Print this Article


අතීත ගුණ සුවඳ අනාගතයට

අතීත ගුණ සුවඳ අනාගතයට

අපේ ආදි මුතුන් මිත්තන් ගත කළ ජීවිතවල පැවති හරවත් බව මිල කරන්නට බෑ. ඒ හැම ජීවිතයක් ම ආදර්ශයෙන් පිරිලා . හැබැයි ඒ අයට වර්තමානයේ ජීවත් වන අයට වාගේ සාම්ප්‍රදායික මට්ටමේ විභාග සුදුසුකම් ආදිය තිබුණේ නෑ.

එහෙත් ඒ අය හරිම බුද්ධිමත්, ආචාර සමාචාර ධර්මවලින් යුක්තයි. ආගමික හැදියාව ජීවිතය පුරාවටම විහිදිලා. තවත් කෙනෙකුට ඇඟිල්ලක් උස්සන්න බැරි තරමට නිවැරැදියි. සමාජයෙන් ලබාගත් දැනුම් සම්භාරයත්, අත්දැකීම් සමුදායත් නිසාම ඔවුන් සමාජගත නියමුවන් බවට පත් වුණා. සමාජයට ණය නෑ. ජීවිත පැවැත්ම, පොදි බැඳගත් අසීමිත බලාපොරොත්තු නොතිබු නිසා ගොරෝසු වුණේ නෑ.

දෑතේ වීර්යයෙන් යමක් කමක් හරි හම්බකරගත් ඒ අපේ වැඩිහිටියන් වඩාත් හොඳින් පරලොව ගැන කල්පනා කළා . බාල පරපුරට ඒ ගැන කියා දුන්නා. ඒ නිසාම ආගම දහමට ලැදිකමින් නිතර කටයුතු කළා. ගොවිතැනක් බතක් කරන කොට වුණත් දෙලොව ගැනම කල්පනා කරලයි යහපත්ව කටයුතු කළේ. ඒ හින්දා අසාධාරණකම්, අයුක්තිසහගතකම්වලට නැඹුරු වුණේම නැති තරම්.

මිනිස්සුන්ට සාමූහිකත්වය ගැන හැඟීම් තිබුණා. නෑදෑකම, ගමේකම, අපේකම මුල් කරගෙන එක පොකුරටම බැඳුණා. දරා ගැනීමේ හැකියාව ඇති වුණේ ඒ නිසාමයි. මතුවන දුක් කරදර කම්කටොළු සියල්ලම එකමුතුව විඳ දරාගත්තා. දුක සතුට දෙකේ දී ම මිනිසුන් තනි වුණේ නෑ. මේ නිසාම ජීවිතවලට ලැබුණේ හරිම පන්නරයක්. සතා සිවුපාවුන් සමඟ වුණත් නිර්භයව මූණට මූණ දුන්නේ ඒ නිස යි.

මිනිස්කමේ අරුමය වටහා ගත් පැරැණි මිනිසා එය වඩාත් ලස්සන කර ගැනීමට අවශ්‍ය වූ ක්‍රමෝපායන් ගැන මෙනෙහි කරමින් කටයුතු කළා. ආගම දහම ගැන ලැදියාවෙන් කටයුතු කරන්නට නිතර පෙළඹුණා. මේ නිසා ගමත්, පන්සලත් අතර තියෙන බැඳීම වැඩිවුණා. කටුක ජීවිත පැවැත්මෙහි කොටස්කරුවන් වූ ඔවුන්ට මානසික සහනයක් අවශ්‍ය වූවා කියන එක පුදුමයක් නොවේ. සාක්ෂරතාවෙන් ඉතා අඩු මට්ටමක ජීවත් වූ ඔවුන්ට ගමේ පන්සලෙන් ලැබුණ අවවාද, අනුශාසනා හරිම වැදගත්. ඒ මඟ දැක්ම නිසාම ජීවිතයට අවශ්‍ය බලය හා ශක්තිය ලැබුණා. අපේ පැරැණ්නන් කුසලය, කුසල කර්ම විපාක ජීවිතය ජය ගැනීමේ මග හැටියට තීරණය කළා.

