Print this Article


40 වැනි සංවත්සරය සමරන වාද්දුව කොරොස්දූව ශ්‍රී සුමනතිස්ස දහම් පාසල

40 වැනි සංවත්සරය සමරන වාද්දුව කොරොස්දූව ශ්‍රී සුමනතිස්ස දහම් පාසල

16 වැනි සියවසෙහි රයිගම් රාජධානිය කරගෙන රජකළ රයිගම් බණ්ඩාරයන්ගේ රාජ්‍ය සමය තරම් ඈතට විහිදයන ඉතිහාසයක් ඇති කොරොස්දූව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගාවක් වූ කළුගඟ සහ පානදුර ගඟ සම්බන්ධ කෙරෙමින් ලන්දේසි පාලන සමයෙහි කපන ලද ඇළ මාර්ගයකින් හා වෙල් යායකින් වටවී ඇති ගම් පියසකි.

රයිගම් බණ්ඩාර රජුගේ සංචාරක මාළිගාවක් මෙම ගම්පියසේ පිහිටුවා තිබූ බවත් , එතුමා මුව දෝවනය කිරීම සඳහා භාවිත කළ රත්තරං කොරහ ඉහත සඳහන් ඇළ ආශි‍්‍රතව නිධන් කර ඇති හෙයින් මෙම ගම්පියස කොරොස්දූව නමින් ප්‍රකට වූ බවත් ජනප්‍රවාදය යි.

කළුතර දිස්ත්‍රික්කයෙහි රයිගම් කෝරළයට අයත් වාද්දුබද්දේ වර්තමාන පරිපාලන ක්‍රමයට අනුව කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි මාවල දකුණ ග්‍රාමනිලධාරී වසමේ පිහිටි කොරොස්දූවේ විවේකාරාම පුරාණ වජිරකොත් විහාරය වසර 190 ක් තරම් අතීතයට විහිදයන ඉතිහාසයට හිමිකම් කියයි.


ප්‍රධානාචාර්ය
මල්වතු මහා විහාර
පාර්ශ්වයේ
බස්නාහිර පළාතේ
ප්‍රධාන සංඝනායක
 ශාස්ත්‍රපති
ගෝනදූවේ
ගුණානන්ද නා හිමි

පුරාවිද්‍යාත්මක අගයකින් යුත් විහාර මන්දිරය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත. බදුල්ලේ රතනකීර්ති ශ්‍රී සුමනසාර නායක ස්වාමීන් වහන්සේ මෙම විහාරස්ථානයෙහි ආදි කර්තෘන් වහන්සේයි. අදමෙන් ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක දායක පවුල් 50 කටත් අඩු සංඛ්‍යාවකට සීමා වූ යුගයක තුන්බෝ පිහිටි අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට උන්වහන්සේ සමත්වී ඇත. සුමනසාර ස්වාමීන් වහන්සේගේ ලෝක ශාසනික සේවාව අගයමින් මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් රතනකීර්ති ශ්‍රී යන ගරුනාම සම්මුතිය සහිත පානදුර තොටමුණේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනමා ඇත. උන්වහන්සේගේ සිසු පිරිසේ බාලම ශිෂ්‍යවරයා වූ ගෝණදූවේ සුමනතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම විහාරස්ථානයෙහි වර්තමාන දියුණුවේ නිර්මාතෘවරයාණෝ ය. කීර්තිමත් වෙදහිමිනමක් වූ උන්වහන්සේ 30 කට අධික ගිහි පැවිදි වෛද්‍ය ශිෂ්‍ය පිරිසක් බිහිකිරීමෙන් ද, දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට සිදුකළ සේවාව මිල කළ නොහැකි ය. 1978 ජූලි මස 3 වැනි දින උන්වහන්සේ අපවත්වීමෙන් පසු ගෝණදූවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ විහාරාධිපති ධූරයට පත් වූහ. ඉන් මාස කිහිපයකට පසු කළුතර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරයටත්, කළුතර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ධූරයටත් පත්කර ගැනීම අප දහම් පාසල ආරම්භ කිරීමෙහිලා බලපෑ ප්‍රධාන සාධකයක් විය. දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති වශයෙන් කළුතර දිස්ත්‍රික්කයේ දහම් පාසල් සංවර්ධනය සඳහා වැඩ පිළිවෙලක් සකස් කරන මෙන් එකල කළුතර දිසා අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මැතිතුමා කරන ලද ඉල්ලීම පරිදි ගුණානන්ද ස්වාමීන් වහන්සේ සම්පාදනය කළ දහම් පාසල් සංවර්ධන සැලැස්මේ ප්‍රථම පියවර වූයේ දිස්ත්‍රික්කය තුළ දහම් පාසල් නැති විහාරස්ථානයන්හි නව දහම් පාසල් ආරම්භ කිරීමයි. එම වැඩපිළිවෙළ ස්වකීය විහාරස්ථානයෙන් ම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ උන්වහන්සේ විහාරස්ථානයේ ගොදුරු ගම තුළ දහම් පාසල් අධ්‍යාපනය ලබන හා නොලබන සිසුන් පිළිබඳව සමීක්ෂණයක් කළ අතර, එම සමීක්ෂණයට අනුව කිසිදු දහම් පාසලක අධ්‍යාපනය නොලබන සිසුන් 85 දෙනෙකු සිටි හෙයින් ඔවුන්ට බුදුදහම ඉගැන්වීමටත් බෞද්ධ වත් පිළිවෙත්, සත් චාරිත්‍ර හා ගුණ ධර්ම පුරුදු පුහුණු කිරීමටත් දහම් පාසලක් ආරම්භ කිරීමට අදිටන් කර ගත්හ.

