ යන බෞද්ධ සැදැහැති බොහෝ දෙනා නිරන්තරයෙන් අවවාද අනුශාසනා, නිසි මගට පෙළඹවීමට අවශ්‍ය උපදෙස් ලබාගන්නේ අප දහම්පාසලේ ප්‍රධාන ආචාර්ය ගෞරවනීය අප ස්වාමීන්වහන්සේගෙනි. උන්වහන්සේගේ නිසි මඟ පෙන්වීමත්, නිවැරැදි මනා පාලනයත් යටතේ හැදී වැඩෙන බොදු දරු පිරිසකගේ ආගමනයෙන් හුදෙක් සමාජය පස්පවින් තොර, සාරධර්ම රජයන, දුරාචාරයෙන් දුරස් වූ යහපත් ධර්මිෂ්ඨ පරපුරක් බිහි වීම නොඅනුමාන ය. සිරි දම්පල් සෙවණේ වැඩෙන අප සිසු කැළ නිවැරැදි මඟකට පිළිපන් වී ඉගෙනුම ලබමු.


බුදු ගුණ

බුදුගුණ අනන්තයි අමිලයි අසම සමයි
බුදු බණ අවිදු අඳුරට මිණි පහන තමයි
බුදුනැණ සිව් විසාරද නැණ සුවඳ හමයි
දිනමිණ තුන්ලොවට සම්බුදු දහම තමයි

එබැවින් හැමවිටම බුදුගුණ සිහි කරමු
බැතියෙන් දහම් රස විඳ කෙලෙසුන් නසමු
නුවණින් නැණින් තෙරුවන් ගුණ දැක ගනිමු
දහමින් තොර මගක් නැති බව නිති සිතමු


වස් විසීම

ඇසළ පොහෝ දිනෙන් ආරම්භ වී වප් පොහෝ දින අවසන් වන තුරු බෞද්ධ විහාරස්ථානයන්හි ක්‍රියාත්මක වන්නේ වස් කාලය යි. බුදු දහමට අනුව මෙම කාලය තුළ පැවිදි භික්ෂූන් වහන්සේ විශේෂ අවශ්‍යතාවකට හැරුණු කොට විහාරස්ථානයෙන් නික්මෙන්නේ නැත. මේ කාලය තුළ භික්ෂුන් වහන්සේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා කටයුතු කළ යුතු අතර, එම කාලය තුළ භික්ෂූන්ට දානමානාදියෙන් සංග්‍රහ කිරීම විහාරස්ථානයේ දායකයින්ගේ යුතුකමක් වේ. වස් කාලය තුළ විහාරස්ථානයන්හි සෑම දිනක ම හවස් වරුවේ බෝධි පූජා පින්කම් පැවැත්වෙන අතර, වස් කාලය නිමාවෙන්නේ කඨින මහ පින්කමෙනි. වස් විසීමේ අරමුණු ලෙස බුදුන් වහන්සේ විසින් සඳහන් කරන්නේ නව මසක් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා භික්ෂූන් වහන්සේ ගත කරන සංචාරක දිවිය නිමකර, තුන් මසක් එක් තැනක සිට තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා භාවනා ආදියේ යෙදීමට ලැබුණු අවස්ථාවක් ලෙස ය. එමෙන් ම භික්ෂූන් වහන්සේ තම ජ්‍යෙෂ්ඨ භික්ෂූන්ගෙන් අවවාද උපදෙස් ලබාගෙන ඒ අනුව තම දිවි පෙවත හැඩ ගසා ගැනීමට ද අවස්ථාවක් මේ තුළින් උදාවේ.


බොදු සමාජයක ඇරඹුම

මිහිඳු මහරහතන් වහන්සේ ඉන්දියාවේ රජ කළ අධිරාජ ධර්මාශෝක රජතුමාගේ පුතා ය. සහෝදරිය වූයේ සංඝමිත්තා තෙරණිය යි. ලංකාවට බුදු දහම රැගෙන ආවේ දේවානම්පියතිස්ස හා ධර්මාශෝක රජවරුන්ගේ මිත්‍රත්වය නිසා ය. ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන ආවේ මිහිඳු මහ රහතන් වහන්සේ ය. උන්වහන්සේ ශ්‍රී ලංකාවට බුදුදහම රැගෙන වැඩියේ පොසොන් පෝය දිනයකයි. ලංකාවේ භික්ෂු, භික්ෂුණී හා උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසගෙන් සමන්විත සමාජයක් බිහි වූයේ ත්, ලංකාවේ වෙහෙර, විහාර, දාගැබ් ඉදිවූයේ ත්, මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස ය. මිහිඳු මාහිමි අදවන් දිනක අප මාතෘ භූමියේ දී පිරිනිවන් පා වදාළ සේක.


අනඳ තෙරුන් වහන්සේ

කරුණා ගුණයෙන් බුදුරදුන්ට පමණක් දෙවැනි වූයේ අග්‍ර උපස්ථායක ,ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ බුදුරදුන්ට අග්‍රඋපස්ථායක වූයේ බුදුරදුන්ට අවුරුදු 55 ක් වන තුරු ස්ථිර උපස්ථායකයෙකු නො සිටි නිසා ය . උන්වහන්සේ උපස්ථායක වූයේ ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නො වන බව උන්වහන්සේගේ වර අටේ සඳහන් වේ. උන්වහන්සේ මෛත්‍රිය, කරුණාව, ගිලානෝපස්ථානය,පරෝපකාරය, නිහතමානිකම,ගුරු ගෞරවය, අසරණයන්ට සරණවීම යන ගුණාංගවලින් අපගේ ජීවිතයට ආදර්ශ ගෙන එයි.