කටුක අත්දැකීම් විඳදරා ගනිමින් පීඩාකාරිව ජීවත් වු ඔවුන්ට මානසික විවේකය අවශ්‍ය වුණා. වර්තමානයෙහි මෙන් වැරැදි දේ පසුපස යමින් ජීවිතය තවත් පීඩාවට පත්කර ගැනීම නොවෙයි ඔවුන්ගේ අරමුණ වුණේ. ආගමික ගුණ සුවඳ තුළින් ජීවිත සුවපත් කර ගැනීමයි එකම බලාපොරොත්තුව වූයේ. වන්දනා මාන විධිවලට මුල්තැන දීමට සිත් පෙළඹුණේ ද ඒ හින්දාමයි. වර්තමානයෙහි මෙන් ගමනාගමන පහසුකම් එකල තිබුණේ නෑ. ඈත දුර බැහැර සාමාන්‍ය ගමන්වල යෙදුනේ ද බොහෝවිට බරකරත්ත වලින්. රුදුරු වන සතුන් ගැවසී ගත් වනපෙත් මං තුළින් වන්දනා චාරිකාවල යෙදුණේ විශ්වාසයෙන් හා ගෞරවයෙන් යුතුව සංවරශීලි පැවැත්මෙන් . තුන්දොර සංවර කර ගැනීමයි වැදගත් වුණේ. නියමුවාගේ බහට වන්දනා නඩේ හැම කෙනාම අවනත වුණා.

තමන්ටත්, අනුන්ටත් එසේම පරිසරයටවත් හානියක් නොවන ලෙසටයි .වන්දනා චාරිකා සිදුවුණේ. එම චාරිකාවල මූලිකත්වය ගත් වැඩිහිටියන් ආදර්ශ සම්පන්න වුණා. ආදර්ශයෙන් යුක්තවයි ඔවුන් බාල දූ දරුවන්ට අනුබලය ලබා දුන්නේ “පුතේ කාරා කෙළ ගහන්ඩ එපා. කුණුූ රොඩු බිමට දාන්න එපා. මහී කාන්තාව කෝප වෙනවා. ගස්වල අතු රිකිලි කොළ දළු කඩන්න එපා. දෙවි දේවතාවරු තරහා වෙනවා. “වැඩිහිටියන් දරුවන්ට උපදෙස් ලබා දෙමින් මඟ පෙන්වු හැටි කෙතරම් වැදගත් ද?

ඒ කාලයේ වන්දනා නඩ පුරාවට තිබුණේ සංවරශීලි බව හා උපශාන්ත ගතියයි. තෙරුවන් පිළිබඳව මෙන්ම දෙවියන් ගැනත් ඔවුන්ට තිබුණේ අව්‍යාජ ගෞරවයක් හා විශ්වාසයක්. ඔවුන් දකින හැම කෙනෙකුටම ඇති වූයේ සතුටක්. දියුණු යැයි සිතන වර්තමානයේ සිදුකෙරෙන බොහෝ වන්දනා චාරිකා දෙස බලන විට එවැනි සතුටක් සිතට දැනෙන්නේ නෑ. එකම අරමුණක පිහිටා කටයුතු කිරීමේ හැකියාව පැරැණි ඇත්තන්ට තිබුණා. එහෙත් වර්තමානයේ කෙරෙන වන්දනා චාරිකා දෙස බලන විට ඔවුන්ගේ අරමුණුවල පවත්නා විකෘති බව මැනවින් දැනගත හැකියි. පැරැණි කාලයේ වන්දනා චාරිකා තුළින් නිරාමිස සතුට හදවත් පුරාවට මතූ වු අතර වර්තමානයෙහි සරාගී චේතනා කරණ කොටගෙන ඇවතුම් පැවතුම් සියල්ල විකෘති තත්ත්වයට පත්ව ඇත. විශේෂයෙන් අරමුණුවල නොපිහිටා ක්‍රියා කිරීමෙහි වරදයි. ඒ යශෝධරාවත , තුන්සරණය වැනි සැදැහැ ගුණ වඩනා ජනකවි ළයාන්විතව ගායනා කරමින්, එසේම තෙරුවන් ගුණ සජ්ඣායනා කරමින් සිදු කෙරුණු පැරැණි වන්දනා චාරිකාවලින් ඉස්මතු වූ ගුණාත්මකභාවයත්, උසුළු විසුළු ඇඳුම් ආයිත්තම්වලින් සැරසී හරසුන් ගී රස විඳිමින් , ගෞරවයකින් තොරව, ඝෝෂාකාරීව, කෙරෙන වර්තමානයේ බොහෝ වන්දනා නමින් සිදු කෙරෙන චාරිකාවලින් ගොනුවන අසංයතභාවයත් අතර පවත්නා පරතරය කොතරම් විශාල ද? අධිෂ්ඨානශීලිව කටයුතු කිරීමටයි, බුදු දහම තුළින් අපට ශක්තිය ලබා දෙන්නේ. අපි විධිමත් වෙමු. විධිමත්ව කටයුතු කිරීමට උනන්දු වෙමු. වර්තමානයේ අප කරන කටයුතු අනාගතයේ බිහිවන අයට ශක්තියක් වේවි.