ඒ අනුව 1979 සැප්තැම්බර් මස 05 වැනි දිනට යෙදුණු නිකිණි පුර පසළොස්වක පෝදා පවත්වන ලද දායක සභා රැස්වීමේ දී දහම් පාසලක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළ අතර එහිදී දහම් පාසල ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු ඉක්මනින් ඉටු කිරීමට තීරණය වූ අතර දහම් පාසලේ අභිවෘද්ධිය හා චිරස්තිථිය උදෙසා භාරකාර මණ්ඩලයක් ද පත්කරගන්නා ලදී. එම මණ්ඩලය බලවත් උද්‍යෝගයත් ගම්වාසීන්ගේ අනුග්‍රහයත් නිසා ඩෙස් හා බංකු තනවා මසක් ඇතුළත දහම් පාසල ආරම්භ කිරීමට හැකි විය. 1979 ඔක්තෝබර් මස 05 වැනි දිනට යෙදුණු වප් පුර පසළොස්වක පෝ දින මොල්ලිගොඩ ප්‍රවචනෝදය පරිවේනාධිපතිව වැඩසිටි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ලබුගම ශ්‍රී ලංකානන්ද ස්වාමීන් වහන්සේ විසින් ශිෂ්‍යයෙකුට සුබ මොහොතින් අතපොත් තැබීමෙන් දහම් පාසල ආරම්භ කරනු ලැබී ය. එදා දහම් පාසලට ඇතුළත් කරන ලද ප්‍රථම ශිෂ්‍යයා ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති පානදුර රෝහලේ වෛද්‍ය මලින්ද විජේසේකර මහතා ය.

දහම් පාසල ආරම්භක අවස්ථාවේ දී දොළොස් දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් පත්කරගත හැකි වීම දහම් පාසලේ අභිවෘද්ධියට හේතු විය. දහම් පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගේ කථිකත්වය හා ගායන රංගන නිර්මාණ කුසලතාවන් වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී සුමන ළමා හවුල නමින් ශිෂ්‍ය සංගමයක් ආරම්භ කළහ. දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙත්තා හා කරුණා නමින් නිවාස දෙකකට වෙන්කර එම නිවාස අතර මාසිකව දහම් දැනුම හා කථික තරග පැවැත්වීම දහම් පාසල කෙරෙහි ශිෂ්‍ය රුචිය වර්ධනය වීමට හේතුවිය.

බුදුදහම ඉගැන්වීම පමණක් නොව උගත් දහමට අනුව ජීවත්වන චරිතවත් දරු පිරිසක් බිහිකිරීම මෙම දහම් පාසලේ පරමාර්ථයයි. චරාථ ධම්මේ (ධර්මයෙහි හැසිරෙව්) යන ධර්ම පාඨය දහම් පාසලේ ආදර්ශ පාඨය වශයෙන් යොදාගනු ලැබුවේ එම පාඨයට අන්වර්ත දැරූ පිරිසක් බිහිකිරීමේ අභිලාෂයෙනි.

ආරම්භක අවස්ථාවේ දී සිසුන් 85 දෙනෙකුට සීමා වුව ද මාස කිහිපයක් තුළ ශිෂ්‍ය සංඛ්‍යාව 225 දක්වා වර්ධනය විය. දහම් පාසල ආරම්භ කර මාස 08 ක් ඇතුළත 1980 ජුනි මස කළුතර ශාසනාරක්ෂක මණ්ඩලය මඟින් පවත්වන ලද අන්තර් දහම් පාසල් තරගාවලියෙන් දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිපදෙනෙකුම ජයග්‍රහණය කළහ.