පෝදා පන්සල

බෝපත් අතරින් පුන් සඳ නැගෙනා
තරු කැට අතරින් මුදු ගුණ බෙදනා
සිල් සුවඳින් මුළු හදවත් පෙරෙනා
වෙසක් පොහෝ දින අසිරිය පෙනෙනා

ඝන්ඨා නද මැද සාධු සාධු නද
වැලිමලුවේ බණ පද අසනා සොඳ
නිවන් මගට යන්නට සැරසෙන හොඳ
බොදු බැතියෙන් සිත් පෙරෙනා බැති පෙම

රටා මැවෙන උඩමළු බෝ මළු වල
තැන්පත් ගති ගුණ පිරුණ හදතුල
සිව් බඹවිහරණ වලින් පිරුණු කල
බලන්න ආසයි පෝදා පන්සල

ගයාත්‍රි ශෂිකලා හේරත්
11 ශ්‍රේණිය
ශ්‍රී පේ‍්‍රමානන්ද දහම් පාසල , හෙට්ටිපොල


දහම් දීපය

එදා ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රචලිත වූයේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස ය. ශ්‍රී ලාංකික ජනතාව හැඩ ගැස්වීමට බුදු දහමෙන් ලැබුණු ආභාෂය අති මහත් ය. මිහිඳු හිමියන් බුදු දහම රැගෙන වැඩම කිරීමත් සමඟ ම මෙරටට උසස් සංස්කෘතියක් උරුම වුණි. කෘෂිකර්මය ධාර්මික ජීවනෝපායක් ලෙස අපේ මුතුන් මිත්තෝ සිතූහ. ඒ නිසා මෙරට වැසියෝ කෘෂිකර්මය තම ජීවනෝපාය කර ගත්හ. මෙරට රජවරුන් ද කෘෂිකර්මාන්තයට අනුබල දෙමින් වැව් ඉදිකර දෙමින් සහයෝගය සැලසූ බැවින්, මෙරට පෙරදිග ධාන්‍යාගාරය බවට පත් විය.


සමථ භාවනාව

බුදු දහමෙහි භාවනා විධි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් දක්වනු ලැබේ. එනම් සමථ භාවනාව සහ විදර්ශනා භාවනාවයි. සමථ භාවනාව කුමක් ද? සමථ භාවනාව යනු පංචනීවරණ ධර්මයන් සමථයකට පත් කිරීමයි. භාවනාවේ දී නීවරණ ධර්ම පහක් ගැන කියවේ. ඒ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධය, උද්දච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡායි. සමථ භාවනාව සමාධි භාවනාව ලෙස ද හඳුන්වයි. සමථ භාවනාව අබුද්ධෝත්පාද කාලයක වුව ද පවතින්නකි. මෙම භාවනාව මඟින් සිත ධ්‍යානය කරා ගෙනයාම සිදුකරයි. එලෙසම බ්‍රහ්ම ලෝකවල ඉපදීමට ද මෙම සමථ භාවනාව උපකාරි වනු ඇත.


දහම් පාසල

පන්සල් වෙහෙර පළමුව වාසනාවන්
බෝ සමිඳුගේ බෝ පත් වාසනාවන්
තෙවනුව විහාරය හරි වාසනාවන්
පින්බිම දහම් පාසල වාසනාවන්


වෙනස් වීමට මුහුණ දෙමු

බුදු දහමේ ඉතා ම වැදගත් ඉගැන්වීම අනිත්‍යතාවය යි. ලෝකයේ පණ ඇති සහ පණ නැති සියල්ල සෑම මොහොතක ම වෙනස් වෙනවා. පරිසරය දෙස බැලුව ද මෙය හොඳින් තේරුම් යනවා. පිපුණු මල්පර වෙනවා. දවල් පායා තිබෙන ඉර, අහසේ එක ම තැන නො තිබී බැස යනවා. ළදරුවා ටිකෙන් ටික ළමයෙක් වෙනවා. තරුණයෙක් වෙනවා. වැඩිහිටියෙක් වෙලා අවසානයේ මහල්ලෙක් වෙනවා. ළදරුවාගේ සිට මහල්ලා දක්වා ඇති වෙන මෙම වෙනසට ලෝකයේ කවුරුත් කැමති නෑ. ඒ වුණාට වෙනස් වීමෙන් මිදෙන්න ලෝකයේ කිසි කෙනෙකුට හැකියාවකුත් නෑ. එය ස්වභාවධර්මය යි. ඒ වගේම එක් එක් අවස්ථාවල දී විවිධ වෙනස්වීම් වලට මුහුණ දීමට සිදු වෙනවා.පුළුවන් සෑම අවස්ථාවේ දී ම වෙනස්වීම් අපේ යහපතට ගැලපෙන ආකාරයට හරවා ගන්න අපි හිතට ගන්න ඕන. මේ සියලු කරුණුවලින් අපට ඉගෙන ගන්න වටිනා පාඩමක් තියෙනවා.


දහම් පාසල

පන්සල් වෙහෙර පළමුව වාසනාවන්
බෝ සමිඳුගේ බෝ පත් වාසනාවන්
තෙවනුව විහාරය හරි වාසනාවන්
පින්බිම දහම් පාසල වාසනාවන්