1992 වසරේ වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති අතිරේක ලේකම් නෙවිල් පියදිගම මහතාගේ සහභාගීත්වයෙන් යුත් එක්සේසත් බෞද්ධ මාධ්‍ය මණ්ඩලය මගින් පවත්වන ලද සමස්ත ලංකා දහම් දැනුම මිනුම තරගයෙන් මෙම දහම් පාසලේ ලසන්ති නිලූෂිකා රුද්‍රිගෝ ශිෂ්‍යාව දෙවැනි ස්ථානය ලබාගැනීම දහම් පාසලට මහත් කීර්තියකි. දහම් පාසලේ අභිවෘද්ධිය හා චිරස්ථිතිය උදෙසා පිහිටුවන ලද භාරකාර මණ්ඩලය 1983 වර්ෂයේ සිට දහම් පාසල් සංවර්ධන සමිතිය නමින් ප්‍රතිසංවිධානය කරන ලද අතර 1984 කළුතර දිස්ත්‍රික් දහම් පාසල් සතියේ දී දිස්ත්‍රික්කය පුරා දහම් පාසල් සංවර්ධන සමිති පිහිටුවීමට පාදක වූයේ ශ්‍රී සුමනතිස්ස දහම් පාසල් සංවර්ධන සමිතියෙන් ලැබූ අත්දැකීම් බව සඳහන් කළ යුතු ය. දෙමාපියන් දහම් පාසල් සංවර්ධන සමිති රැස්වීම්වලට දක්වන සහභාගීත්වයත් දහම් පාසලේ උන්නතිය උදෙසා ලබාදෙන අනුග්‍රහයත් ප්‍රශංසනීයයි.

මෙරට විවිධ ක්ෂේත්‍රයන්හි නිරත දහසකට අධික චරිතවත් දරු පිරිසක් පසුගිය 40 වසර තුළ මෙම දහම් පාසලෙන් බිහිවී ඇතත්, එම ආදි සිසුන්ගේ හමුවක් මෙතෙක් පැවැත්වීමට නොහැකි විය. මෙම වප් පුර පසළොස්වක පොහෝ දිනට දහම් පාසලට වසර 40 ක් සම්පූර්ණ වීමේ සුවිශේෂ අවස්ථාව තේමා කරගෙන උළෙලක් පැවැත්වීමටත් , ආදි ශිෂ්‍යයන්ගේ සංවිධානයක් පිහිටුවා ඔවුන්ගේ අනුග්‍රහය උළෙල සඳහා යොදාගැනීමටත් ආචාර්ය මණ්ඩලය තීරණය කළ හෙයින් 2004 සැප්තැම්බර් 05 වැනි දින පස්වරුවෙහි විශාල ආදි ශිෂ්‍ය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමේ දී ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවා නිලධාරී මණ්ඩලයක් ද පත් කර ගතිමු. උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම සඳහා විශාල වශයෙන් ධන පරිත්‍යාග කරමින් උත්සව කටයුතු සංවිධානය කිරීම පිළිබඳව නිතර රැස්වී සාකච්ඡා පවත්වමින් ආදි ශිෂ්‍ය සංගමය ලබාදෙන අනුග්‍රහය ආචාර්ය මණ්ඩලයටත් දහම් පාසල් සංවර්ධන සමිතියටත් යෝධ ශක්තියකි.

රජත ජයන්ති උළෙල සමාරම්භ කරමින් 2004 ඔක්තෝබර් 27 දින දහම් පාසලට 25 වසරක් සම්පූර්ණ වූ දිනයේ දී දහම් පාසලේ දරුවන්ගේ දෙමාපියන් පෙහෙවස් සමාදන් කරවා මව්පිය ගුණ සම්භාවනා පින්කමක් පැවැත්වීමු. නොවැම්බර් 12 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වා දහම් පාසලේ සිසු, ආදි සිසු, ගුරු දෙගුරු, ගම්වැසි සැමටත් සෙත් පැතිමු. රජත ජයන්ති උළෙල දෙසැම්බර් මස 25 වැනි දින පස්වරුවෙහි කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති විද්‍යාලංකාර පරිවේණාධිපති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, දර්ශන විශාරද, පණ්ඩිත, වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් හා බෞද්ධ ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. මෙම සුවිශේෂ අවස්ථාව අනුස්මරණය කරමින් ශාස්ත්‍රීය ලිපි ඇතුළත් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් හා දහම් පාසලේ සුවිශේෂ අවස්ථාවක් සනිටුහන් කෙරෙන සමරු කළඹක් ද මුද්‍රාණද්වාරයෙන් එළි දක්වන ලදී.